![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/25/10..jpg?itok=ou97n2P2)
‘වසර 150කට ආසන්න ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවෙහි නව වාර්තා රැසක් පසුගිය දෙසතිය තුළ දී අලුතින් ලියැවුණා. ඒ ඉකුත් දින කීපයේ ලොව පුරා පැවැත්වුණු ජාත්‍යන්තර ටෙස්ට් තරග වල දී යි. මේ ඒ ගැන තැබෙන සංක්ෂිප්ත සටහනක්.‘
මුරලි හා සම වූ ඇඹුල්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු ඉනිමේ මෙන් ම දෙවැනි ඉනිමේ ද විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය එහිදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොව සුපිරිම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ වාර්තාවක් සම කළා. මීට පෙර මුරලි පළමු ටෙස්ට් ඉනිම් 25 තුළ දී කඩුලු 67 ක් දවාගෙන තිබූ අතර, ඇඹුල්දෙණිය ද පළමු ඉනිම් 25 තුළ දී කඩුලු 67 ක් දවා ගනි-මින් එම වාර්තාවේ සම තැන අසුන් ගත්තා.
වසර 74 ක ලෝක වාර්තාවක් දිමුත්ට
ඉන්දියාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න පන්දු 174 ක් තුළ ලකුණු 107 ක් රැස් කළා. එය ඉන්දියාව තුළ පැවැති ටෙස්ට් තරගය සිව්වැනි ඉනිමේ දී පිතිකරුවකු රැස් කළ වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට එක් වුණා. මීට වසර 74කට පෙර 1948 වසරේ දී එම වාර්තාවට හිමිකම් කීවේ ඉන්දීය හිටපු විශිෂ්ට පිතිකරුවකු වූ මුස්තාක් අලී යි.
එපමණක් නොව ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ ශතකයක් වාර්තා කළ දෙවැනි ආරම්භක පිතිකරුවා වන්නට ද දිමුත්ට එහි දී හැකියාව ලැබුණා. මීට පෙර 1998 වසරේ දී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මාක් ටේලර් ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 102 පසු කර ගිය දිමුත් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ වැඩි ම ලකුණු වාර්තා කළ විදෙස් පිතිකරුවා ලෙස ද වාර්තා පොත් අලුත් කළා.
සියවසේ විශිෂ්ටයෙක් වූ කුසල්
මෙම තරගාවලියේ දෙවැනි තරගයේ අර්ධ ශතකයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වැනි ඉනිම තුළ මව්බිමෙන් පිටත වැඩි ම ලකුණු සාමාන්‍යයක් රඳවා ගත් ක්‍රීඩකයන් අතර පස්වන තැනට පත්වූවා. නමුත් එහි සුවිශේෂීම කාරණාව වන්නේ ඔහුට ඉදිරියෙන් සිටින සෙසු ක්‍රීඩකයින් සිව් දෙනාම 20 වැනි සියවස නියෝජනය කළ ක්‍රීඩකයන් වීමයි. ඒ අනුව මේ වන විට 61.50 ක ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන 21වැනි සියවස නියෝජනය කරන ක්‍රීඩකයන් අතර මව්බිමෙන් පිටත හොඳම ලකුණු සාමාන්‍යයක් ඇති ක්‍රීඩකයින් අතර පළමු තැන කුසල්ට හිමි වෙනවා.
වේගවත්ම අර්ධ ශතකය
ඉන්දීය - ශ්‍රී ලංකා තරගාවලියේ වාර්තා පොත් අලුත් කළේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පමණක්ම නොවේ. ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වන රිෂාබ් පාන්ට් දෙවැනි තරගයේ දෙවැනි ඉනිමේ දී පන්දු 28කදී අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර එය ඉන්දීය පිතිකරුවකු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙස සටහන් වුණා. මීට වසර 40කට පෙර කපිල් දේව් පන්දු 30 කින් වාර්තා කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයේ වාර්තාව ඒ අනුව බිඳ වැටුණා.
වාර්තා රැසක් අසාම්ගේ නමට
මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියා - පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දී පාකිස්තානු නායක බාබර් අසාම් ද වාර්තා රැසකට ම හිමි-කම් කීවා. එහි දී පාකිස්තාන දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දු 425කට ලකුණු 196 ක් ලබාගන්නට අසාම් සමත් වුණා. ඔහු එහි දී ටෙස්ට් තරගයක සිවුවන ඉනිමක වැඩිම ලකුණු රැස් කළ මෙන්ම වැඩිම පන්දු ගණනකට මුහුණු දුන් පළමු පාකිස්තානුවා යි. පාකිස්තානය සහභාගි වූ ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේ වැඩිම වෙලාවක් පිටියේ රැඳී සිටි ක්‍රීඩකයා ලෙස ද අභිෂේකලත් ඔහු සිවුවැනි ඉනිමේ වැඩිම ලකුණු රැස් කළ ටෙස්ට් නායකයා වශයෙන් ලෝක වාර්තාවකට ද හිමිකම් කීවා. අසාම් බිඳ දැමුවේ 184 ක් ලබාගෙන එංගලන්ත නායක මයිකල් ඇතර්ටන් පිහිටුවා තිබූ වාර්තාවක්.
රූට්ගේ වාර්තාව
බටහිර ඉන්දිය කොදෙව්වන් සහ එංගලන්තය අතර පැවත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු 153 ක් ලබා ගත් ජෝ රූට් ටෙස්ට් පිටියේ ලකුණු 150 සීමාව පසු කළ එංගලන්ත ක්‍රීඩකයන් අතර පළමු තැනට පත් වූවා. මේ වන විට ටෙස්ට් ඉනිම් 13 ක දී ලකුණු 150 සීමාව පසු කර ඇති රූට් ඒ අනුව ඇලෙස්ටෙයාර් කුක්ව පසු කර ගියා.