
මට බාරගන්න චරිතය දැනුණේ නැත්නම් මුළු සංසාරයම වැඩක් නැහැ වගේ එකක් දැනෙනවා
චමත්කා කියන්නේ තමන් එක්ක රඟපාන අනෙක් රංගන ශිල්පියාට හොඳ සහයෝගයක් ලබාදෙමින් රංගනයේ නියැළෙන කෙනෙක්
වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නළුවෙක් සේම තිර රචකයෙක්, කෙටි චිත්‍රපටකරුවෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදියට කලාවේ විවිධ ඉසව් තුළ සිය හැකියාවන් පෙන්නුම් කරන දක්ෂ කලාකරුවෙක් වන කලණ ගුණසේකර සමඟ සොඳුරු කතාබහකට රසඳුන අපි ඉඩක් වෙන් කරගත්තා.
මේ දවස්වල මොකද වෙන්නේ
පොදු 2 නාට්‍යය රූගත කරලා අවසන්. ඒ වගේම සජීව කනකරත්න නිෂ්පාදනය කර නිර්මාණ අධ්‍යක්‍ෂණය කරන තම්බපණ්ණි චිත්‍රපටයේ රූගත කිරීම්වල හිටියා. තව දවස් කිහිපයකින් ඒ වැඩත් අවසන් වෙයි.
පොදු හි චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙතෙක් මම කරපු චරිතවලට වඩා අලුත්. ඒ නිසා ඒ චරිතයෙන් මමත් පොඩි ආතල් එකක් ගත්තේ. සෑහෙන පිරිසක් බලලා තියෙනවා සහ බලපු අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
සිනමාවෙන් ඉදිරියට එන්න බොහෝ නිර්මාණ තියෙනවා නේද
ඔව්. චිත්‍රපට 12ක් 13ක් විතර එන්න තියෙනවා.
ළඟදීම එන්න තියෙන්නේ "පියාඹන්න ආයෙත්" ද?
ෂර්ලි සමරසිංහගේ පියාඹන්න ආයෙත් චිත්‍රපටය එයි කියලා හිතෙනවා. හරියටම කියන්න බැහැ. මොකද ගොඩක් චිත්‍රපට එනවා එනවා කිව්වට තවම නැහැනේ.
කොහොමද "පියාඹන්න ආයෙත්" චිත්‍රපටය ගැන මතක
ඒ නිර්මාණය ඇතුළෙ හැම සිදුවීමක් ම මතකයන්. අපි කිලෝ මීටර් තුන්දහස් ගානක් ගිහින් තිබ්බා චිත්‍රපටය ඇතුළෙ. ඒ කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ.
ෂර්ලිගේ අධ්‍යක්ෂණය දකින්නේ කොහොමද?
හොඳ සුහදශීලි අධ්‍යක්ෂවරයෙක්. කිසිම කලබලයක් නැහැ. ඒ නිසා සුහද මිතුරු අධ්‍යක්ෂවරයෙක්.
අපි චමත්කා ගැනත් මතක් කරොත්
චමත්කා කියන්නේ ඉතාම දක්ෂ නිළියක්. ඇය එක්ක වැඩ කරන්න පහසුයි. චරිතයක් සාර්ථක වෙන්න ඔහු හෝ ඇය එක්ක රඟපාන අනෙක් චරිතය තුළින් ලැබෙන සහයෝගය බලපානවා. චමත්කා කියන්නේ තමන් එක්ක රඟපාන අනෙක් රංගන ශිල්පියාට හොඳ සහයෝගයක් ලබාදෙමින් චරිතයේ නියැළෙන කෙනෙක්. ඇය එක්ක වැඩ කරන්න පහසුයි.
චරිත තෝරා ගන්නේ කොහොමද?
චරිතයේ දිග පළල නම් බලන්නේ නැහැ. මට දැනෙනවා ද කියලා විතරයි මම බලන්නේ. මට දැනෙන්නේ නැතුව කොහොමද චරිතයක් කරන්නේ. හැබැයි ඉතින් යම් කිසි විශාල මුදල් ප්‍රශ්නයක නම් අපි ඉන්නේ බාගෙට දැනුණු චරිත බාර ගන්නේ නැතුවම නෙවෙයි.
ඔබ රඟපෑ සිනමා නිර්මාණ රැසක චරිත බොහොම අඩුයි, මොකක් ද ඒ ප්‍රභේදය...
මමත් ඒ ගැන දන්නේ නැහැ. මගේ පරම්පරාවේ අයගේ චිත්‍රපටවල තමයි මම වැඩිපුරම ප්‍රධාන චරිත කරලා තියෙන්නේ. මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා ගත්තත්, ඉක්තා ගත්තත්, කසුන් පතිරණගේ නයිට් රයිඩර්, ප්‍රභාත් අංගම්පලගේ වියසිදුර, සජීව කනකරත්නගේ තම්බපණ්ණි පවා චරිත බොහොම අඩුයි. මේ අපේ පරම්පරාවේ අයගේ පළවෙනි චිත්‍රපටවලට මාව ගන්නවා. මම ඒකට හේතුව දන්නේ නැහැ. මම හිතන්නේ ඒ අයගේ චරිත වලට මම ගැළපෙනවා ඇති. ජ්‍යේෂ්ඨ පරම්පරාවේ අත්දැකීම් තියෙන අය ප්‍රධාන චරිතවලට කතා කරලා නැහැ.
ඒක දකින්නේ කොයි විදියටද?
මටත් ඒ ගැන ලොකු අදහසක් නැහැ. මම හිතනවා තරුණ පරම්පරාවේ සිනමාව මාර අලුත්. අලුත් කන්සෙප්ට් තියෙනවා. ඒවාට ගැළපෙන නිසා මට ආරාධනා කරනවා ඇති. ඒ හැර මම ඒගැන අහලත් නැහැ; මම දන්නෙත් නැහැ.
