කාන්තා දිනය දා වනිතාභිමානී බුහු­ම­නට පාත්‍ර වූ සම්මා­න­ලා­භි­නියෝ | සිළුමිණ

කාන්තා දිනය දා වනිතාභිමානී බුහු­ම­නට පාත්‍ර වූ සම්මා­න­ලා­භි­නියෝ

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා 'වනිතාභිමාන' සම්මාන ප්‍රදානෝත්සවය කාන්තා දිනය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. News 1st සමඟින් NDB බැංකුව එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේ අරමුණ වූයේ ලාංකේය ආර්ථික, සමාජ, සංස්කෘතික ආදී විවිධ අංශයන්හි දස්කම් පාන කාන්තාවන් හඳුනාගෙන ඔවුන් සවිබලගැන්වීම සහ අගය කිරීමත් නවීන වෙ‍ෙළඳපොළට සහභාගී කරවා ගැනීමය.

වසරක කාලයක් පැවැත්වුණ වනිතාභිමාන තරගාවලියේ දී ජාතික මට්ටමින් තෝරාගත් ජයග්‍රාහිකාවන් දස දෙනෙකුටත්, ආයතනික සහ වෘත්තීය අංශය ආවරණය කරමින් සම්මාන දහයකුත් පිරිනැමුණා. එදින ජාතික සම්මාන දිනූ ජයග්‍රාහිකාවන් කිහිප දෙනෙකු අපි මෙලෙස සම්බන්ධ කරගත්තා.

 

වනිතාභිමානී සම්මානය මගේ ගමනට ලොකු දිරිගැන්වීමක්

ඔමාලි සංජානි

වයඹ පළාත නියෝජනය කරමින් ජාතික සම්මානය ලැබුණෙ පාරිසරික කළමනාකරණ අංශය වෙනුවෙන්.මම වෘත්තියෙන් විලාසිතා නිර්මාණකාරිනියක්. ඉවතලන ද්‍රව්‍ය භාවිත කරල තමයි එම විලාසිතා නිර්මාණ කරන්නෙ.මේ වෙනකොට පොලිතීන් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය යොදාගෙන මංගල ඇඳුම් සහ වෙනත් විලාසිතා නිර්මාණය කරනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසර විද්‍යාර්ථයෙක්ව සිටි අවධියේ මුලින්ම මේ ක්ෂේත්‍රයට යොමු වුණා. 2018 වසරේ දි යුරෝපිය විශ්වවිද්‍යාල කීපයක් එකතු වෙලා කළ සර්කියුලේෂන් කියන ප්‍රොජෙක්ට් එකේ ලෝකෙන්ම පළමු වෙනි ස්ථානය ලැබුණෙ මගෙ අදහසකට.එම ජාත්‍යන්තර සම්මානය ගැන බොහෝ දෙනෙක්ගෙ අවධානය යොමු වුණේ නැහැ. මෙවර හිමිවුණ වනිතාභිමානී සම්මානය මගෙ ගමනට ලොකු දිරිගැන්වීමක්.

 

මේ සම්මානය මගේ කැපකිරීම්වලට ලැබුණු වටිනාකමක්

සමන්ති මිරියගල්ල

මට හිමි වුණේ බස්නාහිර පළාත නියෝජනය කරමින් සාහිත්‍යය සඳහා සම්මානයයි.ළමා සාහිත්‍ය කෘති රචනා කිරීමත් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මුද්දර නිර්මාණය කිරීමත් විනිශ්චය මණ්ඩලයේ අවධානයට ලක්වුණා. මම මේ වෙනකොට මුද්දර විස්සක් විතර නිර්මාණය කරල තියෙනවා. මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තු තේමා ගීතය ඇතුළු ගීතත් රචනා කළා. ලේක්හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක් ලෙස දැනට කටයුතු කරනවා. 2016, 2017 වසර වල ලෝක ළමා දින නිල ලාංඡනය ,2016, 2020 ලෝක ළමා දින මුද්දර 2017, 2018 වෙසක් සමරු මුද්දර 2020 ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා මුද්දරය සහ 2021 වර්ෂයේ හස්ත කර්මාන්ත දෙපාර්තමේන්තුවට මුද්දර 10ක් මම නිර්මාණය කළා. වෘත්තියෙන් සමෘද්ධි දෙපාර්තමේන්තුව සංවර්ධන නිලධාරිනියක් ලෙස දවස් පහම රැකියාව කරන අතරතුර පවුලෙ කටයුතුත් සමබරව කරගෙන අවුරුදු විසි පහක් ලේඛිකාවක්, නිවේදිකාවක් සහ හඬකැවීම් ශිල්පිනියක් ලෙස මගේ බහුවිධ රාජකාරී අගය කරමින් ලැබුණ මේ සම්මානය මගේ කැපකිරීම්වලට ලැබුණු වටිනාකමක්.

