
නිවේදකයෙක් ලෙස මේ වෙනකොට මම ජාතික රූපවාහිනියෙ හැම වැඩසටහනක්ම වගේ ඉදිරිපත් කරලා තියෙනවා
ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් තිබුණු ලොකුම හීනය කවදාහරි රූපවාහිනියෙ ප්‍රවෘත්ති නිවේදකයෙක් වීම
ප්‍රතිභාසම්පන්න රූපවාහිනි නිවේදකයෙක් ලෙස ජනප්‍රියව සිටින ජාතික රූපවාහිනියේ නිවේදක අමිල ජයසේකර සමඟ පසුගිය දිනක අප පිළිසඳරේ යෙදුණේ ඔහු නිවේදක වෘත්තියේදී හැර බොහෝ දුරට නිහඬ චරිතයක් ද වන නිසාය.
අමිල ජයසේකර කියන නිවේදකයා බිහි වෙන්නෙ කොහොමද?
මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයත් සමඟ ලොකු සම්බන්ධයක් තිබුණා. මුලින්ම “මල් මල් වාරම්” කියන වැඩසටහනට සහභාගි වෙලා පසුව සහන නිවේදකයෙක් ලෙසත් කටයුතු කළා. රූපවාහිනිය සමඟ සම්බන්ධතාව ඇති වෙන්නෙ “මුතුහර” ළමා සමාජයෙන්. ඒ හුරුවත් සමඟ තමයි අයදුම්පතක් යොමු කරලා රූපවාහිනියට නිවේදකයෙක් ලෙස සම්බන්ධ වුණේ. ඒ 2005 අවුරුද්දෙ.
රූපවාහිනී නිවේදකයෙක් ලෙස ඔබ ආ ගමන ගැන කතා කළොත්
මුලදීම සවස 3 – 5 අතර විකාශය වූ “සැඳෑ නිම්නය” වැඩසටහනෙන් අනතුරුව ප්‍රවෘත්ති නිවේදක පැත්තට යොමුවෙන්න මට ඕනෑකමක් තිබුණා. 2007 දී විතර මුලින්ම ප්‍රවෘත්ති නිවේදකයෙක් වීමටත් අවස්ථාව ලැබුණා. මුලින්ම සෙනසුරාදා සවස 5.30 ට විකාශය වූ “සති අන්ත පුවත්”. ඉන්පසුව පැයෙන් පැය පුවත්. මේ අතරතුර රූපවාහිනිය අලුත්ම ප්‍රවෘත්ති විකාශයක් පටන්ගත්තා ‘මැදියමට පෙර’ කියලා. එය විචාරශීලීව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක් කියන්න පුළුවන්. එය රාත්‍රී 11ට විකාශය වුණා මුලදී. මේ වෙලාවට කවුද ප්‍රවෘත්ති බලන්නෙ කියලා සමහර අය මට විහිළු කළා. ඒ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ මමත්, ඒ අවදියේ සිටි ප්‍රවීණයෝ කිහිපදෙනෙකුත්. මගේ ඉදිරිපත් කිරීම් ශෛලියත් මේ ප්‍රවෘත්ති විකාශයට හරියට ගැළපුණා. ඊට පසුව මෙය රෑ 10.10 කියල වෙනස් වුණා. මේ ඉදිරිපත් කිරීම නිවේදකයෙක් හැටියට මගේ ඒ භූමිකාවේ සන්ධිස්ථානයන් ලකුණු කළා. මේ සමඟ රාත්‍රී 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලැබුණා. “හැටන් නැෂනල්” පැතුම් විමන වැඩසටහන ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලැබුණා. මැදියමට පෙර, රෑ 10.10 ප්‍රවෘත්ති ප්‍රකාශයත් “හැටන් නැෂනල් පැතුම් විමන” වැඩසටහනත් මගේ නිවේදක භූමිකාවේ සන්ධිස්ථාන ලෙස සැලකීමට පුළුවන්. නිවේදකයෙක් ලෙස මේ වෙනකොට මම ජාතික රූපවාහිනියෙ හැම වැඩසටහනක්ම වගේ ඉදිරිපත් කරලා තියෙනවා කිව්වොත් නිවැරදියි.
ඔබ මාධ්‍ය කලාවේ ආචාරධර්ම, ප්‍රමිතීන් වගේ දේවල් ගැන ඔබ ඉතා සැලකිලිමත්...
ඇත්තටම ඔව්. ඒවා ගැන සැලකිලිමත්. අපි රූපවාහිනියට එද්දි ඉගෙනගත්ත මාධ්‍ය ආචාර ධර්ම, වැඩසටහන ඉදිරිපත් කිරීම් විලාසය, අන්තර්ගතය, ප්‍රේක්ෂකයාට ලබාදිය හැකි දේ, ගුණාත්මකභාවය ආදී කාරණා පිළිබඳ එදා සිටම නිෂ්පාදකවරු අපව දැනුම්වත් කළා. සෑමවිටම මා සිටින්නේ අප ඒ ප්‍රමිතීන් සහ ගුණාංග රැකගත යුතුයි කියන තැනයි.
