අද ගීත ලියන පරපුරේ වාක් කෝෂය දුප්පත් ගේය පද රචක නාරද විජේසූරිය | සිළුමිණ

අද ගීත ලියන පරපුරේ වාක් කෝෂය දුප්පත් ගේය පද රචක නාරද විජේසූරිය

ප්‍රේමය සංස්පර්ශ කරන්නෝ බොහෝය. නමුත් එකී ආත්මීය භාෂාව දසත පුරා විසිරුවා හැරිය හැක්කේ නිර්මාණකරුවන්ටයි. ගේය පද රචකයන් ද නිරුත්සාහයෙන්ම එකී කුලකයට එක්වෙයි. "නෙළා ගැනුමට නොහැකි වුවද අත්හැරීමත් නොවේ ප්‍රේමය. "එසේ විටෙක ප්‍රේමය ළෙන්ගතු විඳින ඔහු, " මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක.. එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක" යැයි උපේක්ෂාවෙන් ප්‍රේමය වෙනුවෙන් මඟ බලයි. අද රසඳුන ආදරෙන් පුරවන්නේ එකී සොඳුරු ආදරවන්තයා නාරද විජේසූරියයි.

 

කොහොමද මේ දවස්වල ජීවිතේ...

ලංකාවේ මිනිස්සු දෙස බොහොම කනගාටුවෙන් බලා සිටිනවා. උදෑසනට හිසරදයක් සැදුණා වගේ වැඩට යන මිනිස්සු මෙන්ම හවසට පොල්ලකින් ගහලා මරාදමලා වගේ වෙහෙසකර මුහුණකින් පෝලිම්වල තමන්ගේ මූලික අවශ්‍යතාව සපුරාගන්න මිනිසුන් දෙස බලමින් වේදනාවෙන් සිටිනවා.

 

මෙවැනි අර්බුදකාරී සමයක් තුළ කලාකරුවාගේ භූමිකාව කෙසේ විය යුතුද?

මෙවැනි අර්බුද නිර්මාණය වීමට කලාකරුවාගෙන් යම් දායකත්වය තිබෙන බව මම විශ්වාස කරනවා. කලාකරුවාගේ කාර්යභාරය දීර්ඝකාලීනයි. ඒ නිසා අර්බුද නැවැත්වීමට අවශ්‍ය කරන මනෝභාව නිර්මාණය කිරීමයි කලාකරුවාගේ වගකීම. එය මුඛ්‍ය පරමාර්ථය නොවුණත් එක් එක් සමාජවල ස්වභාවය මත කලාකරුවාගේ කාර්යභාරය වෙනස් විය යුතුයි. අර්බුද නිර්මාණය වීමට පෙර පුද්ගලයා දැනුම්වත් කිරීමට කලාකරුවාට හැකියාව පවතිනවා. ආර්ථික හා දේශපාලන අර්බුද පමණක් නොවේ අපේ රටේ සමාජ අර්බුද බොහොමයක් පවතිනවා. උදාහරණයක් ලෙස වර්තමානයේ දරුවන්ට ආදරය කරන්න දන්නෙ නැහැ. ආදරේ තේරුම් ගන්න ඔවුන්ට අවබෝධයක් නැහැ. ඒ වගේම ආදරේ බිඳ වැටීමෙන් පසුව එකී තත්ත්වයට මුහුණදීමට නොදන්නා පෞරුෂ ගැටලු බොහොමයක් ඔවුන් තුළ පවතිනවා. මේ සියලු දේ එකී අර්බුදයේ කොටස් ලෙස හඳුන්වන්න පුළුවන්.

 

ගී පද රචනය තුළ සමාජ ශෝධනයක් කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

ඔව් අනිවාර්යෙන්ම. මේ දිනවල මගේ අතිශය ජනප්‍රිය ගීතයක් වූ "නෙළා ගැනුමට" ගීතය තුළ එකී කාරණය යම් ප්‍රමාණයකින් සම්පූර්ණ වී ඇතැයි මා විශ්වාස කරනවා. එය ගායනා කරන්නේ සුනීර සුමංගයි. එයට සංගීතය සංයෝජනය කළේ කපිල අපරැක්ක යි. "නෙළා ගැනුමට නොහැකි වුවද අත් හැරීමක් නොවේ ප්‍රේමය... බලා දුර සිට කතා නොකරම සුසුම් පපුවක සිර කිරීමය ."මෙයින් කියවෙන්නේ තමන්ට අයිති කර ගැනීමට නොහැකි වුවත් සිතේ තියෙන හැඟීම් නැති කර නොගන්නා ලෙසයි. යම් කෙනකුගේ ආදරය අහිමි වුවත් ඔහුගෙන් හෝ ඇයගෙන් පළි ගන්නවා නම්, තර්ජනය කරනවා නම්, නිරුවත් ඡායාරූප මුදාහරිනවා නම් එය ආදරේ කිරීමක් නොවෙයි. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක සිර කිරීම ප්‍රේමයේ විකල්ප මාර්ගයයි. එය මාගේ ජීවන දෘෂ්ටිය අනුව උත්තුංග පෞරුෂයක්. එසේ මෙවැනි අර්බුදකාරී තත්ත්ව තුළ මිනිසුන්ගේ ඔළු ටික හදන්න ගී පද රචකයාට යම් දායකත්වයක් ලබා දිය හැකි යැයි මම විස්වාස කරනවා.