කලණ කියන්නේ රංගන ශිල්පියෙක් වගේම තිරපිටපත් රචකයෙක්
මම ලියන්නෙත් හිතට දැනෙන දේවල්. මම රංගන ශිල්පියෙක් විදියට තමයි මගේ වෘත්තීය කරගෙන යන්නේ. එහෙම කියලා මම ගොඩක් වැඩ බාර ගන්නේ නැහැ. එතකොට කලණ කියන රංගන ශිල්පියාගේ පුහුණුව සඳහා ලියන දේවල් තමා නිර්මාණ බවට පත්වෙන්නේ. මම පිටපතක් ලියන්නේ හැමෝම එක්ක කතාබහ කරලා. මම අදහස් බෙදා ගෙන ලියන කෙනෙක්. මට දැනෙන හැඟෙන දේවල් සිනමාවට ගේන කෙනෙක්.
අන්තිමට ලිව්ව තිරපිටපත මොකක් ද?
සජීව කනකරත්න නිෂ්පාදනය කර නිර්මාණ අධ්‍යක්‍ෂණය කරන තම්බපණ්ණි චිත්‍රපටයේ පිටපත. එකෙන් පස්සේ තවම මම ලිව්වේ නැහැ.
පුංචි තිරයේ චරිතයේ ගැන කතා කරොත්
මම මහ ලොකු වැඩ ගොඩක් කරලා නැහැ. 2010 ඉඳන් මේ වෙනතෙක් ටෙලි නිර්මාණ 15කට 16කට වගේ දායකවෙලා තියෙන්නේ. ඒ කියන්නේ කුඹියෝ එකට පස්සේ අඩෝ තිබ්බේ, ඊට පස්සේ පොදු. මම ගොඩක් ටෙලි නාට්‍යය බාර ගන්නේ නැහැ. මට තියෙන ප්‍රධාන හේතුව මට දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් මට කම්මැළිකමක් එනවා. කොච්චර මුල්‍ය ප්‍රශ්න ආවත් මෙගා නාට්‍යය මම බාරගන්නෙත් නැහැ.
අඩුම මෙගා නාට්‍යයක දෙකක ඉන්නවා නම් එයාට ජිවත් වෙන්න හරි පුළුවන්. මම ජීවත් වෙන එක කොහොම හරි කරගන්නවා. ගෙදරින් ප්‍රශ්න නැතුව මම මේ තුළ ඉන්නවා. මට බාරගන්න චරිතය දැනුණේ නැත්නම් මුළු සංසාරයම වැඩක් නැහැ වගේ එකක් දැනෙනවා. ඒ නිසා මට දැනෙන චරිත නැතුව වෙන චරිත දෙක තුනක් කරොත් මම රංගනය පවා නතර කරයි. ටෙලි නාට්‍යය සහ සිනමාවේ මම මෙතෙක් කරපු හැම චරිතයක්ම මට දැනුණු චරිත.
එන්න තියෙන ටෙලි නිර්මාණ මොනවද?
ඉසුරු වීරසිංහ මුදලිගේ ජෝර්ජියා කියලා ටෙලි නිර්මාණයක වැඩ කළා. එහි තව ෂූටින් ඉදිරියට තියෙනවා.
අලුත් පරම්පරාවක් දවසින් දවස මේ ක්ෂේත්‍රයට එනවා, ඒ අයට මොනවගේ දෙයක්ද කියන්න තියෙන්නේ
අලුත් පරම්පරාවට පණිවිඩ දෙන්න මම දන්නෙත් නැහැ. මට කියන්න තියෙන්නේ දැනෙන හැඟෙන නිර්මාණ කරන්න කියන එක. ඒ වගේම මෙතැනදී මේ දේත් කියන්න ඕනේ, අලුත් පරම්පරාව මාර නිර්මාණ ගොඩක් කරනවා. සිනමාව ගැන මාර උනන්දුවක් තියෙන සිනමාව ගැන වෙන විදියකට හිතන පරම්පරාවක් ඉන්නවා. ඒ පරම්පරාවට උපදෙස් දෙනවට වඩා උපදෙස් දෙන්න තියෙන්නේ ඉහළ පරම්පරාවට. අලුත් අය කරන වැඩ එළියට දාගන්න බැරුව ඉන්නවා ගොඩක් කල් ඉඳන්.
පිළිගත් අන්තර්ජාතික සම්මාන ගත්ත චිත්‍රපට රැසක් තියෙනවා තිරගත කර ගන්න බැරුව. ලංකාවේ සිනමාව ගොඩ දාන්න පුළුවන්. සිනමා කර්මාන්තයක් කියලා බොරු බයිලා ගහන්න නෙවෙයි, ජාත්‍යන්තරයට වටිනාකමක් තියෙන චිත්‍රපට රැසක් තියෙනවා ලංකාවේ අයට වටිනාකමක් නැතුව. ඒ හින්දා පරණ පෙරහැරේ නැට්ටුවන්ට ගරු කරන්න ඕනේ,
හැබැයි අලුත් නැටුම් තියෙන්න ඕනේ. නැත්නම් පෙරහැර හරි බෝරින්.
ඒ හින්දා ලංකාවේ මේ ජෙනරේෂන් එකට ඉඩක් දුන්නේ නැත්නම් මේ ලංකාවේ දේශපාලනයට සමානයි කලාවත්. දැන් වෙලා තියෙන්නෙත් ඒක. කලාවයි දේශපාලනයයි දෙකම සමානයි. එහෙම වෙලා තියෙන්නේ අලුත් පරම්පරාවට ඉඩ දෙන්නේ නැති එක.