 

රටට විදේශ විනිමය උපයා දීමයි මීළඟ අරමුණ

නිමාලි ප්‍රසංගිකා

මගේ ගම් ප්‍රදේශය පානදුර වෑකඩ. මට ලැබුණෙ නැඟී එන ව්‍යවසායිකා සම්මානය. 2019 වසරේ සිට බතික් ව්‍යාපාරයක් කරගෙන යනවා.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාස තුනක පාඨමාලාවකින් මූලික දැනුමත් වෙනත් බතික් පාඨමාලාවක් මඟින් අමතර දැනුමත් ලබාගත්‍තා. මගේ චිත්‍ර ඇඳීමේ හැකියාවත් උපයෝගි කරගෙන කෙටි කලකින් විශාල ගමනක් එන්න ලැබීම ගැන තියෙන්නේ ආඩම්බරයක්. ජාතික ශිල්ප සභාවෙ සහ කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ ලියාපදිංචිය ලබාගෙන තිබෙන 'Drawmo බතික්' කියන නම ජාත්‍යන්තර සන්නාමයක් දක්වා වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා රටට විදේශ විනිමය උපයා දීමයි මගේ මීළඟ අරමුණ.

 

හිතුවොත් කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ

කුමාරි විමලරත්න

මට වනිතාභිමාන ජාතික සම්මානය ලැබුණෙ 'ව්‍යාපාර ක්ෂුද්‍ර' අංශයෙන්. දැනට වසර 8ක් පුරා මම කොන්ක්‍රීට් සෙරමික් භාණ්ඩ නිෂ්පාදනය කරනවා.මින් පෙර 'දිරිය අභිමානි' සම්මාන උළෙලේත් ජාතික මට්ටමෙන් තුන් වන ස්ථානය දිනා ගත්තා. ව්‍යාපාරය තවදුරටත් දියුණු කර ගැනීම සඳහා මෙම සම්මානය මට ලොකු දිරිගැන්වීමක්. මම මුලින් මැහුම් ගෙතුම් බිම්මල් වැනි ක්ෂේත්‍රවලට යොමු වෙන්න උත්සහ කළත් වෙන කෙනෙක් කරන දේකට වඩා වෙනස් දෙයක් කරන්න පුළුවන් නම් කියලා හිතුණා. ඒ අනුව තමයි මේ ක්ෂේත්‍රයට යොමු වුණේ. හිතුවොත් කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ.

 

කාන්තාවන් බය නැතුව සමාජයත් එක්ක ගැටෙන්න ඕනෑ

විශ්මි කෞෂල්‍යා

දකුණු පළාත නියෝජනය කරමින් 'තරුණ නායිකා' අංශයෙන් තමයි මට ජයග්‍රහණය ලැබුණේ. විනිසුරු මණ්ඩලයේ අවධානයට යොමු වුණේ තරුණ නායිකාවක් ලෙස මම සමාජයට කරල තියන දේවල් ගැනයි. මම ඉපදුණේ හික්කඩුව ප්‍රදේශයේ. පාසල් ගියේ වෙරගොඩ විජයබා මහ විද්‍යාලයට. අවුරුදු දොළහේ සිට සංවිධාන දහයකට අධික සංඛ්‍යාවක ස්වේච්ඡා නායකත්වය දරමින් ව්‍යාපෘති පනහකට වැඩි ගණනාවක් කළා. තරුණ නායකත්වය සංවර්ධනය වෙනුවෙන් නායකත්වය කඳවුරු, වෙරළ පිරිසිදු කිරීම් ගස් සිටුවීම්, වෛද්‍ය සායන සංවිධානය කළා. ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ හරහා බොහෝ සමාජ සේවා සත්කාරවලට නායකත්වය දෙන්න ලැබීම සතුටක්. වර්තමානයේ බොහෝ තරුණ කාන්තාවන් නිවසට හිර වෙලා. මම ඔවුන්ට කියන්නේ බය නැතුව සමාජයත් එක්ක ගැටෙන්න කියලයි. මොකද අත්දැකීම් ගන්න හොඳම තැන තමයි සමාජය.

