සබඳ පැමිණ යන්න බෙම්තොටින් තුටින් | සිළුමිණ

සබඳ පැමිණ යන්න බෙම්තොටින් තුටින්

ගමන් මාර්ගය A2 කොළඹ - ගාල්ල මාර්ගයේ  අලුත්ගම පසුකර  දකුණු පළාතට  පිවිසීමේදී  හමුවේ

 

එක් සුන්දර අවසානයක් තවත් සුන්දර ආරම්භයකට මඟ කියයි නම් එය කෙතරම් මිහිරි අත්දැකීමක් වේද? එහි පවතින්නේ සැබෑ ම සුන්දරත්වයකි. අපූර්වත්ව රැසක එකතුවකි. බස්නාහිර පළාතේ අවසානයත් දකුණු පළාතේ ආරම්භයත් සලකුණු කරන බෙන්තොට ඒ සුන්දරත්වයට සැබෑවටම හිමිකම් කියයි. කොළොම්තොට සිට ගාලු පාරේ දකුණට යන එන සෑමදෙනාම බෙන්තොටින් දකුණට පිවිසෙන්නේම මේ අපූර්ව චමත්කාරය හද තුළ රඳවා ගනිමිනි. මේ සුන්දරත්වය විඳින්නට රිසි වූවෝ විදේශයන්හි සිට පවා බෙන්තොට සොයා ආහ. එසේ පැමිණියේ අද ඊයේ සිට නොව පෙර රජ දවස සිටමය. රජ මැදුරේ සිට හසුන්පත් රැගෙන ගිය බොහෝ සන්දේශ කාව්‍යකරුවන්ද මෙහි දිනක් නැවතී ගියේ මෙහි වූ සුන්දරත්වයට එතරම්ම වශී වූ නිසා ය.

 

හිනිදුම් කඳු වැටියෙන් ආරම්භ වී සරුසාර නිල්වන් ජල කඳක් රැගෙන එන නදිය මුහුද හා එක්වන ගං මෝයත් අනෙක් පසින් වූ නිල්වන් මුහුදු තීරයත් නිසා බෙන්තොට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තිබේ. සුන්දරත්වය මෙන්ම බෙන්තොට දකුණු රටට යන එන ජනයා එගොඩ මෙගොඩ කරන තොටුපළකි. වර්තමානය වන විට සුන්දර පාලමකින් ගං දෑල යාවී තිබුණ ද අතීතයේ මේ තොටුපළින් එගොඩ වීමට සිදුවූයේ පාරුවකිනි. එකල්හි මේ පාරුවෙන් එගොඩ මෙගොඩ යන එන ජනයා බියපත් කරන මහා රකුසකු වූයෙන් මේ තොටුපළ “භීමතිත්තය” ලෙස නම් ලද බවත් පසුව එය “බෙම්තොට” වී වර්තමානයයේදී “බෙන්තර” බවට පත්වූ බවත් ජන ප්‍රවාදයන්හි දැක්වේ.

රකුසකු වාසය කළා යැයි ජනප්‍රවාදයේ පැවසුණ ද බෙන්තර පාලම හා බෙන්තර මෝයකට ආශ්‍රිත ප්‍රදේශය ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ඇති ස්ථානයක් බවට වර්තමානයේ පත්ව තිබේ. ගඟ මැද පිහිටි දූපත නිසා දෙකට බෙදී මුහුද සොයා යන බෙන්තර ගංගාවේ ස්වාභාවය හා පරිසර අලංකාරය නිසා බෙන්තර ගං මෝය සංචාරකයන් අතර ඉතා ප්‍රකට ය. මෙය වඩා ප්‍රකට වී ඇත්තේ බෝට්ටු සවාරි යෙදෙන්නන් අතර ය. කඩොලාන, අලංකාර මල් පිරි ජලජ ශාක සහිත සුන්දර දර්ශනීය ස්ථාන රැසක්ම ගං දෑලේ පිහිටා තිබීම ගඟ දිගේ බෝට්ටු සවාරියක් යාමට බෙන්තොටින් ගඟට බසින කිසිවකු අමතක නොකරති. මේ නිසා බෙන්තර ගං මෝය ආශ්‍රිතව සංචාරක බෝට්ටු සේවා සපයන්නෝද බොහෝ සිටිති. බෙම්තොට පාලම් පාරුව වෙනුවට දකුණු පිවිසුම් දොරටුව ලෙස 1902 දී දැවැන්ත යකඩ පාලමක් ඉදිකරන ලදී. මෙලෙස මහා මාර්ගය හා දුම්රිය මාර්ගය සඳහා යකඩ පාලම් දෙකක් ඉදි වූ අතර මහා මාර්ගය සඳහා වූ පාලම අබලන් වීම නිසා මෑතකදී කොන්ක්‍රීට් පාලමක් ඉදිකරන ලදී. පැරණි යකඩ පාලම කෞතුක වටිනාකමක් ඇති නිසා සංරක්ෂණය කොට ඇති අතර එය විදේශිකයන්ගේ ඉහළ අවධානයක් දිනා ගැනීමට සමත්වී වී තිබේ. මේ පාලම් පද්ධතිය බෙන්තොටට අපූර්ව අලංකාරයත් හා තේජසක් ගෙන එයි.

