
දීර්ඝ කාලයක් ගත වුණත් රසිකයන්ට අමතක නොවුණු ගීතයක් ලියැවී තිබෙනවා නම් එය සාර්ථක නිර්මාණයක්
ගීතයක පැවැත්මට පද රචනය බෙහෙවින් බලපෑම් කරනවා
සමාජයට පණිවිඩයක් දීමට කවියට වඩා ගීතයට පහසුයි
විප්‍රයෝගය කඳුළු විලක් සේ හඟින බොහොමයක් නිර්මාණ අතරේ වියෝවට ධනාත්මක දෘෂ්ටියක් හෙළන නිර්මාණකරුවන් අතළොස්සෙහි ඔහුගේ නම නිරන්තරයෙන්ම කියැවෙයි. ඊට හොඳම ජීවමාන නිදසුන " මාත් මගෙ හිත මගෙ හිත හදාගන්නම්" ගීතය යි.අද රසඳුනෙහි පත් ඉරුවක ඉඩහසර වෙන් වන්නේ එකී අපූරු ගේය පද රචකයා ටයි. ඔහු නමින් සුසන්ත දන්දෙණිය ගමගේයි.
කොහොමද මේ දවස්වල ජීවිතේ...
මේ දවස්වල නිවාඩුවට ලංකාවට ඇවිත් සිටිනවා .ඒ නිසා ලංකාව පුරාම සංචාරය කරමින් සතුටින් කාලය ගත කරනවා .
ඔබ ගීත රචනය තුළ මුලකුරු කියවන්නෙ කොහොමද?
ගීතයක්. ඒ 2010 වර්ෂයේදීයි. ඒ ගීතය ගායනා කරන්නේ සෝමලතා ජයසූරිය මහත්මියයි. 2012 වර්ෂයේදී ප්‍රේමකීර්ති අල්විස් මහතා වෙනුවෙන් නිර්මාණය කළ උපහාර ගීතය මගේ කලා ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය යැයි කීවොත් නිවැරදියි. ඉන්පසු උපහාර ගීත කිහිපයක්ම මම නිර්මාණය කළා.සනත් නන්දසිරි රෝහණ බෝගොඩ වැනි ප්‍රවීණයන් වෙනුවෙනුත් මම ගීත නිර්මාණය කර තිබෙනවා.
මාත් මගෙ හිත හදාගන්නම් ගීතයට වස්තුබීජය නිර්මාණය වුණේ කොහොමද?
මගේ නිර්මාණ බොහොමයක් මං මුහුණු පොතට යොමු කරනවා. ඒ ගීතය මුලින් ම දකින්නෙ තරිඳු පියංකර සිල්වායි. ඔහු තනුව නිර්මාණය කර සංගීතය සැපයීමට පසන් ලියනගේට යොමු කරනවා. ඒ ගායනා කරන්නේ තාරක ගුණරත්නයි. එයට මූලික පදනම වැටෙන්නේ මුහුණු පොත හරහායි.
විරහව කඳුළු විලක් ලෙස දකින බහුතර නිර්මාණ අතර එයට ධනාත්මක දැක්මක් ආරෝපණය කිරීමෙන් ජනගත කිරීමට අපහසු වේ යැයි හැඟුණේ නැද්ද ?
විරහව විඳීම පුද්ගලානුබද්ධයි. නමුත් එය ධනාත්මක නිර්වචනය කළ යුතු යැයි මම විශ්වාස කරනවා. පරාජය ධනාත්මක විඳින විට ජීවිතය ගොඩනඟා ගන්න පහසුයි. "මාත් මගෙ හිත හදාගන්නම්" ගීතය තුළ විරහවක් ඇත්තෙම නැහැ. එම ගීතය සමාජගත කිරීමේ මූලික ගෞරවය හිමිවිය යුත්තේ පසන් ලියනගේ කණ්ඩායමටයි. මෙම ගීතය මම සමාජයට මුදා හරින්නේ 2017 දෙසැම්බර් මාසයේදීයි. එකී අවදියේ දී නොඇසියයුතු ගණයේ පද රචනා සමාජයට මුදා හැර තිබූ අවදියක්. අප උත්සාහ කළේ එකී රැල්ල කැඩීමටයි. මෙවන් පදවල හිඟයක් සමාජය තුළ පවතින නිසා එය ඉක්මනින් මිනිසුන් අතරට යාවි යැයි අප විශ්වාස කළා .
"මාත් මගෙ හිත හදාගන්නම්" ගීතයට රූප රචනාවක් නිර්මාණය නොකළේ
හිතාමතා ද ?