 

පුංචි දෙයක් හරි කරන්න පටන් ගන්න

ලලිතා පද්මිණි

වසර හතළිහක් පුරා මම කුළුබඩු නිෂ්පාදනය කරන මාව ඇගයුවේ කුඩා ව්‍යාපාර අංශයෙන්. ඒ යටතේ ගම්මිරිස්, එනසාල් වැනි කුළුබඩු වර්ග, කුරක්කන් පිටි වැනි දේශීය නිෂ්පාදන වෙ‍ෙළඳපළට එක් කරනවා.

මුලින්ම නිවසේ ව්‍යාපාරය ආරම්භ කළත් පසුව රත්නපුර කර්මාන්ත පුරයේ රජයෙන් ලැබුණ ඉඩමේ හදපු ගොඩනැගිල්ලක තමයි කර්මාන්ත ශාලාව ඉදි කළේ. 1997 වසරෙ කාන්තා කාර්යාංශය පවත්වපු තරගයේ කුඩා ව්‍යාපාර අංශයෙන් පළමු ස්ථානයත් 2014 වසරේ 'හොඳම ව්‍යවසායිකාව' ලෙසත් සම්මානිත වුණා. මෙවර වනිතාභිමාන සම්මානය ලැබීම තුළින් නැවත දිරිමත් වුණා කිව්වොත් නිවැරදියි. මම කාන්තාවන්ට ලබා දෙන පණිවිඩය තමයි උදාසීන නොවී ධෛර්යවත්ව පුංචි දෙයක් කරන්න පටන් ගත්තොත් එය දියුණු කරගන්න අවශ්‍ය වටපිටාව ඉබේම නිර්මාණය වෙනවා.

 

තමන් ගැන විශ්වාසය තිබුණොත්  කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නෑ

චාන්දනී දිසානායක

වයඹ පළාත නියෝජනය කරමින් ස්වේච්ඡා සේවය අංශයෙන් තමයි මට සම්මාන ලැබුණේ. මගේ ගම කුරුණෑගල. මම මාධ්‍යවේදිනියක්. අවුරුදු හතක් පළාත් හයක දිස්ත්‍රික් නවයක වෙනස් කොට සලකන සමාජවල ප්‍රශ්න ලංකාදීප, දිනමිණ වැනි පුවත්පත් හරහා සමාජයට හෙළිදරව් කළා. ඒ ලිපි කියවපු දේශීය හා විදේශීය පුද්ගලයන්ගෙ උදවුවෙන් සමාජ සේවාවන් ගණනාවක් කරන්න මට හැකිවුණා. මේ යටතේ නිවාස දහයක් සහ පුස්තකාලයක් හදන්නත්, පුස්තකාල පහක් සඳහා පොත් පරිත්‍යාග කරන්නත්, ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් 1400ක් සඳහා ඉගෙනගන්න අවශ්‍ය පාසල් උපකරණ වසරක් පාසා ලබා දෙන්නත්, බුදු දහම අදහන්න කැමති දමිල අයට බුදු පිළිම සහ දෙමළ භාෂාවෙන් පරිවර්තනය කළ බෝධි පූජා පොත් ප්‍රදානය කරන්නත් හැකිවුණා. කාන්තාවන්ට දෙන පණිවිඩය තමන් ගැන විශ්වාසය තිබ්බොත් ඔවුන්ටත් කරන්න බැරි දෙයක් නෑ කියලයි.

