අද රසිකත්වය ගැන තීන්දු තීරණ ගන්නේ සංඛ්‍යා ලේඛන ඔස්සේ | සිළුමිණ

අද රසිකත්වය ගැන තීන්දු තීරණ ගන්නේ සංඛ්‍යා ලේඛන ඔස්සේ

සිත්තර ගුරුන්නාන්සේ, රම්‍ය නගරය, තුන්බිය, සූසැට මායම් සහ සමනල කඳවුර වැනි ටෙලි වෘතාන්ත පුංචි තිරයට සහ මහ සමයම සහ මහ සුපින වැනි නිර්මාණ වේදිකාවට තිළිණ කළ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ නවතම නිර්මාණය "සිසිවන වුවන"ටෙලි නාට්‍යයයි. ඒ ගැන නිර්මාණයේ අධ්‍යක්ෂ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් සමඟ කළ කතා බහයි මේ...

 

කාලයකට පස්සේ නැවත ඔබ පුංචි තිරයට ඇවිත්

ඔව්. 90/80 දශක වල ලංකාවේ ටෙලි නාට්‍යය කලාව කලාත්මක මට්ටමින් වැඩෙමින් තිබුණා. නමුත් 90 දශකයෙන් මෙහාට මේ වෙ‍ෙළඳ සමාජය ඉස්මතු වීමත් සමඟ ටෙලි නාට්‍යය කලාව ව්‍යපාරික මට්ටම තල්ලු වුණා. එවකට හිටිය නිර්මාණකරුවන් පවා ඒ තල්ලු වීම මඟින් ඉවතට ගියා. ඒ අතරේ වෙනත් ශිල්පින් සමුදායක් ක්ෂේත්‍රයට එනවා. නමුත් අපිට වගකීමක් තියෙනවා නිර්මාණකරුවන් විදියට මේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට යම් යම් නිර්මාණ කරමින් අත්දැකීම් බෙදා ගනිමින් රසවින්දනයට යම්කිසි සහයක් දක්වන්න. ඒ පදනමින් තමයි මම මේ ටෙලි වෘතාන්තය කරන්න හිතුවේ.

 

"සිසිවන වුවන" නිර්මාණය පසුබිම

කාන්තාව තමයි මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කරන්නේ. ඒ වගේම බොහෝ දේවල් අනවබෝධයෙන් භාවිත කරනවා. දෙවැන්න තමයි ලෝකයේම ගත්තම කාන්තාව තමයි මාධ්‍යය පවත්වාගෙන යන්නේ. ප්‍රවෘත්ති හැරුණම අනෙකුත් සියලුම වැඩසටහන්වල ප්‍රධාන සාමාජිකයා කාන්තාව. නමුත් එන්න එන්නම කාන්තාවගේ නිදහස, අයිතිය පිළිබඳ ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගිලිහෙමින් යනවා. ඒ නිසාම අද දවසේ කාන්තාවන් මුහුණ දෙන සමාජ අරගලයේ යම් කිසි පැතිකඩක් දෙස බලන්න අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් සියල්ල කේන්ද්‍රීය කරගෙන තමයි මම කතාව ගොඩ නඟන්නේ. එක්තරා මානසික තත්වයන්ගෙන් වෙනස් වුණු කාන්තාවන් ඉන්න මඩමක විවිධ ආකාරයේ තරුණයන්ගේ මානසික තත්ත්වයන්ට බලපෑ කාරණා සහ ඒ ස්වභාවයන් මේ තුළ අන්තර්ගතව තියෙනවා.

 

අද තියෙන නාට්‍යය කලාව එක්ක මෙවැනි නිර්මාණයකට ප්‍රේක්ෂක කැමැත්ත ලැබෙයි ද?

ඔව්. මේක තරමක් තීරණාත්මකයි. හැබැයි මම දන්නවා පැහැදිලිවම හොඳ නිර්මාණයක් ආවම බලන ප්‍රේක්ෂක සමුදායක් ඉන්නවා කියලා. පහුගිය කාලේ ආව තරුණ හොඳ නාට්‍යය කරුවන්ගේ නිර්මාණවලට වැඩි ආකර්ෂණයක් තිබුණනේ. ඇතැම් නාළිකාවල තවමත් තියෙනවා ඒ ආකර්ෂණය. අද රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ රැල්ලට මගේ එක වැටෙන්නේ නැහැ. එවැනි විශාල ජනවරමක්; නැරඹීමක් තියෙනවද නැද්ද කියන ඇත්තටම මට තීන්දු කරන්න බෑ. එහෙම ඕනෙත් නැහැ මගේ අදහසේ හැටියට. ඒ මාධ්‍යයට පවත්වාගෙන යන්න පුළුවන් වාතාවරණයට ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් ලැබෙමින් මෙය විකාශය වුණොත් එය ප්‍රමාණවත්. ඒ සඳහා මගේ සුදානමේ සුදුසුකම් තියෙනවා කියලයි මම හිතන්නේ.

 

සියල්ල බාර වෙන්නේ ප්‍රේක්ෂකයාට, වත්මන් ප්‍රේක්ෂකයා ගැන මොකද හිතෙන්නේ

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ගත්තම රසිකත්වය පිරිහෙමින් ගිහින් තියෙනවා. දැන් 80 දශකයේ අපේ බාල කාලය ගත්තම නිරන්තරයෙන්ම චිත්‍රපට අපි බලනවා. චිත්‍රපට කියන්නේ අපේ සංස්කෘතියේ එක කොටසක්. අවසාන බස් එක යන්නෙත් චිත්‍රපටය ඉවර වුණාම. මම අත්දැකපු ජිවිතේ ඒකයි. කුරුණෑගල අන්තිම බස් එක තියෙන්නේ 10.30 දර්ශනය ඉවර වුණාම. චිත්‍රපටයක් බලලා ගෙදර යන්න අවස්ථාව පවා තිබුණා. අනෙකුත් කලා මාධ්‍යයන් ගත්තත් ඒවායේ රසවින්දනය මොට වෙමින් යනවා. සාහිත්‍යය කලාව ඕනේ නැති සමාජයකට අධ්‍යාපනයත් තල්ලු කරලා තියෙන්නේ. අද සමාජයේ බහුතර රසිකයාට සාරගර්භ අර්ථ තියෙන්න ඕනේ නැහැ. ඒ වගේම රසිකත්වය පිළිබඳ අද තීන්දු තීරණ ගන්නේ අද සංඛ්‍යා ලේඛන මඟින්. ටෙලි නිර්මාණ තියා ගම්මඩුවක්වත් නොබලපු අයට ජනප්‍රිය දේ තෝරන්න කියලා ඒ තීරණේ හරි කියලා ගන්නවා. යුරෝපිය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක බලනකොට ලංකාවේ රසිකත්වය පිළිබඳ මට තෘප්තිමත් වෙන්න පරිසරයක් නැහැ. නමුත් තැනින් තැන අතළොස්සක් තරුණ සහ වැඩිහිටි පරම්පරාව ඉන්නවා ඉතා ගැඹුරු සවිඥානකත්වයකින් මේ සාහිත්‍ය කලාවන්, ටෙලි නාට්‍යය කලාවන් සහ මාධ්‍යය කලාවන් දෙස බලන. මම හිතන්නේ අපි අහුවෙන්නේ ඒ ගොඩට. අපි නිර්මාණ කරන්නේ ඒ පිරිස පෝෂණය කරන්න. මගේ උත්සාහය එවැන්නක්.

 අනුෂා රණසිංහ

Comments