වර්තමානයේ සමාජ මතයක් ගොඩනැඟී තිබෙනවා ගීතය ජනප්‍රිය කිරීමට රූප රචනාවක් අත්‍යවශ්‍යයි කියා. නමුත් එකී මතයෙහි සත්‍යතාවක් නැති බව මේ ගීතය තුළින් ම පැහැදිලි වෙනවා. ගීතයක් සාර්ථකවීමට පද රචනය, සංගීතය, ගායනය යන අංශයන් සම්පූර්ණ විය යුතුයි. එය රිලේ ධාවන තරඟයකට සමානයි. ඒ නිසා එක් අයෙකුගෙන් හෝ බැට්න් එක ගිලිහුණොත් මුළු තරඟය ම පරාජය වෙනවා.
නිර්මාණකරණයේදී ගායකයා පමණක් කැපීපෙනීම තුළ ගේය පද රචකයන්ට පැවැත්ම ගොඩනගා ගන්න අපහසුයි නේද?
එය සමාජය තුළ පවතින ප්‍රධාන ගැටලුවක්. ගුවන්විදුලියෙහි ගීතයක් ප්‍රචාරණය වුණත් පද රචකයා ගේ නම කියවෙන්නෙ නැති තරම්. මාත් මගෙ හිත හදාගන්නම් ගීතය ජනප්‍රිය තලයේ ගායක ගායිකාවන් ගායනා කරන්නට ඉල්ලා තිබුණා. එයට මගේ අකමැත්තක් නොතිබුණත් පසන් ඇතුළු කණ්ඩායම එය ප්‍රතික්ෂේප කළේ ජනප්‍රිය ගණයේ ගායකයෙක් එය ගායනා කළහොත් පද රචනයට කිසිවෙකුගේ අවධානය යොමු නොවන නිසයි. ඔවුන් එදා දුටු දැක්ම නිවැරදි යැයි මම අද විශ්වාස කරනවා.
ගීතයක සාර්ථකත්වයට පද රචනය ඇති කරන්නේ කුමන
බලපෑමක් ද?
ගීතයක අත්තිවාරම් වන්නේ පද රචනයයි. අත්තිවාරම ශක්තිමත් නැති ගොඩනැගිල්ලක් රඳා පවතින්නේ පවතින්නෙ නැහැ .නමුත් වර්තමානයේ එකී පියවරයන් උඩු යටිකුරු වී පවතිනවා. ඇතැම් අවස්ථාවලදී රූප රචනයට ගැළපෙන පද ඉල්ලන අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. ගීතයක අවසන් ම පියවර මූලික පියවර බවට පත්වීම තුළ ගුණාත්මක නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාවය අඩු වී තිබෙනවා. නිර්මාණයක් සාර්ථක යැයි කියන්නේ එයින් රැල්ලක් බිහිවීම නෙමෙයි. දීර්ඝ කාලයක් ගත වුණත් එය මිනිසුන්ට අමතක නොවන තැනක ලියැවී තිබෙනවා නම් එය සාර්ථක නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි. එසේ ගීතයක පැවැත්මක් ගොඩනැඟීමට මූලික වශයෙන් පද රචනයත් බලපෑම් කරනවා.
ජාතික කවි සම්මේලනයේ ඔබ වරෙක සම්මානනීය වෙනවා. ඒ ගැනත් කතා කළොත්?
එතනදි මම සම්මානනීය වුණේ කවිත්වයටයි. සදැස් කවියට මම බෙහෙවින් ලැදියි. දවසේ කවිය ලෙස සෑම දිනකම කවියක් මං මුහුණ පොතට යොමු කළා. වසර දෙකහමාරක් පමණ අඛණ්ඩව මම එය සිදු කළා. ඒ අනුවයි මට එකී සම්මානය හිමිවන්නේ. එහි දී කාව්‍ය අභිමාන දේශබන්දු යන සම්මාන මට හිමි වෙනවා. නමුත් මේ වෙනකොට මම උවමනාවෙන්ම කවියෙන් ඈත් වී සිටිනවා. ඊට හේතු ගණනාවක් තිබෙනවා. මම හිතන විදියට සමාජයට පණිවිඩයක් දීමට කවියට වඩා ගීතයට පහසුයි.
අපි දැන් පංකි මනාලි ගැන කතා කරමු.
පංකි මනාලි මගේ පළමු නවකතාවයි. එය බිහිවන්නේ 2020 වර්ෂයේදීයි. මට නවකතාවක් කරන්න උනන්දුව තිබ්බත් එය වැඩි දියුණු කළේ මංජුල වෙඩිවර්ධන යි. කවි, ගීත ලියමින් සිටින විට ඔහු මාව නවකතාවක් ලියන්නට දිරිගැන්වූවා. මම ලියූ කෙටි චිත්‍රපටයක පිටපතක් ආශ්‍රයෙනුයි පංකි මනාලි ගොඩනැඟෙන්නේ. එයට ලැබෙන යහපත් ප්‍රතිචාර තුළ එය යම්තාක් දුරකට සාර්ථක යැයි මම විස්වාස කරනවා.