බෙන්තොට වඩාත් ප්‍රකට සංචාරක පුරවරයක් බවට පත්වී ඇත්තේ නොගැඹුරු මුහුද සහ පුළුල් වූ වැලිතලාවන්ගෙන් හා හරිත පොල් රුප්පාවෙන් හැඩ වූ සුන්දර වෙරළ තීරය නිසාය. හිරු රැස් විඳීමට ඉතාම සුදුසු වෙරළ තීරයක් ලෙස මේ වෙරළ තීරය ලෝකය පුරා ප්‍රකට වී ඇති නිසා මෙම වෙරළට පැමිණ විවේකී සුව විඳීමට යුරෝපීය ජාතිකයක් දක්වන්නේ දැඩි උනන්දුවකි. නොගැඹුරු මුහුදු තීරය නිසා ජල ක්‍රීඩාවන් සඳහා පැමිණෙන්නන් ද ඉතා සුලබය. මේ නිසා මෙරට ප්‍රධාන සංචාරක පුරවරයක් ලෙස බෙන්තර විශාල දියුණුවක් ලබා තිබේ. මෙම ගං මෝය හා වෙරළ තීරය දිගේ අති විශාල සංචාරක හෝටල් සංඛ්‍යාවක් බිහිවී ඇති අතර වෙරළ ක්‍රීඩා හා මුහුදු ක්‍රීඩා සඳහා පහසුකම් සපයන ස්ථානයන්ද විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. දකුණු වෙරළ තීරය දිගේ සුන්දර දුම්රිය සංචාරයක් අත්විඳින සංචාරකයන් හටද බෙන්තොටට පහසුවෙන් ළඟා වී සංචාරයෙහි අපූර්වත්වය විඳීම සඳහා ඉතා සුන්දර දුම්රිය පළක් වන බෙන්තර දුම්රිය ස්ථානය අවශ්‍ය පහසුකම් සලසා දෙයි.

නූතනයේ මෙන්ම පැරණි රජ සමයේ පටන්ම බෙම්තොට බොහෝ සශ්‍රීක සුන්දර සංචාරක නගරයක්ව පැවති බව සඳහන් වන අතර ගලපාත රජ මහා විහාරය, වනවාස උමං රජ මහා විහාරය, උඩ කොටුව බෝධී සමීප රජ මහා විහාරය, බෝධි මළුව රජ මහා විහාරය, බෙම්තොට රජ මහා විහාරය, නිල්ගල්තලා විහාරය වැනි පුරාවිද්‍යාත්මක අතින් ඉහළ වටිනාකමක් ඇති ස්ථාන රැසක් පිහිටා තිබීම නිසා බෙන්තර සංචාරක ආකර්ෂණය තවත් ඉහළ නැවීමට හේතු වී තිබේ. සුන්දර වෙරළ තීරයක, ගංමෝයක, දුම්රියපළක සුන්දරත්වය එකට එක්වූ බෙන්තර ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයන්ගෙන්ද පරිපූර්ණ නිසා සෑම සංචාරකයකුටම මෙහි ඉඩක් තිබේ. මේ නිසා ළා හිරු රැසක පහස විඳිය හැකි සුන්දර වෙරළක් සහිත සිසිල් ජල දහරාවක පහස විඳිය හැකි සොඳුරු ගං මෝයක් සහිත මේ අති රමණීය බෙන්තොට ලොව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස සැමදා පවතිනු ඇත.

Comments