![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/03/2-8.jpg?itok=UIIZFRbY)
‘ඈ උපන්නේ අවකන් දේශය නැතහොත් ඇෆ්ගනිස්ථානයේ ය. ඈ තලේබාන් පාලනය නිසා ඉරිතළා ගිය ජීවිතය ගලවා ගැනීමට පලා ගියා ය. එසේ පලාගොස් දැන් ඈ ජීවත්වන්නේ ඩෙන්මාර්කයේ ය. එහි ඈ ජනප්‍රිය වූයේ පාපන්දු ක්‍රීඩිකාවක ලෙස ය. දැන් ඈ පාපන්දු සපත්තුව මඳකට ගලවා වෙද නළාව ගෙල වටා රුවා වෛද්‍ය ඇඳුමින් සැරසී වාට්ටුවෙන් වාට්ටුවට ගොස් රෝගීන් පරීක්ෂා කරන්නී ය. ඇතැම්හු ඇයව නොහඳුනති. තවත් පිරිසක් හඳුනා ගනිති. මේ තවත් වෛද්‍යවරියක ගේ දිනපතා ක්‍රියාවලිය යි. නමුත් මේ වෛද්‍යවරිය අනික් වෛද්‍යවරියන්ට වඩා වෙනස් ය. ඒ ඇය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් ද වන බැවිනි. මේ රෝස මල් යහනාවක් මතින් නොපැමිණි ඇගේ ගමනේ කතාවයි.‘
නාඩියා නදීම් යනු ඇය ය. ඈ පාපන්දු ක්‍රීඩිකාවකි. 2009 වසරේ සිට ඈ ජාත්‍යන්තරව තරග කරන්නේ ඩෙන්මාර්කය නියෝජනය කරමිනි. ඒ ඉදිරි පෙළ ක්‍රීඩිකාවක් ලෙසිනි. එහිදී ඇය තරග 99 ක දී රැස්කර ගෙන තිබෙන ගෝල් ගණන 38 කි. එමෙන්ම 2017 වසරේ යුරෝපීය ශුරතාවලියේ අනුශුරතාව හිමි කර ගත් කණ්ඩායමේත් නාඩියා ප්‍රබල සාමාජිකාවකි.
නාඩියා යනු විවිධාකාර වූ බාධක-වලට ලක් වූ තැනැත්තියකි. කෙසේ හෝ එම සියලු බාධක ජය ගනිමින් සිය දිවියේ තවත් සුවිශේෂී වූ ජයක් අත්කර ගැනීමට මෙම වසරේ ජනවාරි මාසයේ දී ඇය සමත් වූවා ය. එනම්, වෛද්‍ය උපාධිය හිමි කර ගැනීමයි. ඒ අනුව ඇය දැන් සුදුසුකම් ලත් වෛද්‍යවරියකි.
ඇය සිය උපාධිය හිමිකර ගත්තේ ඩෙන්මාර්කයේ ආර්හුස් විශ්ව විද්‍යාල-යෙනි. නූතන ක්‍රීඩා ලොව ජාත්‍යන්තරව ක්‍රීඩා කරමින් වෛද්‍ය උපාධිය හිමි කර ගැනීම අතිශයින්ම දුලබ ය. එසේ වුවත් නාඩියා සම්බන්ධයෙන් නම් ඒ ගැන පුදුමවීමට දෙයක් නැත. එනම් ක්‍රීඩාවට පමණක් නොව ඈ ඉගෙනීමටත් උපන් හපන්නියක් වන බැවිනි. ඇයට භාෂා නවයක් ම කථා කළ හැකි ය.
මේ සුවිශේෂී ක්‍රීඩා තරුව දියණි-යන් ම සතර දෙනෙක් සිටින පවුලක සාමාජිකාවකි. ඇගේ එක් සොහො-යුරියක් ද වෛද්‍යවරියකි. සෙසු දෙදෙනා හෙදියෝ ය.
නාඩියා අද ලොව ම පිළිගත් සුපිරිත
ම ක්‍රීඩා තරුවකි. එමෙන්ම වෛද්‍යවරි-යකි. එම නිසාම ඇය සුවිශේෂී ය. එසේ වුවත් ඇගේ එම සුවශේෂිතාවය තව තවත් වැඩි වන්නේ ඒ නිසා ම නොවේ. ඇය ළමා කාලයේ සරණාගතව කලක් ජීවත් වූ බැවිනි.
ඇයගේ කතාව අමිහිරි ය. එනමුත් දිරියවන්ත ය. එය ලොව සෑම දෙනාට ම ආදර්ශවත් ය.
අද නාඩියාගේ වයස අවුරුදු 34කි. ඈ උපන්නේ ඇෆ්ගනිස්ථානයේ ය. තලේබාන් පළමු පාලනය ඇරඹෙන විට නාඩියාගේ පියා ඇෆ්ගන් ජාතික යුද හමුදාවේ ජෙනරාල් වරයෙකි. එම කාලයේ දී බොහෝ දෙනාට වූ පරිදි ම නාඩියාගේ පියාව තලේබාන්වරු ඝාතනය කළ හ. ඒ 2000 වසරේ දී පමණ ය.
