
ගමන් මාර්ගය
මාර්ග අංක 437 - මතුගම මොල්කාව හරහා කෙලින්කන්ද බසයකින් ඇල්ල අසලටම පැමිණිය හැකිය. මතුගම අගලවත්ත හරහා කලවාන දෙසට යන මාර්ගයේ ලත්පඳුර මංසන්දියෙන් හැරී මෝල්කාවට පැමිණ හෝ හොරණ බුලත්සිංහල පරගොඩ හරහා මොල්කාවට පැමිණ කෙළින්කන්ද දෙසට හෝ රත්නපුර කලවාන හරහා ජාතුවංගොඩ මීපාගම ජලාශය මාර්ගයේ කෙළින්කන්ද පසුකර මෝල්කාව දෙසට පැමිණීමේදී මාකෙළිය ප්‍රදේශයේදී ඇල්ල හමුවේ.
පෘතුගීසි ආක්රමණිකයාගෙන් රට බේරා ගනු පිණිස වීදිය බණ්ඩාරයෝ කඳවුරු බැන්දේ වන දුර්ග, ගිරිදුර්ග, ජලදුර්ගයන් ගෙන් රැකවරණය හිමිවූ රම්‍ය භූමියකය. පාළින්දනුවර නම් වූ ගතට සැනසුමක්, නෙතට රසඳුනක් වූ මේ භූමිය සිය අගනුවර කරගත් වීදිය බණ්ඩාරයෝ පෘතුගීසීන්ට එරෙහිව ඉතා හොඳින් සටන මෙහෙයවන අතරතුරම සොබා දහමේ අසිරිය විඳීමටද අමතක නොකළේය. සිය දේවිය සමඟ බොහෝ සුන්දර තැන් සොයා ගිය වීදිය බණ්ඩාරගේ නෙත් සිත් පැහැර ගත් මනහර දිය ඇල්ලක් පාළින්දනුවර අග නගරය සමීපයේම විය. ඉඩක් ලැබෙන සෑම විටම තම දේවිය සමඟ ඒ සොඳුරු දිය ඇල්ල වෙත ගිය විදීය බණ්ඩාර කුමරු රිසි සේ දිය කෙළිමින් සතුටු වූහ. එසේ දිය කෙළියට ආ වීදිය බණ්ඩාර රජු මේ සොඳුරු දිය ඇල්ලේ දිය කෙළියෙන් කෙතරම් මත්වූයේද යත් දිය කෙළියට ගලවා තැබූ වටිනා රන් අබරණ පවා අමතක විය. රන් අබරණ දිය කෙළි ඇල්ලේ දමා ආ බව මතක් වන විට රජකුමරු දියකෙළිය නිමවා පැළෑද නුවර රජමාළිගයට පැමිණ හමාරය. වහා තම සේවකයා ඇමතූ වීදිය බණ්ඩාර රජු “ මා කෙළි ඇල්ලේ රන් අබරණ අමතකව ආවෙමි. වහා ගොස් රැගෙන එනු ” යැයි තමා දිය කෙළි ඇල්ල කරා සේවකයා පිටත් කර හැරීය.
එසේ පාළින්දනුවර අගරජු වූ වීදිය බණ්ඩාර රජු තමා දියකෙළි ඒ සොඳුරු රසඳුන, තමා ජල ක්‍රීඩා ඇල්ල යන අරුතින් “මා කෙළි” ඇල්ල ලෙස හැඳින්වූයෙන් එය මාකෙළි ඇල්ල ලෙස ප්‍රකට විය. ඇල්ල පමණක් නොව ඇල්ල නිර්මාණය ගංගාව හා ඇල්ල පිහිටි ගම්මානයද ඒ නම් ලැබීමට රජුගේ මේ ප්‍රකාශය හේතු වූ බව ජනප්රවාදයේ කියවෙයි. එදා වීදිය බණ්ඩාර රජු දියකෙළි මේ සුන්දර දිය ඇල්ල අදටත් ඒ සුන්දරත්වයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාළින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මාකෙළිය ප්‍රදේශයේ හමුවෙයි. එදා රාජකීයන්ගේ ජලකෙළි භූමියක් මේ සොඳුරු ඇල්ල සොයා අද එන රසවතුන් එදා රාජකීයන් විඳි සුන්දරත්වය සිත්සේ විඳ ගත සිත පිනවා ගනිති.
කළු ගඟෙහි ප්‍රධාන අතු ගංගාවක් වූ කුඩා ගඟ නිර්මාණ කරන එක් ප්‍රධාන ගංගාවක් වන කුකුලේ ගඟෙහි ප්‍රධානම ශාඛාවක් වන මාකෙළි ඔය මේ දර්ශණීය දිය ඇල්ල නිර්මාණය කරයි. නෙළුකැටිය රක්ෂිත වනාන්තරය හරහා ගලා බසින මාකෙළි ගඟ එක් වරම මීටර් 15 පමණ උසක සිට (ඇතැම් වාර්තා අනුව උස මීටර් 21 කි) ඇද වැටීමෙන් මාකෙළි ඇල්ල නිර්මාණය කරයි. තරමක පළලකින් යුත් දිය ඇල්ලක් වන මාකෙළි ඇල්ල වර්ග කිලෝමීටර් 11 (හෙක්ටයාර් 1350) පමණ විශාලත්වයෙන් යුත් නෙළුකැටිය රක්ෂිත වනාන්තරයෙහි පිහිටා තිබීම නිසා වඩාත් සුන්දර දිය ඇල්ලක් බවට පත්ව තිබේ. නෙළුකැටිය රක්ෂිතය දිය ඇල්ලේ පෝෂක ප්‍රදේශය ලෙස ක්‍රියා කිරීම නිසා වසර පුරාම ජලයෙන් පිරුණු සුන්දර ඇල්ලක් දකින්නට හැකි වන අතර තෙත්කලාපීය වැසි වනාන්තරයක් වන නෙළුකැටිය වනාන්තරයේ සුන්දරත්වය හා ජෛව විවිධත්වය ඇල්ලට එක්වීම නිසා දිය ඇල්ල වඩාත් සුන්දර වී තිබේ.