මෙතෙක් නිවේදක භූමිකාව තුළ ලැබූ අත්දැකීම් සම්භාරය අතර සුවිශේෂී මතක සටහන් මොනවාද?
ඒ බොහොමයක් අතර අමතක කළ නොහැකි එක් අවස්ථාවක් මා ඔබට කියන්නම්. 2004 දි ආව සුනාමියෙන් පසුව 2006, 2007 වගේ ආයෙමත් සුනාමියක් එනවා කියලා ආරංචියකට දකුණු පළාතත් කැලඹුණා. සුනාමිය එනවිටත් ඒ වෙද්දිත් මාතර දිසාපතිව සිටියේ මගේ තාත්තා. රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර මේ ගැන විමසීමට සජීවීව ඒ ඒ දිස්ත්‍රික්කවල දිසාපතිවරු සම්බන්ධ කර ගත්තා.
මේක අහම්බයක් වුණත් එදා ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් මට මගේ තාත්තාගෙන් මෙය විමසීමට සිදුවුණා. තිරයේ පෙනෙන්නේ මම; දුරකතනයේ තාත්තා. දිසාපතිතුමනි කියල මම මේ ගැන විමසීම කළා. තාත්තා උත්තර දෙනවා. තාත්තයි පුතයි අතර වුණත් මේ සංවාදය වෘත්තීය භූමිකා තුළ සිදුවුණේ. අපේ නිෂ්පාදකවරු මේ පිය පුතු සම්බන්ධ දන්නා නිසා නොයෙක් දේ කිව්වත් මට හිනාවෙන්න පුළුවන්කමක් නෑ. තාත්තට නම් හිනාවෙලා හරි කොහොම හරි සැහැල්ලුවෙන් උත්තර දෙන්න පුළුවන්. කොහොම හරි මම කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ප්‍රේක්ෂකයාට මේ පුවත ඉදිරිපත් කළා.
මේ තමයි, මගේ නිවේදක ජීවිතයේ අමතකම නොවන මෙහොත විදිහට ගෞරවයෙන් සිහි කරන්නෙ. මොකද මගේ තාත්තාත් මේ වෙනකොට ජීවතුන් අතර නැති නිසා. මේ ප්‍රවෘත්තිය බලා සිටි එක් රජයේ නිලධාරියෙක් මට ප්‍රතිචාර දක්වමින් කිව්වෙ හරිම ලස්සනට කළා, තාත්තා නිසා පුතා බැබළුණා, පුතා නිසා තාත්තා බැබළුණා කියලා.
පවුලේ තොරතුරු කොහොමද?
මගේ තාත්තා මාතර හිටපු මහ දිසාපති ගාමිණී ජයසේකර. මගේ අම්මා සිංහල ගුරුවරියක් වගේ ම සිංහල ගුරු උපදේශකවරියක් ලෙසත් කටයුතු කළා. මගේ අයියා පැතුම් ජයසේකර.
නංගී පවිත්‍රා ජයසේකර. මම විවාහ වුණේ අමාලි ඇහැළියගොඩ සමඟ. ඇයත් කිවිඳියක හා නිවේදිකාවක ලෙසත් ඇයගේ හැකියාවන් පෙන්වනවා. දරුවො තුන්දෙනයි. ලොකු දුව ලවන්‍යාත්, පොඩි දුව නෙතුල්‍යා.
දෙදෙනාම මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. පුතා ඉඳුසර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නවා. අමාලිගේ පියා ප්‍රවීණ ගී පද රචක බණ්ඩාර ඇහැළියගොඩ. මේ කලා පසුබිමත් එක්ක එතුමාත් සමඟින් මම කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.
නිවේදකයෙක් හැටියට මේ වෙද්දි ඔබ ඔබේ ඉලක්ක වලට ළඟා වෙලාද? ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් තිබුණු ලොකුම හීනය කවදාහරි රූපවාහිනියෙ ප්‍රවෘත්ති නිවේදකයෙක් වීම. මට ඒ ඉලක්කයට යන්න පුළුවන් වුණා. එතැනට ගියාම තවත් මහා වපසරියක් අපට පෙනෙනවා. මම දැන් වැඩි වශයෙන් කටයුතු කරන්නේ ලොතරැයි වැඩසටහන්වල නිවේදකයෙක් වශයෙන්.
ලොකු ආසාවක් හා බලාපොරොත්තුවක් තියෙනවා, ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලට අමතරව මගේම කියල පරිණත වැඩසටහනක් කරන්න. එවැනි අවස්ථාවක් ලැබුණොත් මම එය බොහොම ආදරයෙන් බාර ගන්නවා.
ධම්මික සෙනෙවිරත්න