නීතිය නවමු ද? | සිළුමිණ

නීතිය නවමු ද?

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී දින කීපයකි. තවම පවත්වා ඇත්තේ එහි තරග කීපයක් පමණි. එහෙත් එම තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානය වඩාත් වැඩිදියුණු කළේ භානුක රාජපක්ෂ තමන් සහභාගි වූ පළමු තරගයේ දී දියත් කළ උද්වේගකර ඉනිමය.

එය වඩාත් සුවිශේෂී වන්නේ යෝග්‍යතා අර්බුදයක් හේතුවෙන් ජාතික පිලට එක්වීමට අවස්ථාව නොලැබූ ඔහු ලොව සුපිරිතම වෘත්තීය විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ දී ම විශිෂ්ට දක්ෂතා අතරට පිවිසීමය. එහි දී ඔහු රිදෙන්නට පහර දුන්නේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින තවත් ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වන වනිඳු හසරංගට වීම තවත් අතකින් සුවිශේෂය.

අයි.පී.එල්. තරගාවලිය ආරම්භයේ දී ම ඔහු දියත් කළ මෙම පිතිහරඹයෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වුණේ වත්මන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට බව ඇතැම්හු පවසති. එසේ සිතන්නෝ පවසන්නේ ක්‍රිකට් තේරීම් කමිටුව දැන්වත් තමන්ගේ දැඩි තීරණ ලිහිල් කර භානුකව කණ්ඩායමට කැඳවිය යුතු බවය.

එහෙත් ක්‍රිකට් තේරීම් කමිටුව දරණුයේ වෙනම ස්ථාවරයකි. ඔවුන් පෙන්වා දෙන්නේ ගෝලීය තලයේ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය යෝග්‍යතාව ගොඩනංවා ගැනීම සෑම ක්‍රීඩකයකු සතු පූර්ණ වගකීමක් බවයි. ඒ සඳහා වන යෝග්‍යතා රාමුව එක් එක් පුද්ගලයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩදිය නොහැකි යැයි ඔවුහු තරයේ විශ්වාස කරති. එහිද මහා වරදක් ඇතැයි අපට නොපෙනේ. එසේ නොමැතිව පුද්ගල ප්‍රතිබද්ධව නීති පද්ධතිය වෙනස් කරන්නට යන්නේ නම් ඉන් සිදුවිය හැකි අවැඩ ඊට වඩා ඉහළය.

එහෙත් නිශ්චිත වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින්ම ක්‍රීඩකයකු සතු විශේෂ විභවතා සමාලෝචනය කර නව යෝග්‍යතා මිනුම් දඬු සැකසීම ද වරදක් නොවේ යැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. එහෙත් එක් එක් ක්‍රීඩකයා විෂයේ පොදු මිනුම් දණ්ඩ වෙනස් කිරීමට යාම දීර්ඝ කාලීනව බලද්දී එතරම් නුවණැති කාරණයක් නොවේ. වර්තමානයේ පවතින යෝග්‍යතා මැනීමේ මිනුම් දඬු භානුක රාජපක්ෂ වෙනුවෙන් වෙනස් කරන්නැයි යෝජනා කරන්නෝ හෙට දිනයේ භානුක විෂයේ ක්‍රියාත්මක නීතිය තවත් ක්‍රීඩකයකුට වලංගු නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරන්නට ද පිළිවන. එලෙස නීතිය නවන්නට යෝජනා කරන්නවුන් ගේ ඉල්ලීම් වලට සවන් යොමා තීන්දු තීරණ ගැනීම සිදුකළ යුත්තේ ඉතා හොඳින් කල්පනා කර බැලීමෙනි.

ඒ එවැනි තීරණයක් ගන්නැයි බල කරමින් හා පොළඹවමින් අද ඔබ පූජාසනයක් මත හිඳුවා පූජා පවත්වන ලෝකය හෙට දිනයේ ඔබටම එරෙහිවී නැගී සිටින්නට අවකාශය ඇති හෙයිනි. කොටින්ම පවසන්නේ නම් අයි.පී.එල්. පළමු තරගයේ දැක් වූ පිතිහරඹය භානුක රාජපක්ෂ සෙසු තරගවල දී නොදැක්වුවහොත් ස්කින් ෆෝල්ඩ් පරීක්ෂණ, යෝග්‍යතා ගැටලු ගැන පවසමින් පෙරට පැමිණීම අපේක්ෂා කළ හැකි බැවිණි. එහෙයින් හොඳම ක්‍රමය වනුයේ නිශ්චිත නීති රාමුවට අවනතව සැමවිටම කටයුතු කිරීමය. එසේ නොමැතිව එක් එක් පුද්ගලයාට ගැලපෙන ආකාරයට එකී රාමුව නැවීම නම් නොවේ.

Comments