මෙම දිය ඇල්ල පහළ සිට මෙන්ම ඇල්ල මුඳුනේ සිටද නැරඹිය හැකිය. ඇල්ල පාමුල සිට ඇල්ලේ සුන්දරත්වය විඳීම සඳහා නැරඹුම් වේදිකාවක් සහ එයට පිවිසීම සඳහා පියගැට පෙළක්ද සකස් කොට තිබේ. නැරඹුම් වේදිකාව පසුකර කර දිය ඇල්ල පාමුලටම යා හැකි වූවත් එය තරමක අනතුරු දායක ක්‍රියාවකි. සුදෝසුදු පෙණ විසිරුවමින් ඇල්ල ඇද වැටෙන චමත්කාරය වෙිදිකාව මත සිට හොඳින් අත්විඳිය හැකිය. වනය මැද පිහිටි ගල්තලාව දිගේ ක්‍රමයෙන් පහළට ගලන මාකෙළි ගඟ එක්වරම පහළට වැටී මාකෙළි ඇල්ල සාදන ආකාරය ඇල්ල මුඳුනේ සිට නැරඹීමට හැකිය. මාකෙළි ඇල්ල පාමුලට පිවිසෙන ස්ථානය පසුකර මහා මාර්ගය දිගේ කෙළින්කන්ද දෙසට මඳ දුරක් ගමන් කිරීමෙන් ඇල්ල ඉහළට ගමන් කළ හැකිය. මෙම ස්ථානය ඇල්ලක ඉහළ සිට රස විඳීමට කදිම ස්ථානයකි. වනයෙන් වටවූ නිහඬ ස්ථානයක් වන මෙහි සංචාරකයන් සඳහා අවශ්‍යය පහසුකම්ද නිර්මාණය කොට තිබේ.
අතිශය සුන්දර ඇල්ලක් වන නමුත් ඒ සුන්දරත්වය විඳීමට හැකිවන්නේ දෑසින් පමණි. මෙම දිය ඇල්ල ඉතාමත් අනාරක්ෂිත දිය ඇල්ලක් බැවින් ඇල්ලට බැසීම හෝ දිය නෑම සිදු නොකළ යුතුය. අතීතයේ රාජකීයන්ට දියකෙළියට සුදුසු වූ ස්ථානයක් නමුත් මේ වන විට ගැඹුරු වක්කලං, ගල්කුහර සහිත දිය ඇල්ලක් බවට පත්වී ඇති නිසා දිය ඇල්ලට බැසීම අනතුරුදායකය.
මේ වනවිටත් මේ දිය ඇල්ලේ මරණ 50 පමණ වාර්තා වී තිබෙන නිසා ඉතා කල්පනාකාරීව මෙහි අසිරිය විඳිය යුතුය. මේ මරණ නිසා ඇල්ල බිලි ගන්නා බවට මතයක්ද නිර්මාණය වී තිබේ. විදීය බණ්ඩාර රජු මාකෙළි දෙවියන් ලෙස මෙම ප්‍රදේශයේ වන්දනාවට ලක්වන අතර මෙම දිය ඇල්ලට වීදිය බණ්ඩාරගේ ඇති සම්බන්ධය නිසා මාකෙළි දෙවියන් උදෙසා වැස්ස හා සෙත් ශාන්තිය පතා වාර්ෂික පූජාවක්ද මේ ඇල්ල ආශ්‍රිතව සිදුකරයි. මේ නිසා මේ දිය ඇල්ල රසවතුන්ට රසඳුනකි. ගැමියන්ට ගෞරවනීය පූජ්‍ය ස්ථානයකි. සංස්කෘතික වටිනාමක් ඇති ස්ථානයකි. පරිසර ලෝලීන්ට සොඳුරු පරිසරයකි. මේ නිසා දිය ඇල්ල ආරක්ෂා කරමින් ඇල්ලට බැසීමෙන් තොරව එහි සුන්දරවය පමණක් විඳින්නේ නම් මාකෙළි දෙවියන්ගේ ආශිර්වාදය ද මෙහි එන්නන්ට නොඅඩුව ලැබේ. මාකෙළි ඇල්ලේ දිය කෙළියේ යෙදී සිට වෙහෙස නිවාගන්නට ඔබට කදිම නිවහනක් තිබේ. ඒ මතුගම පීකොක් කොරිඩෝ සුන්දර නිවාඩු නිකේතනයයි. මනරම් පරිසරයක පිහිටි මේ සුන්දර නවාතැන බොහෝ සංචාරකයන්ගේ ගමනාන්තයේ වෙහෙස නිවන්නේ ය.
මාකෙළි ඇල්ලේ සුන්දරත්වය පමණක් විඳින්න. එවිට මේ අලංකාර දිය ඇල්ල සැමදා රසවිඳීමට මාකෙළි දෙවියන්ගේ ආශීර්වාදය සදා හිමිවනු ඇත.