අතීතයේ තිබුණු ගුරු ශිෂ්‍ය සම්බන්ධතා අද විශ්වවිද්‍යාලවල දකින්න අඩුයි | සිළුමිණ

අතීතයේ තිබුණු ගුරු ශිෂ්‍ය සම්බන්ධතා අද විශ්වවිද්‍යාලවල දකින්න අඩුයි

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ  ආචාර්ය ලතා ගුරුසිංහ

 

බැඳීම්, සමාජ සහජීවනය සූක්ෂම විදිහට බිඳ දැමීම නිසා අද මේ මුළු රටම හුදෙකලා සහ වහල් බවට පත්වෙලා තියෙනවා. එදා වැද්දා එළූ දැලෙන් මිදෙන්න වටු කුරුල්ලන්ටහැකි වුණේ මේ සමගිය, සහජීවනය නිසයි.

අද අපි වැනසෙන්නේ එය නැති නිසා යි මට දැන් වයස අවුරුදු 57 යි. මගේ වයසෙන් බාගයකටත් වැඩියෙන් මම කොළඹ විශ්වවිද්‍යාලයේ ගත කර තිබෙනවා. 2001 වර්ෂයේදී මම දර්ශනපති උපාධිය ලැබුවා. නූතන සිංහල නවකතාවේ නිරූපිත ස්ත්‍රිය සම්බන්ධයෙන් මම එහිදී පර්යේෂණ කළා

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කළුගල්විල ගමේ ගුරුසිංහ පරපුරට ඥාතී වෙමින් ඉපදී හැදී වැඩුණු ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලතා ගුරුසිංහයි. කුරුඳුගහහැතැක්මෙන් හැරී තවත් කිලෝමීටර් දෙකක් පමණ ගම ඇතුළට යද්දී ඇයගේ මහගෙදර හමු වේ.

 

"අපේ ආත්තම්මාට පුතාලා ම නව දෙනෙක් හිටියා. මගේ තාත්තා ඒ පවුලේ තුන්වෙනියා යි. අපේ අම්මාගේ ගම බද්දේගම යි. අපේ පවුලේ අයියලා දෙන්නයි, අක්කලා දෙන්නයි, මමයි. ලොකු අක්කා රාජ්‍ය සේවයේ ඉඳලා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ඊළඟ අයියලා දෙන්නා ම ව්‍යාපාරිකයෝ යි. අනිත් අක්කා සහ මම නිවුන්නු යි. එයා ඇල්පිටිය ප්‍රදේශයේ ඉස්කෝලෙක නියෝජ්‍ය විදුහල්පතිනියක් ලෙස තව ම සේවය කරනවා.

අපේ ලොකු අක්කා තමයි දැන් අපට අම්මාගේ අඩුව පුරවන්නේ."

ආචාර්ය ලතා ගුරුසිංහ අත්විඳ ඇත්තේ සුන්දර වූ ළමා කාලයකි. ගුරුසිංහ පරපුරේ ආච්චි, සීයා, බාප්පලා, මහප්පලා, ලොකු අම්මලා, නැන්දලා, මාමලා මෙන්ම සම වයස් ඥාති සහෝදර සහෝදරියන්ගෙන් යුතු විස්තෘත පවුල් සංස්කෘතියක එකට වෙසෙමින් සියලු දෙනාගේ ආදරය, කරුණාව, රැකවරණය අවධානය සියල්ල හිමි වූ ජීවිතයක් ඇයට තිබුණි.