 

සරච්චන්ද්‍රයන් ගැන කියූ නිසා "නොරිකො සං සොයා " යැයි ඔබ ලියූ කෘතිය ගැන කතා නොකරම බැහැ. ඒ ගැනත් කියමු.

අප පුංචි කාලයේ පටන් පොත්වල ජීවත් වන එක් එක් චරිත එක්ක වගේම අපූරු තැන් සමඟ ආත්මයෝ බැඳුණා. කාටවත් යෑමට නොහැකි ඇමේසන් වනාන්තරයට දකුණු අප්‍රිකාවේ දියමන්ති ආකාරවලට විතරක් නෙමෙයි ලෝකෙ වටේම පොත් සමඟ අප ගමන් කළා. එවැනි විලාසිතාවක් පවතින මනුස්සයෙක් විදියට අපේ රටේ ලියන්නෙකුගේ අඩි පාරේ ගමන් කිරීමට පුළුවන් වීම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ජපානයට යන්න ඕන කෙනෙකුට පුළුවන්. සරච්චන්ද්‍ර ගිය මාර්ගයේ යෑමට සීමාසහිත කෙනකුට පුළුවන්. නමුත් සරච්චන්ද්‍ර ගිය මාර්ගයේ ඔහුගේ මනෝභාවයන් විග්‍රහ කරමින් වගේම ඒ හැඟීම් විඳිමින් ගමන් කිරීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. නොරිකෝ සන් ප්‍රශ්වාස කළ ඒ බිමි ප්‍රදේශයේම මම ආශ්වාස කිරීමම මට වින්දනයක්.

 

ආදරය සිල්ලරට විකිණීම වගේම එයට වටිනාකමක් නොදීම යන වත්මන් ප්‍රවණතාවට ගීත කලාව බලපෑම් සහගත සාධකයක් යැයි කිව්වොත්...

එයට දිය හැකි කෙටිම පිළිතුර නැහැ කියලයි. ගීතයක් නිර්මාණය වන්නෙ සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගේ අත්දැකීමක් මතයි. එක් යුගයක ගීත කියන්නේ එක් යුගයක හරස්කඩක්. ගීත රචකයන් ප්‍රකාශ කරන්නේ මේ යුගය තුළ ආදරයට පවතින ස්ථානයයි. ගීතය නිසා ආදරය සිල්ලර වූවා නො වෙයි. මේ යුගයේ ආදරය පවතින්නේ සිල්ලර වූ තැනකයි. අප ආදරය ප්‍රකාශ කරන්නේ අපට ආදරේ දැනෙන ප්‍රමාණයටයි.

ඒ නිසා එකී ගීත දෙස අවඥාවෙන් බලනවාට වඩා සානුකම්පිතව බැලිය යුතුයි. එකී තත්ත්වයට යම් සාධක ගණනාවක් බලපා තිබෙනවා. අද සමාජය තුළ ආදරය කිරීම වරදක් ලෙස සලකනවා. ඒ නිසාම ඉඩක් ලැබුණු සැණින් කාමරයකට කොටුවෙන්න උත්සහ දරන තරුණ පිරිස් ආදරය කියා ස්පර්ශ කරන්නේ වෙනත් යමක්.

එවැනි තත්ත්වයක් ගොඩනැඟෙන්නේ විශාල ප්‍රාකාරයක් බැඳගෙන දෙමව්පියන් දරුවන් දෙස බලා සිටිනා නිසයි. ආදරය සිල්ලර වන්නේ ආදරය පිළිබඳ වත්මන් සමාජයට අවබෝධයක් නැති නිසයි. ආදරය උත්තුංග, ළං වෙන්න බැරි, පූජනීය හා දැවැන්ත හැඟීමක් විය යුතු නැහැ. එය සාමාන්‍ය ,සරල ජීවන දර්ශනයක් ලෙස දැකිය යුතුය.

අද ගීත ලියන පරපුර අසරණ තත්ත්වයට පත් වී තිබෙන්නේ ඔවුන්ගේ වචන කෝෂය දුප්පත් නිසයි. ඒ වගේම ඔවුන්ගේ හැඟීම් උත්පාදනය දුර්වලයි. ඔවුන් භාවිත කරන ආම්පන්නත් පොහොසත් නැහැ. විදග්ධ පුද්ගලයන් නිර්මාණය කරනු ලැබූ නිර්මාණ පරිශීලනය කරමින් චිත්තරූප මවා ගත් අත්දැකීම වගේම කියවීම අද දරුවන්ට විඳීමට අවකාශයක් නැහැ. තුට්ටුදෙකේ ටෙලි නාට්‍ය තුළින් වගේම හඬ කැවූ ටෙලි නාට්‍ය තුළින් එකී රසාස්වාදය සම්පූර්ණයෙන්ම අහිමි කර තිබෙනවා. එකී හිස් බව වත්මන් ගීත තුළින් අපූරුවට දකින්න පුළුවන්.

 

Comments