![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/03/3-1.jpg?itok=pak-KKtx)
විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩා ආකෘතිය භාවිතයට ගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් වේගවත් ක්‍රීඩාවක් බවට පරිවර්තනය විය. එතෙක් පැවැති ටෙස්ට් සහ පන්දුවාර 50 කින් යුත් එක්දින තරග ආකෘතින්ට වඩා විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩා ආකෘතියෙහි වේගවත් බව සහ තරගකාරී ක්‍රීඩා රටාව ප්‍රේක්ෂක සිත් තුළ වැඩි ආකර්ෂණයක් ගොඩනැංවී ය. එය වඩාත් තීව්ර වූයේ ඇතැම් විස්සයි20 තරග ගිනිකෙළි සංදර්ශන වන තරමට ම වේගවත් පහරවලින් පිරී යෑම සිදුවූ හෙයිනි. මේ කතාබහ විස්සයි20 ක්‍රිකට් පිටියෙහි වේගවත් පහරවලින් පිතිකරණයේ සංදර්ශන පෑ ක්‍රීඩකයන් පස් දෙනෙකු පිළිබඳ ය.
මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයක් අතුරතුර බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු සුනිල් නරේන් පන්දු 13 ක ට ලකුණු 50ක් රැස් කරන්නට සමත් විය. ඒ අනුව ජාත්‍යන්තර විස්සයි20 පිටියේ වේගවත් පිතිහරඹ වාර්තා පොත් අලුත් විණි. ඒ ඔහු විස්සයි20 පිටියේ වේගවත් ම අර්ධ ශතක ලැයිස්තුවේ පස්වැනි තැනට පත් වීමට එම ඉනිම ඉවහල් වූ බැවිණි.
ලොව වේගවත් ම විස්සයි විස්ස අර්ධ ශතකයේ හිමිකරුවා වනුයේ ඉන්දියාවේ යුවරාජ් සිං ය. ඔහු එම වාර්තාව පිහිටුවා ඇත්තේ පන්දු 12ක දී එම ලකුණු 50 සීමාව පසු කරමිනි. 2007 වසරේ පැවැති පළමුවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව යුවරාජ් මෙම සුපිරි දස්කම පෑවේ ය. දකුණු අප්‍රිකාවේ ඩර්බන් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ ඉන්දීය පිතිකරණ ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී යුවරාජ්
සිං විසින් ස්ටුවර්ට් බ්‍රෝඩ් ට එරෙහි ව පන්දු 6 ට ම හයේ පහර 6ක් එල්ල කළේ ය. එය ප්‍රේක්ෂක ඇස් මවිත කර වූ හා ආස්වාදයෙන් පිර වූ සිදුවීමක් විණි.
තරගයේ 18 වන පන්දුවාරය නිමා වෙද්දී පන්දු 6 කට ලකුණු 14ක් ලබාගෙන සිටි යුවරාජ් 19 වැනි පන්දුවාරය අවසන් වන විට පන්දු 12ක දී සිය අර්ධ ශතකය සැපිරුවේ ය. ඔහු මෙම තරගයේ දී පන්දු 16ක දී ලකුණු 58ක් රැස්කළේ ය. ඊට හයේ පහර 7ක් සහ හතරේ පහර 3 ක් ඇතු-ළත් විණි. එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ අයි.සී.සී. ජාත්‍යන්තර තරග බිමේ එම වාර්තාව බිඳින්නට කිසිදු පිතිකරුවකු සමත් වී නොමැත.
2016 වසරේ දී ක්‍රිස් ගේල් යුවරාජ් සිංගේ වාර්තාව සම කළේ පන්දු 12ක දී ලකුණු 50 සීමාව පසු කර යමිනි. නමුත් ගේල් එම දස්කම දැක්වූයේ අයි.සී.සී. ය සංවිධානය කළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී නොවේ. එය බිග් බෑෂ් තරගයක දී වාර්තා වූවක් විණි. තරගය පැවැ-
තුණේ 2016 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී ය.
ඔහු මෙල්බර්න් රේනගේඩ්ස් කණ්-ඩායම වෙනුවෙන් මෙම දස්කම පෑවේ ය. එම තරගයේ දී ගේල්ගේ ඉනිම ලකුණු 57කට සීමා වුණු අතර ඔහුගේ එම ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් විණි.
ඇෆ්ගනිස්ථාන සුපිරි පිතිකරු හස්-රතුල්ලා සසායි විස්සයි20 වේගවත් ම අර්ධ ශතක ලැයිස්තුවේ යුවරාජ් හා ගේල් සමඟ සම ස්ථානයෙහි රැඳී සිටින පිතිකරුවා ය. 2018 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පන්දු 12 කින් ලකුණු
50 සීමාව පසු කරන්නට සසායිට ද හැකි විය. එම තරගාවලියේ කාබුල් ස්වනාන් කණ්ඩායම නියෝජනය
කළ සසායි තරගයේ සිව්වැනි පන්දු-වාරයේදී හයේ පහර 6ක් එල්ල කළේ ය. එම අවස්ථාවේ පන්දු යවන්නා වූයේ අබ්දුල්ලා මසාරි ය.
එංගලන්ත හිටපු සුපිරි පිතිකරු මාකස් ට්‍රෙස්කොතික් මෙම ලැයිස්-තුවේ සිව්වැනි තැන පසුවන්නේ
පන්දු 13ක දී ලකුණු 50 සීමාව පසුකර යමිනි. 2010 වසරේ එංගලන්තයේ පැවැති ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුර දී ඔහු මෙම දස්කම ප්‍රකට කළේ ය. එහිදී සමර්සෙට් කණ්ඩායම නියෝජනය කළ ඔහු හයේ පහර 7ක් සහ හතරේ පහර 7ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත් අතර එම තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.
මේ ආකාරයේ වාර්තා පොතකට අලුතින් ම තම නම එක්කර ගත්තේ සුනිල් නරේන් ය. ඔහු එම තැනට ආවේ තනි ව නොවේ. ඔහුගේ තනි නොතනියට එම වාර්තා පොතේ එම පේළියේ ම තම නම ලියවාගෙන ඇති තවත් පිතිකරුවෙකි මාකස් ට්‍රෙස්කොතික්. බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොමිල්ලා විටෝ-රියන්ස් කණ්ඩායම නියෝජනය කර-මින් නරේන් මෙලෙස වාර්තා පොතට එක් විය. බංග්ලාදේශයේ මීර්පුර් ක්‍රී-ඩාංගණයේ පැවැති මෙම තරගයේ දී නරේන් ලකුණු 57කට දැවී යන විට හයේ පහර 6ක් සහ හතරේ පහර 5
කින් සිය ඉනිම වර්ණවත් කර තිබිණි.
මීට පෙර සුනිල් නරේන් අයි.පී.එල්. තරගාවලියෙහි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ( 2015) පන්දු 15කදී ත් 2018 වසරේ දී පන්දු 17 කදී ත් අර්ධ ශතකයේ සීමාව පසුකර ගොස් ඇත්තේ තමන් ප්‍රවේගවත් පිතිකරුවකු බව තහවුරු කරමිනි.
පසිඳු මිහිරාන් රැටියල