 

ඕනෑම කාන්තාවකගෙ ගමන අවංකව වුණොත් ඉදිරියට යන්න පුළුවන්

අයිරාංගනී රූපසිංහ

සබරගමුව පළාත නියෝජනය කරමින් ක්‍රීඩා අංශයෙන් ජාතික සම්මානය තමයි මට හිමි වුණේ. මම මලල ක්‍රීඩිකාවක් ලෙස ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා තිබෙනවා. 1985 වර්ෂයේ බංගලාදේශයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 100/4 200/4 රිදී සහ රන් පදක්කම් දිනා ගත්තා. ශ්‍රී ලංකා වාර්තා දෙකක් තැබුවා. අවුරුදු නමයෙදි තමයි මම ක්‍රීඩා කටයුතු ආරම්භ කළේ. ක්‍රීඩා ගුරුවරියක් ලෙස අවුරුදු 14ක් පාසල් තුනක සේවය කළා. 1999 සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු ලෙසත් 2008 වසරේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේත් සේවය කළා. ඕනෑම කාන්තාවකට තමන්ගෙ ගමන අවංකව කළොත් ඉදිරියට යන්න පුළුවන්. මගේ වසර 36ක ක්‍රීඩා පරිපාලන සේවය අගය කිරීමක් ලෙසයි මම මේ සම්මානය දකින්නේ.

මෙම වනිතාභිමාන සම්මාන රාත්‍රියේ දී සුවිශේෂී ලාංකේය කාන්තා පෞර්ෂයන් පහක් වෙනුවෙන් ජීවිතේ එක වරක් පමණක් පිදෙන 'වනිතාභිමාන අභිනන්දන' සම්මාන පිරිනැමුණා.

 

තමන්ගේ දක්ෂතාවලින් ප්‍රයෝජන ගැනීමට උනන්දු විය යුතුයි

අනුල ද සිල්වා

නවකතා සහ පරිවර්තන ලේඛිකාවක් සේම පුවත්පත් කලාවේදිනියක් වන අනුල ද සිල්වා තිත්ත කෝපි, කටුකුරුලු හඬ, දෙවියන්ගේ අඩවිය ආදී පරිවර්තනත් උන්මත්තකයෝ, පාදඩයකුට පෙම් බැඳ ආදී කෘතිත් රචනා කළා. පුවත්පත් කලාවට කාන්තාවගේ අඩු දායකත්වයක් තිබූ යුගයක, එම කලාවට පෙම්බැඳි ඇය පුවත්පත් ගණනාවක කර්තෘ පදවිය ද දැරුවා.

" පුවත්පත් කලාවේදිනියක් ලේඛිකාවක ලෙස මම කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ සේවාව අගය කිරීම සතුටක්. විවාහයත් සමඟ බොහෝ කාන්තාවන් අතින් සාහිත්‍යය ගිලිහෙනවා. ඒක ඇත්තටම දුක්ඛාන්තයක්. කාන්තාවන් අතළොස්සක් තමයි දීර්ඝකාලීනව සාහිත්‍ය කටයුතුවල නිරත වෙන්නේ.

 

දේශීයත්වය ගොඩනගන්න කාන්තාවන් ගෙදරින් පටන් ගතයුතු කාලයක්

මහාචාර්ය සාහිත්‍ය ශූරී  මාලනී ඇඳගම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියත් ආචාර්ය උපාධියත් ලබාගත් මහාචාර්ය මාලනී ඇඳගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේත් විවිධ තනතුරු දැරුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ ඉතිහාසය විෂයට අදාළ විෂය නිර්දේශ සැකසීම, පෙළ පොත් ලිවීම, විභාග කටයුතු යනාදී ක්‍ෂේත්‍රවල දශක ගණනාවක් පුරා යෙදී සිටි ඇය මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම්ධූරයේ ද කටයුතු කරනවා.

" මම කරලා තියෙන ශාස්ත්‍රීය සේවාව අගය කරන්න මෙවැනි සම්මානයක් ලැබීම සතුටක්. තමන් උනන්දුයි නම් ඒ තරම් බරපතළ අභියෝගයක් තවත් නැහැ. රටක සංස්කෘතිය ගොඩනැඟෙන්නේ රටේ සොබාදහමත් ,මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සහ රටේ සම්පත් අනුවයි. නැවත දේශීයත්වය ගොඩනගන්න කාන්තාවන් නිවසින් ආරම්භයක් ගත්තොත් පිරිමි අයත් ඒකට අනුගත වේවි."

