ප්‍රේක්ෂක රසඥතාවට අපි යමක් ඉතුරු කළ යුතුයි | සිළුමිණ

ප්‍රේක්ෂක රසඥතාවට අපි යමක් ඉතුරු කළ යුතුයි

තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍ය විදහා දක්වන්නට හැකි හැකියාවක් සතු විශිෂ්ට රංගන ශිල්පියෙක් ලෙසින් බිමල් ජයකොඩි හඳුන්වා දිය හැකියි. සිය රංග පරාසය කොතෙක් ද යන්න එකිනෙකට වෙනස් වූ චරිත ඔස්සේ සිය ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්නට ඔහු සමතෙකි. ඒ නිසාම ඔහු පසුගියදා පැවතී රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී නැවත වරක් හොඳම නළුවාට හිමි සම්මානය දෝත දරන්නට සමත් විය. ඒ සුළඟ මහමෙරක හි රඟපෑ විදුහල්පතිගේ භූමිකාව වෙනුවෙන්.

 

රයිගම් සම්මාන උලෙළේ ලැබුණු හොඳම නළුවා සම්මානයෙන්ම අපි කතාවට මුල පුරමු

මෙතැනදී ආදරෙන් මතක් කරන්න ඕනේ සුදත් දේවප්‍රිය අයියා. ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර අධ්‍යක්ෂවරයෙක්. සුදත් අයියා වැඩ කරන්නෙත් අඩුවෙන්. හරි විදියට වෙලාව අරගෙන හරි අපූරුවට තමාගේ ඔළුවේ තියෙන චරිතය රංගන ශිල්පියාගෙන් ලබා ගන්න පුදුමාකාර දක්ෂතාවක් තියෙන කෙනෙක්. ඒ වගේම ආදරණීය නිෂ්පාදිකාව ලක්ෂ්මි දමයන්ති ඇතුළු සමස්ත කණ්ඩායමම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ එහි සම්පූර්ණ ගෞරවය සුදත් දේවප්‍රිය මහතා සතුයි. ඔහු තමයි මෙහි රචකයා සහ නිර්මාණ අධ්‍යක්ෂවරයා. මම හිතන්නේ ඔහුට එවැනි පුද්ගල චරිතයක අත්දැකීමක් ඇති කියලා. එහෙම පුද්ගලයකුගේ ආභාසය හෝ එවන් පුද්ගලයකු ගැන තියෙන මතකය ඔහුට සමීපයි. ඔහු එය හරි අපූරුවට මා තුළින් ප්‍රති නිර්මාණය කළා. මමත් මේ වෙනකොට වසර 15ක් තිස්සේ රංගනයේ යෙදෙන නිසා මම ලබාගත්ත ජීවන අත්දැකීම්, දේශපාලන අත්දැකීම් සහ සාමාන්‍ය පුරවැසියෙක් විදියට ලබන අත්දැකීම් එක්ක මට අසීරුවකින් තොරව ගොඩනඟන්නට හැකි වුණා. නැවතත් මම කියන්නේ මෙහි ගෞරවය අධ්‍යක්ෂවරයා සතුයි.

සම්මානය ලබන්න ඔබ එහි සිටියේ නැහැ,

ඒ මොහොත මගහැරියාද; මග හැරුණා ද

මට ඇත්තටම නොවැළක්විය හේතුවක් නිසා සහභාගී වෙන්න බැරිව ගියේ. අවසාන මොහොත වෙනකම් මම උත්සාහ කරා සහභාගී වෙන්න. නමුත් ඒ අවස්ථාව මගහැරී ගියා. ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා.

අපි ඔබව මෙගා නිර්මාණ තුළින් පවා දකිනවා, චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?

