
‘ලෝකෙ කොහේ හිටියත් කියවන්න. මං ලියන්නේ ඔයාට 'ඇයගේ සෑම පොතකම මේ ආදරණීය පාඨක ආමන්ත්‍රණය දැකගන්න පුළුවන් .ඇය සරෝජනී කරුණාතිලක. බොරැල්ල, සරෝජනීගේ උපන්ගම වුණත් 88-89 භිෂණ සමයේදී ඇතිවුණු අමිහිරි සිදුවීම් නිසා ඇගේ මුළුපවුලම අවතැන් වෙනවා. ඉන්පසුව යන්නේ බිංගිරිය කියන ගමට. මුහුණ දුන් අසුන්දර සිදුවීම් නිසා ඒ කාලෙ ඈ මනුස්සයෙක් දුටුවත් හැංගෙන කා සමඟවත් වත් කතා නොකරන චරිතයක් බවට පත්වෙනවා. අකුරක් අඳුරගන්න බැරි, මතක් කරගන්න බැරි බිහිසුණු මතක හිතට ආව කාලයක පීඩා විඳින සරෝජනී පාසල් වාර දෙකක් පාසලක් නොමැතිව සිට බිංගිරිය ශ්‍රී සරණංකර පාසලට ඇතුළත් වී එම පාසලෙන් ප්‍රාථමික හා ද්වීතිය අධ්‍යාපනය හදාරනවා. කුඩා කල සිටම නිවසේ හුදකලාව තමාගේම මනෝභාවයන් තුළ තනිව ජීවත් වුණ තමන්ට ලේඛිකාවක් වෙන්න සංකල්ප හමුවුණේ එතැනින් බව ඇයගේ විශ්වාසයයි. සරෝජනී කරුණාතිලක නවකතා ලෝකයේ මෙන්ම මුහුණු පොතේ නවකතා සහ කවි ලියන්නන් අතර ජනප්‍රිය ලේඛිකාවක්.
මගේ පළවෙනිම නවකතාව
මගේ පළවෙනිම නවකතාව “වීදුරු හීන“.මුහුණු පොතේ කොටස් වශයෙන් පළවුණු “වීදුරු හීන“ මුද්‍රිත ග්රන්ථයක් වෙන්නෙ ඉමේෂා මාධවී මල්ලවාරච්චි නම් ප්‍රවීණ ලේඛිකාවගේ නිහතමානි යෝජනාවකින් පසුවයි.ඇය තමයි මුලින්ම අදහසක් දුන්නේ ඔයාගෙ ලිවීමේ ආරය කියවන්නන් නොඉවසිලිවන්ත කරන එකක්. ඒ නිසා මේක පොතක් කරන්න කියලා. ඇගේ මඟපෙන්වීම යටතේ තමයි 2019 දී තරංගා දිසානායකගේ “තාරා ප්‍රකාශන“හරහා මගේ ප්‍රථම නවකතාව පාඨකයන් අතරට එන්නේ.
රොමෑන්තික ශානරයට ලියැවුණ “වීදුරු හීන“ නවකතාව ආදරය හමුවේ විඳීම් සහ විඳවීම් කියන දෙක සන්සන්දනය කරන කාන්තා චරිතයක් වටා ගෙතුණ කතාන්තරයක්. අණ පැනවීම්වලින් තොරව මගේ හිතට ඔහේ ගලාගෙන එන අදහස් ආදරේ දැනෙන වචනවලින් ලියලා දාපු “වීදුරු හීන“ තමයි ඇත්තටම මගේ ලේඛිකාවක් වීමේ හීනය හැබෑ කරලා දුන්න නවකතාව.
එහි සිත්ගත් හා සංවේදී අවස්ථා
මගේ හිත ඇතුළෙ හරි පරිණත ප්‍රේමවන්තයෙක් ඉන්නවා. කමිත සහ සනුරිතා කියන චරිත දෙක හරහා මං හරිම ජයග්‍රාහී ලෙස ඒ පරිණත ප්‍රේමවන්තයාව පාඨකයා අතිශයින් ආදරය කරන චරිතයක් බවට පත් කරනවා. ඇත්තටම මේ කතාවෙ මුල ඉදලා අග දක්වා මගෙ හිත් ගත්තෙ නැති තැනක් නෑ.අදටත් මට අලුතින්ම කියවන කතාවක් වගේ අස්සක් මුල්ලක් නෑර හරිම රහට දැනෙන කතාවක් “වීදුරු හීන“ කියන්නේ.
'සනූ' විවාහ වෙන්න යන බව 'කමිත' දැනගන්නෙ සැලසුම් කරලා ඇයව හමුවෙන පළවෙනි දවසෙමයි. නමුත් ඔහුගෙ සැලසුම හාත්පසින්ම වෙනස්.ඔහු කොයි වෙලාවකවත් ඇය තමාට අහිමි බව පිළිගන්න හිතට ඉඩ දෙන්නෙ නෑ. ඇගේ දුරකතන අංකය ඉල්ලගෙන ඇයට කතා කරන පළවෙනි වචනේ ඉඳලාම ඇයව දිනාගන්න ඔහුට පුදුම ලැබීමක් තියෙන්නෙ. නමුත් අවාසනාවකට ඇයට විශ්ව සමඟ විවාහ වෙන්න සිදු වෙනවා. එතනින් පස්සෙ ඇය විවාහ ජීවිතේ මුහුණ දෙන විවිධ කම්කටොලුමය අවස්ථා වලදී කමිත ඇය සමඟම ඉන්නවා. අයිතියක් නැතිවම ඇය වෙනුවෙන් කැපවෙනවා. ඇත්තටම අවසානය දක්වා කමිතගෙ කැපකිරීම් හරිම සංවේදියි. හරිම පරිණතයි.