 

කාන්තාවට ලැබෙන්න ඕනෙ සමතැන නිසි තැනයි

ප්‍රවීණ රංගන ශිල්පිණි  මාලිනී ෆොන්සේකා

මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා ඇයගේ සිනමා ගමන තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ 'පුංචි බබා' චිත්‍රපටයෙන් ආරම්භ කළ අතර පසුව චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍යය රාශියක රඟපෑවා. සිංහල සිනමාවේ 'නිළි රැජින'යන අන්වර්ථ නාමය ද හිමි ඇය ජාත්‍යන්තර තලයේ සම්මාන හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික නිළිය ද වුණා.

" මෙම සම්මානය ලැබීම සතුටක්. ලංකාවෙ රංගන හා වෙනත් ක්ෂේත්‍ර තුළ කාන්තාවට අනන්‍ය වූ සුවිශේෂී තැනක් හා වටිනාකමක් වර්තමානයේ තියෙනවා. හැබැයි අතීතයේ පුරුෂ මූලික සමාජ ක්‍රමවේදයක් තිබුණෙ. මට මතකයි නාඩගම් ශිල්පියෙක් වන අපේ සීයා මගේ මවට ඒ නාඩගම් බලන්න වත් දුන්නේ නෑ. එවැනි වටපිටාවක සීයටත් විරුද්ධ වෙලා අම්ම මාව කලාවට යොමු කළා. වර්තමානයේ කාන්තාවන් කළු ඇඳගෙන විප්ලව කළාට මගෙ අම්ම කරපු කාර්යය තමයි සැබෑම විප්ලවය. එදා ඇය එසේ නොකළා නම් අද මාලනී ෆොන්සේකා කියන නිළියක් නැහැ. "

 

සම්මානය සතුටක්

ප්‍රවීණ ගායන ශිල්පිණී සුජාතා අත්තනායක

'සිංහල ගීතයේ රන් ස්වරය', ගායන හා වාද්‍ය විශාරද කලාශූරී ආචාර්ය සුජාතා අත්තනායක හයදහසක් පමණ ගීත ගායනා කර තිබෙනවා.වෙනත් භාෂා 9කින් ගීත දහසකට වඩා ගයා ඇති ඇය ලංකාවේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරිය ද වෙනවා. කැසට් පට එකසිය පහළවකට අධික ප්‍රමාණයක ගී ගැයමින් මෙරට වැඩිම කැසට් පට සංඛ්‍යාවක් නිකුත් කළ ගායිකාව වන්නේ ද ඇයයි.

" වසර හැත්තෑවකට අධික මගේ කලා ජීවිතය තුළ සම්මාන රැසක් හිමිව තිබෙනවා. මෙවර කාන්තා දිනය දා මගෙ සංගීත සහ ගායන සේවාව අගයමින් ලබා දුන් සම්මානය පිළිබඳව බෙහෙවින් සතුටට පත් වෙනවා."

 

ආර්ථික සහ දේශපාලන බල ගැන්වීම අපි කතා කළ යුතුයි

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳව නියෝජිත ජයත්මා වික්‍රමනායක

ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව නම් කළ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක තේරී පත් වුණේ 2019 වසරේ දී යි. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබඳ නියෝජිතවරිය ලෙස මේ වන විට කටයුතු කරන ඇය ලොව පුරා වෙසෙන තරුණ පිරිස් සමඟ සම්බන්ධ වෙමින් තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කරනවා.

" අද මුළු ලෝකයම වසංගතයත් දේශගුණික සහ කාලගුණික ගැටලුත් පරිසර විනාශයත් නිසා අර්බුධ රැසකට මුහුණ දීලා තියෙනවා. ලෝකය පුරා කාන්තාවන් සතු බලය, ශක්තිය සහ දැනුම තිරසාර සංවර්ධනය උදෙසා යොදා ගන්නේ කොහොමද කියලා මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතිනවා."

මීට අමතරව ජනතාවගේ මනාපයෙන් තේරී පත් වූ 2021 වසරේ 'ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාව' සම්මානය ද වනිතාභිමාන සම්මාන උලෙළේ දී පිරිනැමුණා.

එහි අවසන් වටය සඳහා තේරීපත්ව සිටි ප්‍රවීණ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි ශෂිකා නිසංසලා, ජනප්‍රිය ගායන ශිල්පිනි යොහානි ද සිල්වා, කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සහ ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා අතරින් වැඩිම ජනතා මනාප ලබා ගනිමින් 2021 වසරේ ජනප්‍රියම කාන්තාව බවට තේරුණේ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශයි.

 

Comments