"අපේ නැන්දලා, මාමලා, බාප්පලාගේ ළමයි අපි ඔක්කොම එකට සෙල්ලම් කළා, ඇළේ දොළේ පීනුවා, අපි හැමෝම එකට ඉස්කෝලෙ ගියා. කිසි වෙලාවක අපට පාළුවක් තනිකමක් දැනුණේ නෑ. රෑ වෙනකන් අපි එකට සෙල්ලම් කරලා ගෙදර ගිහින් අම්මාගෙන් ගුටිත් කනවා. හරිම සුන්දර ඒ කාලය ලස්සන හීනයක් වගේ මතකයට එනවා. අවුරුදු කාලෙට අපි ඔක්කොම එකතු වෙලා ගෙවල්වලට කැවිලි පෙවිලි අරගෙන යනවා. මමත් මගේ නිවුන් අක්කත් මුලින් ම පාසල් ගියේ ගමේ ඇල්ල මහා විද්‍යාලයට යි. පහේ පන්තියට එනකොට අපි දෙන්නා කුරුඳුගහහැතැක්ම ශාන්ත තෙරේසා කනිටු විදුහලට ආවා. ඒ කාලේ අතිරේක පන්ති තිබුණේ නැහැ. බොහෝ ගුරුවරු අතිරේක දේවල් පාසලේදී ම හවස නැවතිලා ඉගැන්නුවා. මම ඒ පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ සඳහා ශාන්ත තෙරේසා බාලිකා මහා විද්‍යාලයට ගියා. ඒ පාසලට එන්න ඇල්ල පාරේ තිබුණේ එක ම එක බස් එකක් විතරයි. ඒ බස් එකට නගින්න බලාගෙන හිටියට කවදාවත් ඒකට නගින්න ලැබෙන්නේ නෑ. මොකද ඒ තරමට ඒකේ සෙනඟ පිරිලා. ඊට පස්සේ අපි ගොඩාක් වෙලාවට ගෙදර ඉදලා පාසලට පයින් යනවා. සැතපුම් දෙකක් විතර පයින් එන්න තියෙනවා. පාර දෙපැත්තෙ මහා මූකලාන, සමහර තැන්වල රබර් වතු සහ තේ වතු තිබුණා. හරිම පාළුයි. නමුත් අපි කවදාවත් පාසලට තනියෙන් ආවේ ගියේ නෑ. ලොකු සෙනඟක් පාසලට ඒ වෙලාවට පාර දිගේ පයින් එනවා. ඒ විතරක් නෙවෙයි අපි හැමෝම අතර පුදුම සහ සම්බන්ධතාවක් තිබුණා. ඒ බැඳීම්, සමාජ සහජීවනය සූක්ෂම විදිහට බිඳ දැමීම නිසා අද මේ මුළු රටම හුදෙකලා සහ වහල් බවට පත්වෙලා තියෙනවා. එදා වැද්දා එළුෑ දැලෙන් මිදෙන්න වටු කුරුල්ලන්ට හැකි වුණේ මේ සමගිය, සහජීවනය නිසයි. අද අපි වැනසෙන්නේ එය නැති නිසා යි."

ඇය උසස් පෙළට පැමිණි පසු පාසල් ගමන සිදු වූයේ තාත්තා අරන් දුන් පාපැදියෙනි. කාලය සහ වෙහෙස පොතපතට යොදන්නට එය ඇයට පහසුවක් විය.

"උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ ගුරු පත්වීම් සඳහා ගැසට් කරලා තිබුණා. මං අයදුම්පතක් දාලා ගුරු විභාගයට ලිව්වා. කරන්දෙණිය ප්‍රාදේශීය සභාවෙන් තේරිලා තිබුණේ තුන්දෙනයි. මට වැඩිම ලකුණු තිබුණා. එතකොට මගේ වයස අවුරුදු දහ නමයයි. මට සාරියක්වත් හරියට ඇඳ ගන්න බැහැ. අපහසුවෙන් වුණත් මේක මට ප්‍රබෝධවත් අත්දැකීමක් වුණා. පළමු පත්වීම කරන්දෙනිය ප්‍රාථමික විද්‍යාලයට ලැබුණා. ඒ පාසලේ මාස අටක් නවයක් උගන්වද්දී උසස්පෙළ ප්‍රතිඵල ලැබුණා. ඉහළ ම සාමාර්ථ සහිත ව මම සමත් වෙලා තිබුණා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට අයදුම් පත්‍රයක් යොමු කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මට ලියුමක් ආවා. විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි කරන්නට නම් ගුරු වෘත්තියෙන් ඉවත් වී ඒ අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ යුතු බවට එහි සඳහන් ව තිබුණා. මම ලොකු අමාරුවක වැටුණා. ඒ 83, 84 රටේ භීෂණයක් පැවති කාලයයි. "දුවේ ගුරුපත්වීමක් ගෑනු ළමයකුට ඉතාමත් ම සුදුසු යි. අනික රටේ මේ වගේ වාතාවරණයක් තියෙන කාලෙක මේ වෘත්තියේ දිගට ම රැඳුණොත් ඔයාට ස්ථාවර වටපිටාවක් හැදෙනවා." තාත්තා කිව්වා. ඒත් විශ්වවිද්‍යාලයට යන්න මට ලොකු හීනයක් තිබුණා. ඒ වෙලාවේ අභියෝගාත්මකව තනි තීරණයක් මම ගත්තා. මොකද ළමා කාලය බැලූ බැල්මට සුන්දර වුණාට අපේ ආර්ථිකය තිබුණේ බොහොම පහළ මට්ටමක යි. මගේ තාත්තා සෝමපාල ගුරුසිංහ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂකවරයෙක් හැටියට වැඩ කළා. ඒක ලොකු වැටුප් ලබන රැකියාවක් නොවුණත් සමාජයේ පිළිගත්ත තත්ත්වයක් තාත්තාට තිබුණා. අපේ අම්මා කරුණාවති එදිරිසිංහයි. ඇයත් හැමවිටම පවුලේ ගරුත්වය රකිමින් අපේ ඉගෙනීම් ගැන උනන්දු වුණා. ඒ දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ. මම ගුරු වෘත්තියෙන් අස්වීමේ ලියුම ගත්තාට පස්සේ තාත්තා දවස් දෙකක් විතර බොහොම හිතේ අමාරුවෙන් හිටියා. මම තාත්තාට ලොකු වැරැද්දක් කළා ද කියලාත් ඒ වෙලාවේ මට හිතුණා. නමුත් මං මේ තීරණය ගත්තේ පවුලෙ හැමෝම ගැනත්, මං ගැනත් හිතලයි. ඒ කාලේ විශ්වවිද්‍යාලයට කෙනෙක් එනවා කියන එක හරි ලොකු දෙයක් බවට පත් වුණා. අපි දන්න කියන කෙනෙක් වත් ඒ කාලේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා තිබුණේ නැහැ. අපේ පාසලෙත් මමයි තව එක සොහොයුරියක් විතරයි විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණේ. කොළඹ කියන දේ ඒ කාලේ අපට හරි ම නුහුරු තැනක් වුණු නිසා ඥාති සහෝදරයෙක් එක්ක මම කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. ඒ කාලේ අපි පැති දෙකකින් ම පීඩාවට පත්වුණා. එක පැත්තකින් රටේ බොහොම දරුණු විදියට භීෂණය තිබුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වීම ම තමන්ගේ ජීවිතයට මරණයක් ළඟා කර ගන්නා තැනට රට පත්වෙලා තිබුණා. අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාලවල නවක වදය ඉතාමත් ම දරුණු විදිහට තිබුණා. කොහොම හරි ඒ දේවල්වලටත් මුහුණ දීලා හිත ශක්තිමත් කරගෙන ගෙදර අයගේ බැඳීමත් එක්ක මහන්සි වෙලා පාඩම් වැඩ කළා. මට නේවාසිකාගාරයක් ලැබුණෙත් නෑ. කටුබැද්ද රත්මලාන වගේ පැතිවල යාළුවෝ හොයලා දුන්න බෝඩින්වල මම නතර වෙලා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු කරගෙන ගියා. ඒවායේ කිසිම පහසුකමක් තිබුණෙත් නෑ. සමහර තැන්වල රෑ කෑම එක විතරයි දුන්නේ. මහපොළ අරමුදලෙන් ලැබුණු රුපියල් 350 බෝඩිමට දුන්නට පස්සේ අතේ සල්ලි රැඳුණේ නැහැ. විශ්වවිද්‍යාලයට අමාරුවෙන් ආවත් නවක වදයට අහුවුණාට පස්සේ සමහර වෙලාවට මුළු දවසම ඉගෙන ගන්න දෙයක් කරගන්න ලැබෙන්නත් නෑ. මානසික පීඩනයට පත් වෙලා ආපහු බෝඩිමට යනවා.

