හරිත පහසෙන් ගත සිත පිනවන රූණ කන්ද | සිළුමිණ

හරිත පහසෙන් ගත සිත පිනවන රූණ කන්ද

ගමන් මාර්ගය

මතුගම සිට රත්නපුර දෙසට

විහිදෙන B 421 අගලවත්ත - තිරිවානකැටිය මාර්ගයේ පැමිණ අත්වැල්තොට - දිගන්න මාර්ගයේ කිලෝමිටර් 16 පමණ දුරින් පිහිටි මන්නවත්ත හරහා හෝ B 421 මාර්ගයේ හමුවන බදුරලිය සිට හැඩිගල්ල මාර්ගයේ දික්හේන

හරහාද පැමිණිය හැකිය.

නෙතට රසඳුනක් වෙමින් සොබාදහම මවන්නා වූ චමත්කාර දසුන්, රූරටා, හැඩතල විඳීමට නම් දීප්තිමත් හරිත මාවත් දිගේ ඇවිද යමින් තෙත් සඳාහරිත වනයක් රස විඳිය යුතු ම ය. සිංහ රාජ්‍යයේ හමුවන රූණ කන්ද වන යුව රජු ඒ සඳහා ඇති මිහිරිතම වන පියසකි. මෙරට වනාන්තර අතර අග රජු වූ සිංහරාජයේ ම කොටසක් බවට මෑතකදී පත්වූ රූණ කන්ද වැසි වනාන්තරය, කලක් වනාන්තර යුවරජු ලෙසින් ලංකාවේ දෙවැනි විශාලම වැසි වනාන්තරය ලෙස වැජඹී පසුගිය කාලයේදී සිංහරාජයටම එක් වීම නිසා සුන්දරත්වය මෙන්ම වටිනාකම ද ඉහළ ගිය වැසි වනාන්තර පද්ධතියක් බවට පත්ව තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ පාළින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටි මොරපිටිය රූණ කන්ද වැසි වනාන්තරය හෙක්ටයාර් 6500 ක පමණ විශාලත්වයකින් යුත් අඩි 1566 දක්වා උච්චත්වයකින් හෙබි වර්ෂාපතනය මි.මි. 4000 පමණ වන වැසි වනාන්තරයකි. පහතරට තෙත් කලාපීය නිවර්තන වර්ෂා වනාන්තරයක් වන මෙහි ඒකක ක්ෂේත්‍රඵලයක වැඩි ශාක ඝනත්වයක් දක්නට ලැබෙන අතර 30 m – 40 m පමණ වන ඉතා උස් වෘක්ෂ විශාල වශයෙන් දැකිය හැකිය. මෙහි හමුවන ශාක විශේෂ අතරින් 70% පමණ ඒක දේශීය ශාක විශේෂ වන අතර ක්ෂිරපායි විශේෂ 24 , මෙරටට ආවේණික පක්ෂි විශේෂ 29, සර්ප විශේෂ 26ක්, කටුසු විශේෂ 6ක්, මත්ස්‍ය විශේෂ 33ක්, සමනල විශේෂ 50 පමණ මෙම වනාන්තරය ආශ්‍රිතව නිරීක්ෂණය කළ හැකිය.