“එදා අපට තීරණයක් ගන්නට සිදුවුණා. ඒ තමයි උපන් බිම උපන් බිම හැරදමා වෙන රටකට යෑමයි. අපි දවසක් මධ්‍යම රාත්‍රියේ පාකිස්ථානයට ගියේ ට්‍රක් රථයක පසු පස සැඟවිලා. හොර ජාවාරම්කරුවන් තමයි එහෙම කළේ. අපි එහේ මාස දෙකක් සිටියා. පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපත් යොදා ගෙන ඉතාලියට ගියා. එතැනින් තමයි ඩෙන්මාර්කයට ගියේ.” නාඩියා තම අතීතය සිහිපත් කරන්නීය.
පසුව නාඩියාට සිය පවුලත් සමඟ මාස නවයක පමණ කාලයක් ඩෙන්මාර්ක් සරණාගත කඳවුරක වාසය කරන්නට සිදුවිය. එහිදී ඇයට පාපන්දු ක්‍රීඩාවේ නිරත වන ඩෙන්මාර්ක් කතුන් සහ දැරියන් දැක ගැනීමට අවස්ථාව ලැබුණි. “මට පාපන්දුවට ආදරයක් ඇති වුණා. තවමත් එය වෙනස් වී නැහැ.” නාඩියා පවසන්නී ය.
එසේ ඇරඹි ඇගේ පාපන්දු ක්‍රීඩා ගමන ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගියේ ය. එරටේ සමාජ තරග වල දී දැක් වූ දස්කම් නිසා ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාවත් උදාවිණි. මීට අමතරව ඈ වෘත්තීමය මට්ටමින් ලොව සුපිරිතම කණ්ඩායම් ද්විත්වයකුත් නියෝජනය කළා ය. ඒ එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි සහ වත්මන දී ප්‍රංශයේ පැරිස් සෙයින්ට් ජර්මෙයින් යන කණ්ඩායම් ය.
ඩෙන්මාර්කයේ දී ඇය ගත කළ ළමා කාලය හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්ස-න්ගේ සුරංගනා කතාවක් මෙන් සුන්දර වූයේ නැත. ඇගේ සමේ වර්ණය නිසා ළමුන්ගේ උසුළු විසුළුවලටත් ඇය ට ලක්වීමට සිදුවිණි.
“අදට වඩා එදා මගේ සම අඳුරුයි. ඒ මම හැම විටම හිරු එළියේ තමයි සිටියේ. මගේ සමේ පැහැය නිසා පාසලේ දී විතරක් නොවේ පාපන්දු පිටියේ දී ත් විවිධ අමිහිරි අත්දැකීම් ලැබුවා. ඒ නිසාම ඔවුන් සමඟ මම රණ්ඩු වුණා. මට ඇතැමුන් කෙළ ගැසුවා.”
එම අත්දැකීම් ළමා කාලයට සීමා වූයේ නැත.
ඇතැම් දේශපාලකයෝ සමාජ මාධ්‍ය තුළින් ඇයව උපහාසටය ලක් කළ හ. 2018 වසරේ දී නාඩියා ඩෙන්මාර්ක් රූපවාහිනිය තුළින් ජාතිවාදය ගැන කතා කළා ය. එය දුටු ඇතැමෙක් ඇය අකෘතඥ යැයි චෝදනා කළ හ.
නාඩියා ඩෙන්මාර්ක් සරණාගත සභාව තුළින් කෙන්යාවේ පිහිටා තිබෙන කකුමා සරණාගත කඳවුරට නිතර ම ගොස් සිය දායකත්වය ඊට ලබා දෙන්නී ය. එම කඳවුරේ සුඩාන්, කොංගෝ සහ සෝමාලියාව වැනි රටවල වැසියන් සිටිති. ඔවුන් අතරින් පිරිසක් එක් වී කකුමා ස්ටාර්ස් නමැති බාලිකා පාපන්දු කණ්ඩායමකුත් පිහිටුවා තිබේ.
“ඔබලා දැන් මේ සිටින්නේ තාවකාලිකවයි. ඉදිරියේ දී සාර්ථක වෙන්න පුළුවන්. හරියට මම වගේ. මම සෑම විට ම එහෙම කියනවා.”
නාඩියාගේ මෙම සමාජ සේවා කටයුතු නිසාම ඇය විවිධ සම්මාන වලින් පිදුම් ලබා ඇත. ඒ අතරින් ඉතාම වැදගත් වන්නේ යුනෙස්කෝව විසින් ඇයව බාලිකා සහ කාන්තා අධ්‍යාපනයේ ශුරියක් ලෙස නම් කිරීමයි.
2018 වසරේ දී සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් ජගත් ක්‍රීඩාවේ ඉතා බලවත් කතුන් නම් කළේ ය. එහිදී නාඩියාට 20 වැනි ස්ථානය හිමිවිය.
ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත යුතු කාලය සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට ම පොදු ය. නාඩියාටත් එසේම ය. එය වූ විට ඩොක්ටර්ස් විත් අවුට් බෝඩර්ස් වෙත් දේශ සීමා නැති වෛද්‍යවරුන්ගේ සංවිධානයට සම්බන්ධව ක්‍රියා කිරීම ඇගේ බලාපොරොත්තුවයි.
ප්‍රශාන්ත ඇල්පිටිය