මේ කාලෙදි නොසෑහෙන අත්දැකම්වලට අපි මුහුණ දුන්නා. කඳුළු ගෑස් විඳලා තියෙනවා. කාලේ නාස්ති වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලය ඇතුළට පොලිසිවලින් ඇවිල්ලා බැටන් පොලුවලින් පහර දෙද්දී හතර වටේ දුවපු හැටි අදටත් මතක් වෙද්දි පුදුම හිතෙනවා. අපට උපාධිය ලැබුණේ අවුරුදු හතකට පසුවයි. උපාධිය අවසන් වෙලා බලනකොට අපිත් එක්ක හිටපු සහෝදර සහෝදරියො විස්සකට වැඩි පිරිසක් අතුරුදහන් වෙලා තිබුණා.

මොන භීෂණ තිබුණත් අපි විශ්වවිද්‍යාලය ඇතුළෙ සාහිත්‍ය සංවාද සාහිත්‍ය සංකථන වාද විවාද සාහිත්‍යමය කටයුතු පොත් ප්‍රදර්ශන වීදි නාට්‍ය මේ හැමදෙයක් ම කළා. අපට පරිපූර්ණ අධ්‍යාපනයකුත් ලැබුණා. අද විශ්වවිද්‍යාලවල හරියට අතිරේක පන්ති වගේයි. ළමයි ටික එනවා, දේශනයට ඉන්නවා, කියන දෙයක් ලියා ගන්නවා, යනවා, කටපාඩම් කරලා විභාග ලියනවා. අතීතයේ තිබුණු ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවන් අද විශ්වවිද්‍යාලවල දකින්න අඩුයි. විවිධාංග අඩුයි. ඉගෙන ගෙන යන්න බලාගෙන මිසක් බාහිර දේවල්වලට උනන්දුව අඩුයි."

වර්ෂ 1992 දී ඇයටත්, වත්මන් මහාචාර්ය වන පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේටත් ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව උපාධි හිමිවූයෙන් ඊට වසරක ඇවෑමෙන් එනම් 1993 දී දෙන්නා ම සිංහල අධ්‍යයන අංශයට ආධුනික කථිකාචාර්යවරු ලෙස බඳවා ගැනුණි.

"මම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරලා වසර 25 ක් සම්පූර්ණ වුණා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල දරුවෝ උපහාරයකුත් පැවැත්වූවා. මට දැන් වයස අවුරුදු 57 යි. මගේ වයසෙන් බාගයකටත් වැඩියෙන් මම කොළඹ විශ්වවිද්‍යාලයේ ගත කර තිබෙනවා. 2001 වර්ෂයේදී මම දර්ශනපති උපාධිය ලැබුවා. නූතන සිංහල නවකතාවේ නිරූපිත ස්ත්‍රිය සම්බන්ධයෙන් මම එහිදී පර්යේෂණ කළා. ඊට පස්සේ ආචාර්ය උපාධියට සිංහල නවකතාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය: ස්ත්‍රීවාදී ප්‍රවේශයක් යන මතෘකාවෙන් පර්යේෂණය කළා. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයයෙන් බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධියකුත් කළා. 2016 ඉඳලා 2018 වෙනකම් මම සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන තනතුර දැරුවා. ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කළා. සාහිත්‍ය සම්මාන තරගාවලි පැවැත්වූවා. ශිෂ්‍යයන්ගෙන් නිර්මාණ එකතු කරලා ඇගයීම් කළා. උත්සවාකාරයෙන් ඒවාට තෑගි ප්‍රදානය කරන්නත් කටයුතු කළා. සාහිත්‍ය සම්බන්ධයෙන් ළමයින්ගේ උද්යෝගයක් ඇති කරන්න මම කටයුතු කළා. බොහොම පීඩාකාරී මානසිකත්වයෙන් සිටින විශ්වවිද්‍යාල දරුවන්ට යම් සහනයක් දෙන්න මං උත්සාහ කළා. මේ නිසා ම අපේ පීඨාධිපතිතුමා මට ප්‍රධාන ශිෂ්‍ය උපදේශක තනතුර දුන්නා."