මම මගේ ජිවිතේ වගකීමක් ඇතුව තමයි චරිත තෝරා බේරා ගන්නේ. මම සැලකිලිමත් වෙන්නේ නිර්මාණයේ තියෙන කොටස් ප්‍රමාණය, ධාවන කාලය, අනෙකුත් නළු නිළියන් කවුද? අධ්‍යක්ෂවරයා කවුද? කියන දේට වඩා මට ලැබෙන දේ තුළ මාව විශ්වාස කරන විදියට කරන්නේ කොහොමද කියන එක. ඒක තමයි මගේ පරම අධිෂ්ඨානය. මේ රටේ නළුවෙක් විදියට ජීවත් වෙනවා නම් අධ්‍යයනය කළ යුතු එකම කාරණය ඒක. යම් විදියකට ප්‍රේක්ෂකයින් අපිව බෙදා ගනියි. හැබැයි නිතර ටෙලි විෂන් එකේ හිටියත් මට චිත්‍රපටයකට ලැබෙන චරිතයකට අවශ්‍යය අනුශාංගික ටික එකතු කරනවා නම් ප්‍රේක්ෂකයින්ට බලන්න දෙයක් තියෙනවා. ප්‍රේක්ෂක රසඥතාවට යමක් අපි ඉතුරු කරනවා. මේ න්‍යායය තුළ තමයි මම ඉන්නේ. පහුගිය කොවිඩ් කාලය ආවට පස්සේ අපිට ඉතුරු වුණු එකම මාධ්‍යය ටෙලිවිෂන් එක. සිනමාව වේදිකාව අපිට මොහොතකට මගහැරුණ. එතකොට ටෙලිවිෂන් එක ඇතුළේ මිනිස්සු ඉල්ලන්නේ එදිනෙදා ජිවිතේ ගැටගහගෙන යන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මම දායක වුණු රැල්ල වෙරළට සහ පාර දිගේ තුළින් මගේ ප්‍රේක්ෂකයා අතරමං නොකර මම සම්බන්ධ වුණු චරිතයට අවශ්‍ය ජීවගුණය දෙන්න මම උත්සහ කරලා තියෙනවා. ඒ නිසා හොඳම නළුවා වුණා කියලා ඒ සම්මානයේ බර අතේ තියාගෙන ඉන්නවට වඩා මම ප්‍රේක්ෂකයාට වග කියන නළුවෙක් විදියට වැඩ කරනවා නම් මම හිතන්නේ නැහැ ලබන වසරේදී හොඳම නළුවා නොවුණා කියලා මාව ප්‍රේක්ෂකයන් අතහරි කියලා. මම වැඩ කරන ධාරාවේ දී මම කරන දෙයින් නිර්මාණයට සේම ප්‍රේක්ෂකයාට සාධාරණය කරලා තියෙනවා. මම කරන චරිතය විශ්වාස කරන තැනට පත් කරන්න තමයි මම වැඩ කරන්නේ.

 

අනිත් පැත්තෙන් සිනමාවෙන් ඔබ දායක වූ නිර්මාණ එක දිගටම දකින්න ලැබෙනවා, ඒ ගැනත් කෙටියෙන් කියලම මේ කතාව අවසන් කරමු

සිනමාවෙන් බොහෝ නිර්මාණ එන්න තියෙනවා. බෙනට් රත්නායකයන්ගේ කවුරුවත් දන්නේ නැහැ තිරගත වෙලා ඉවරයි. මේ වෙද්දී තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා. එහි මම ලසන්ත නමැති හාස්‍යය මුසුවූ චරිතයක් නිරූපණය කරන්නේ. මේ වෙනකම් ආශාවරී බලපු අය කිසිම දොසක් කියලා නැහැ. ආදරණිය කතාවක් ඇතුළේ හාස්‍යය සහ පොඩි සංවේදීකමක් එකතු කරන චරිතයක්. ඒ වගේ චරිතයක් මම කලින් කරලා තිබුණේ නැති නිසා මට විශේෂ වුණා. මට දැනෙනවා ඒ තුළින් ප්‍රේක්ෂකයින් මාව තව තව විදියට දකින්න කැමැති වුණු බව.

මම හිතන්නේ අලුත් අවුරුද්දෙන් පස්සෙත් අපිට ආශාවරී දැක ගන්න ලැබෙයි. ඊට පස්සේත් මම රංගනයෙන් දායක වුණු වෛද්‍ය කපිල සූරියආරච්චි කරපු සිනෙමා චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි. ඒකත් මට විශේෂ වූ චරිතයක්. සිනමාවේත් මම විවිධ වූ චරිත ලැබෙනවා. කවුරුවත් දන්නේ නැහැ හි මම වීරයාගේ චරිතය, ආශාවරී හි හාස්‍යය මුසුවූ චරිතයක් වගේම සිනෙමා තුළදී ප්‍රතිවිර චරිතයක් මම කරන්නේ. ඒ නිසා ඒ ගැනත් ඉදිරියේදී කතාබහක් ඇතිවෙයි. බොහොම ගෞරව ආදරයෙන් ආරාධනා කරනවා සිනමාව වටා එකතුවෙන්න ආශාවරී බලන්න කියලා.

මේ කාලය අපි හැමෝටම අමාරු කාලයක්. ඒක තදින්ම දැනෙන මොහොතක තමයි අපි ඉන්නේ. රටක් විදියට මිනිස්සු විදියට ලොකු පිඩනයක ඉන්න වෙලාවක්. කලාව තමයි මිනිසුන්ට මුලින්ම අතහැරෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් කලාව අතනොහැර අපි ශක්තිමත්ව උත්සහ කරමු මේ සියල්ලටම මුහුණ දෙන්න.

 

Comments