රුණ කන්ද වනාන්තරය වඩාත් සුන්දරවීමට හේතුවී ඇත්තේ වනාන්තරය තුළින් ගලා බස්නා දිය දහරාවන් සහ ඒවායින් ඇතිවන අලංකාර දිය ඇලි පද්ධතිය නිසාය. රූණ කන්ද තුළින් නා කඳ ඇළ, පුවක් වැටිය ඇළ, කෙටලපත් ඇළ ඇතුළු සුන්දර දිය දහරාවන් රැසක් ආරම්භ වන අතර සුපිරිසිඳු ජලය සහිත මෙම දිය දහරා මන්නවත්ත ඇල්ල, මෝහීනී ඇල්ල, පහන්තුඩා ඇල්ල ඇතුළු අලංකාර දිය ඇලි රැසක් සාදමින් ගලා ගොස් මගුර ගඟ පෝෂණය කරයි. දෙනිහේන මන්නවත්ත ප්‍රදේශයේදී මගුරු ගඟ විශාල ගල් තලාවක් මතින් ගමන් කරමින් ගල්තලාවේ එක් කුඩා කපොල්ලකින් මීටර් අටක පමණ ඉහළ සිට පහළට වැටීමෙන් නිර්මාණය වන මන්න වත්ත ඇල්ල රූණ කන්දේ දිය ඇලි අතරින් සුන්දරම දිය ඇල්ල වේ. මගුර ගඟ දික්හේන ප්‍රදේශයේදී යළිත් පහතට වැටීමෙන් පහන්තුඩා ඇල්ල නිර්මාණය කරයි. කොටස් දෙකකට කඩා වැටෙන මෙම ඇල්ලේ මුල් කොටසින් පහතට වැටෙන ඇල්ල පහන් දැල්ලක හැඩයෙන් වැටෙන නිසා පහන්තුඩා ඇල්ල නමින් ප්‍රසිද්ධ වී තිබේ. වනය තුළ ජල දහරාවන් රැසක් තිබීම නිසා මෙහි මත්ස්‍ය විවිධත්වය ද ඉතා ඉහළ අතර දේශිය මිරිදිය මත්ස්‍ය විශේෂ අතරින් විශේෂ 51 පමණ මෙහි හමු වේ. මෙහි පවතින ඉහළ ජෛව විවිධත්වය සහ පරිවාර කඳු වළල්ල නිසා රූණකන්ද සුන්දරත්වයෙන් අනූන වී තිබේ. පිරිසිදු ජලය පිරි දිය දහරාවන් නිසා වනය පුරා සිසිල් බවක් පවතින අතර මෙහි පැමිණෙන ඕනෑම අයෙකුගේ හදවතට සැනසීමක් එක් කිරීමට සමත් වෙයි. මෙම වනය තුළ හමුවන රුසීගල යනුවෙන් හඳුන්වන ලෙන් සහිත විශාල ගල්තලාව හා වන ගොමුව රූණකන්දට අලංකාරයක් එක් කරන අතර එය බලංගොඩ මානවයන්ගේ වාස භූමියක්ව පැවති ප්‍රදේශයකි.

වර්තමානයේ අතිශය සුන්දර වන බිමක් වුවත් 70 දශකයේදී රජය මඟින් සිදුකළ දැව හෙළීම් වල මතකයන් තවමත් මෙහි දක්නට හැකිය. එකල දැව ගෙනයාමට තැනූ මාවත් වල සලකුණු, එහි සේවයට පැමිණි සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් ඉදිකළ පාසල්වල ගරාවැටුණු ගොඩනැගිලි ආදිය වනය තුළ අතරින් පතර දක්නට ලැබේ. ඒවාද දැන් වනයේ සුන්දරත්වය සමඟම එක්වී තිබේ. දැව හෙළීම් සඳහා පැමිණි පිරිස් නිසා මෙම වනයේ කුඩා ගම්මාන ඇතිවූ අතර දැව හෙළීම් නවතා දැමුණු අතර ඇතැම් පිරිස් යළි නොගොස් තවමත් මේ වනය ආශ්‍රිතව තම ජීවිකාව ගෙන යාම සිදුකරයි. මේ නිසා වර්තමානයේ මෙම වනාන්තර සීමාව තුළ දෙනිහේන, කළුකන්දාව, හිඟුරුවැල්කැටිය, මන්නවත්ත වැනි කුඩා ගම්මාන කිහිපයක් පවතින අතර ඒවායේ වනය හා බද්ධ වූ ජීවන රටාවක් සහිත පවුල් කිහිපයක් අදටත් ජීවත් වේ. දැව හෙළීම් නැවතී යළිත් සොබාදහමේ අණසකට ලක්වූ රූණකන්ද සොබා දහමේ අසිරිය විඳීමට මෙන්ම අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහාද කදිම ස්ථානයකි. ජෛව විවිධත්ව මිතුරෝ පරිසර සංවිධානය රූණකන්ද වනය සංරක්ෂණය කටයුතු සඳහා පහසුකම් සලසන අතර රූණ කන්ද ආශ්‍රිතව පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථානයද පවත්වාගෙන යනු ලබයි. අතීතයේ වැසි වනාන්තර යුව රජ වූ රූණකන්ද දැන් වන මහරජු යටතටම පත්ව තිබේ. මේ නිසා සිංහරාජ්‍යයේ රූණ කන්දට සොබාදහම තව තවත් සුන්දර කිරීමට හැකිවී තිබේ.

අසිරු වේදිත කරුණාරත්න

 

Comments