ආචාර්ය ලතා ගුරුසිංහගේ සැමියා චන්දන ලෙව්පොද්දෙනිය ජාතික රූපවාහිනීයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක යි. ඔවුන්ට දියණියන් දෙදෙනෙකි. වැඩිමල් දියණිය රවිරංසි යශෝධනා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිත ව ලැබ, මේ වනවිට සිමා (CIMA) විභාගයත් සමත් ව සිටින්නී ය. අනෙක් දියණිය සකුනි පබසරා විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ය. දෙදෙනා ම විශ්වවිද්‍යාලයේ බාහිර කටයුතුවලටද දස්කම් පෑවෝ ය.

"මමයි, නිවුන් අක්කයි පාසලේදී නැටුම් කළා. අපි දෙන්නා දවල්ට ඉගෙන ගන්න නැටුම් හවසට ගෙදර ඇවිල්ලා තාත්තා ඉස්සරහා නටලා පෙන්නනවා. තාත්තා අප්පුඩි ගහනවා. අඩුපාඩු කියනවා. ලොකු අයියලා විහිළු කරලා අපි තරහා වුණා ම තාත්තා අපි දෙන්නාව කෝච්චියේ අම්බලන්ගොඩට එක්කගෙන ගිහිල්ලා ආපහු ගෙදර එක්කගෙන එනවා. තාත්තා අපිව චිත්‍රපටි පෙන්නන්න එක්කගෙනත් ගිහින් තියෙනවා. මොනවා කරන්න ගියත් මගේ පිටුපසින් තවමත් මගේ දෙමව්පියන් සහ පාසල් ගුරුවරු සිටිනවා කියා මට දැනෙනවා. සිංහල උගන්වපු ජයසේකර මිස් මට මහා ලොකු ප්‍රතිරූපයක් වුණා."

ඇය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සාහිත්‍ය අනුමණ්ඩලය නියෝජනය කිරීම ද ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උළෙලවල පාදක මණ්ඩලය වසර තුනක් ද උත්තරීතර මණ්ඩලයේ වසර තුනක් ද ඩී. ආර්. විජේවර්ධන සාහිත්‍ය සම්මාන උළෙල, ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල, රාජ්‍ය සාහිත්‍යය සම්මාන උළෙල ආදිය ද නියෝජනය කළා ය. පර්යේෂණ පත්‍රිකා පනහකට වැඩි සංඛ්‍යාවක් පළ කර ඇති ඇය කාන්තාව සහ සාහිත්‍යය පිළිබඳ

බොහෝ කතිකාවලට එක් වූවා ය. කෘති දෙකක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර එමඟින් ද ස්ත්‍රිය පිළිබඳ ලිව්වා ය.

"බුදු දහමේ කාන්තාවට මොනවගේ තැනැක් හිමි වෙලා තිබුණා ද කියලා ඉදිරි පර්යේෂණ කටයුතු මම කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ සැමියාගේ අම්මා මගේ දරුවෝ ලොකු මහත් කරගන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. දැන් මගේ කටයුතුවලට දිරිය දෙන්නේ මගේ සැමියා සහ දරුවන් දෙදෙනා යි." ඇය කීවා ය.

 තුෂාරී කළුබෝවිල

Comments