මගේ නවකතා සහ පාඨක ප්‍රතිචාර
'වීදුරු හීන' වගේම ඉහළින්ම ප්‍රතිචාර ලැබුණු පොත් දෙකක් “මැණික“ සහ “අසම්මත“.එයිනුත් අසම්මත කියන නවකතාව සම්මත කියන රාමුව බිදගෙන ලියවුණු කතාවක්. බොහෝ දෙනෙක් අතර විවිධ මතවාද තිබුණත් ලේඛිකාවක් විදියට මං ආදරය ගැන හරිම සුමටව ලියන්න අකමැති කෙනෙක්. ඇත්තටම මගේ හැම කතාවක්ම අසම්මතයි කියලා මට හිතෙනවා. පුරුෂ ආධිපත්‍ය තුළ බිහිවෙන සාම්ප්‍රදායික කාන්තා චරිතයෙන් ඔබ්බට ගිහින් සමාජ තත්වයන් විග්රහ කිරීමේ පිපාසයක් මට තියෙන්නෙ කිව්වොත් නිවැරදියි. හැබැයි එකෙන් කියවෙන්නේ නෑ මං සම්ප්‍රදායට පටහැනි ගැහැනියක් බව.
“අසම්මත“ කියන්නෙ සම වයස් මට්ටමේ මාමා කෙනෙක් සහ දියණියක් අතර ඇතිවෙන ප්‍රේමයක්. ඉතාම හිරිමල් වයසෙදි අතවරයකට පත් වෙන “ඉමී“ නම් ගැහැනු ළමයාගෙ කටු පොලු මුගුරු අපහාසවලින් හීරුණු ජීවිත කතාව තවත් සමාජ සිද්ධියක් විදියට පාඨකයා අතරට ගෙනාව නිර්මාණයක් ඒක. ඉමී කියන්නේ තමන්ගේ හැම වේදනාවක්ම දරාගෙන ඉදලා චේතිය ගාව පුපුරලා යන චරිතයක්. ඇයව තේරුම් ගන්නෙ ඇයගේ මාමා චේතිය.ඇයට ජීවිතය දෙන්නෙ චේතිය. ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. හොරණ ශ්‍රීපාලියේ එක්තරා ගුරුවරියක් මට කතා කරලා කිව්වා මං ඔයාගෙ කතාවෙන් ළමයින්ට පාඩමක් ඉගැන්නුවා කියලා.
ඇත්තටම සමහර කතා ලියන්න මම ඒ චරිත ඇතුළෙ මාස ගණන් ජීවත් වෙනවා. ඒ හැම කතාවකින්ම මට යම්කිසි පණිවිඩයක් පාඨකයාට දෙන්න වුවමනා වුණා. උදාහරණයක් කිව්වොත් ආදර කතා විතරක්ම කියවන තරුණ පරම්පරාවට සමාජයේ තියෙන බිහිසුණු පැතිකඩවල් පෙන්වා දෙන්න වගේ. “මැණික “ කියන්නෙ ඇත්තටම මිනිස්සුන්ගෙ ඇස්වලින් හංගපු ඒත් හුඟක් මිනිස්සුන්ගෙ ඇස්යට තියෙන කඳුළුවල කතාවක්.
“සිහිනයක් සේ ඔබ ඇවිත්, හුස්මක් දුරින්, ඔබ ගාව නවතිමී සහ ශාපලත් ප්‍රේමය“ නවකතාවලටත් ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. එක්කෙනෙක් දෙන්නෙක් දුරකතනයෙන් කතා කරලා බැන්නා “ශාපලත් ප්‍රේමය“ කතාවෙ කාන්තා චරිතයට හානියක් කරන විදියට ලියලා කියලා. ඒ අයටත් මං කිව්වෙ සුදු සහ කළු චරිත කලවමේ ලියන එක මගේ ක්‍රමය කියලා.
මා නොලියූ මා කැමති වෙනත් පොත්
මං කැමතිම පොතක් තමයි උපුල් ශාන්ත සන්නස්ගලයන්ගෙ 'වස්සාන සිහිනය'. ඔහු තමයි මං කැමතිම සාහිත්‍යකරු. ඔහු ලියන භාෂා රටාව ඔහු චරිත තුළ මවන ගුණාංගවලට මං හරිම කැමතියි. ඒවා තුළ මාස ගණනක් වුණත් කෝපි බිබී ජීවත් වෙන්න පුළුවන්.
මගේ ඉදිරි සැලසුම්
දැනට මගේ පොත් දෙකක් මුද්‍රණයේ තියෙනවා. 'තෝඩු' සහ 'මකරන්ද' කියලා. ඒ වගේම 'තටු' සහ 'මාරම්බරී' කියන පොත් දෙක ලියමින් පවතිනවා. කවදාහරි දවසක ස්වර්ණ පුස්තක සම්මානයට මගේ පොතක් පාත්රවීමම නෙවේ, යෝජනා වීම වගේ සිහිනයක් හිතේ තියෙනවා.
අතින් අත අල්වාගෙන හිතින් කන්දක් සිහින පපුවේ දරාගෙන “ අයනු ආයනු “ ලියවූ මගේ ආදරණීය තාත්තාවත්, මලක් මෙන් මා රුවැතිව හා සුවදැතිව තනා ජීවිතය කියා දුන් මගේ ආදරණීය අම්මාවත්, වැරදි හද හද ලස්සනටම ලියවෙනකල් ලියන්නට බල ගැන්වූ පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ සහ උසස් පෙළ සාහිත්‍ය ඉගැන්වූ ධනපාල හෙට්ටිනායක ආදරණීය ගුරු පියාණන්වත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න මා කැමතියි.