අයි.සී.සී. යේ අට වැනි දරුවාට අවුරුදු 40යි | සිළුමිණ

අයි.සී.සී. යේ අට වැනි දරුවාට අවුරුදු 40යි

 

‘ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබී පෙබරවාරි මාසයට දසක හතරකි. එතෙක් මෙතෙක් කාලය තුළ ශ්‍රී ලංකාව බිහිකළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් ගණන දෙසීයකට කිට්ටු වී ඇති අතර, ක්‍රීඩා කළ ටෙස්ට් තරග ගණන ද තුන්සියයකට ආසන්නය. එදා ටෙස්ට් තත්ත්වය දිනාගත් මොහොතේ සිට මේ දක්වා විවිධ අත්දැකීම් සම්භාරයක් ලබාගත් රටක් ලෙසින් ශ්‍රී ලංකාව සැලකිය හැකිය. අයි.සී.සී. ය නැතහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බිහිකළ අටවැනි ටෙස්ට් දරුවා වනුයේ ශ්‍රී ලංකාවය. එසේ දරුවකු ලෙසින් බිහිකළ පසු වසර හතළිහක් සම්පූර්ණ කිරීම යනු මැදිවියට එළඹීමකට සමාන කළ හැකිය. මේ එම ටෙස්ට් තත්ත්වය ලැබීම සම්බන්ධයෙන් එවකට ක්‍රීඩකයන් දැක්වූ අදහස් ද සිහිපත් කරමින් තැබෙන සටහනකි මේ.‘

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගයට සහභාගි වී මේ වසරේ පෙබරවාරි මාසයට අවුරුදු 40 ක් සපිරෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟ වරම ප්‍රදානය කළේ 1981 ජූලි මස 21 වැනි දා ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය සමග ටෙස්ට් තරග වරම් දිනා ගත් ලොව 8 වැනි රාජ්‍යය ය. අපිට පෙර එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ඉන්දියාව සහ පකිස්තානය පූර්ණ සාමාජිකත්වය දිනාගෙන තිබිණි. අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් ලාභී රටවල් 12 ක් බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවට පසුව සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය පූර්ණ සාමාජිකත්වය හිමි කරගත් නිසා ය.

ශ්‍රී ලංකාවට එදා ටෙස්ට් වරම් දිනා ගනිද්දී මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතා ඉටුකළ මෙහෙය සිහිපත් කළ යුතු ය. ඉන්දියාව සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලවල ද සහාය දිනා ගනිමින් දිසානායක මහතා මේ වෙනුවෙන් අප්‍රතිහතව ක්‍රියා කළේ ය.

මේ අනුව ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ දී එංගලන්තය සමඟ ක්‍රීඩා කළේ 1982 පෙබරවාරි 17 සිට 21 දක්වා දිනවල දී ය. මෙම විශේෂ අවස්ථාව සමරන්නට එදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලිකත්වයෙන් විශේෂ රිදී සමරුවක් සහ මුද්දරයක් ද නිකුත් කෙරිණි. එදා තරගය අවසන් වුණේ එංගලන්තය කඩුලු 7 ක ජයග්‍රහණයක් ලබමිනි. හතරවෙනි දිනයේ අවසන් වූ තරගයේ කෙටි ලකුණු පුවරුව මෙලෙසිනි.

ශ්‍රී ලංකාව - පළමු ඉනිම - ලකුණු 218 රංජන් මඩුගල්ල 65, අර්ජුන රණතුංග 54, ඩෙරික් අන්ඩවුඩ් 28/5, ඉයන් බෝතම් 28/3

දෙවෙනි ඉනිම - ලකුණු 175 - රෝයි ඩයස් 77, බන්දුල වර්ණපුර 38, ජෝන් එම්බියුරි 33/6

එංගලන්තය - පළමු ඉනිම ලකුණු 223 - ඩේවිඩ් ගවර් 89, කීත් ෆ්ලෙචර් 45 අසන්ත ද මෙල් 70/4, ඩී.එස්.ද සිල්වා 54/3

දෙවැනි ඉනිම - ලකුණු 171/3 - ක්‍රිස් ටවාරේ 85, ඩේවිඩ් ගවර් 42 නොදැවී, ග්‍රෙහැම් ශුච් 31

මංගල ටෙස්ට් තරගයේ සුවිශේෂී සිහිවටන මෙලෙස සටහන්ව ඇත.

නායකයින් දෙදෙනා බන්දුල වර්ණපුර (ශ්‍රී ලංකාව) සහ කීත් ෆ්ලෙචර් (එංගලන්තය) කාසිය වාසිය ශ්‍රී ලංකාව

විනිසුරුවරුන් - හර්බ් ෆෙල්සින්ගර් සහ කේ.ටී. ප්‍රැන්සිස්

ප්‍රථම ටෙස්ට් ලකුණ - බන්දුල වර්ණපුර

ප්‍රථම හතරේ පහර - දුලිප් මෙන්ඩිස්

ප්‍රථම හයේ පහර - රංජන් මඩුගල්ලේ

ප්‍රථම අර්ධ ශතකය - අර්ජුන රණතුංග

දැවී ගිය පළමු පිතිකරුවා - බන්දුල වර්ණපුර

ලකුණු නොලබා දැවී ගිය පළමු පිතිකරුවා - රෝයි ඩයස්

පළමු ටෙස්ට් කඩුල්ල දවාගැනීම - අසන්ත ද මෙල්

පළමු උඩ පන්දුව රැක ගැනීම - ලලිත් කලුපෙරුම

මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි, රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, අර්ජුන රණතුංග, රංජන් මඩුගල්ලේ, මහේෂ් ගුණතිලක, අසන්ත ද මෙල්, ඩී.එස්. ද සිල්වා, ලලිත් කලුපෙරුම, අජිත් ද සිල්වා

තරගයට සහභාගි වූ එංගලන්ත කණ්ඩායම

කීත් ෆ්ලේචර්, ග්‍රෙහැම් ශුච්, ක්‍රිස් ටවාරේ, ඩේවිඩ් ගවර්, බොබ් ටේලර්, ඉයන්, බෝතම්, බොබ් විලීස්, ඩෙරික් අන්ඩවුඩ්, ජෝන් එම්බියුරි, ජෙෆ් කුක්, පෝල් ඇලට්.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නායක බන්දුල වර්ණපුර සමඟ තවත් ක්‍රීඩකයන් හතර දෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමත් විශේෂත්වයකි. ඔවුන් දුලිප් මෙන්ඩිස් තරග 19, ජයග්‍රහණ 2, ඩී. එස්. ද සිල්වා තරග 2, රන්ජන් මඩුගල්ල තරග 2 සහ අර්ජුන රණතුංග තරග 56 ජයග්‍රහණ 12යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් අර්ධ ශතකය (50) වාර්තාකොට අමරණීය වූ අර්ජුන රණතුංග එදා තවත් වාර්තාවකට හිමිකම් කීවේය. එය ළාබාල ක්‍රීඩකයකු ලෙස වාර්තා තැබීමයි. සෙසු ක්‍රීඩකයන්ට කදිම ආදර්ශයක් ගෙන දෙමින් ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන් හමුවේ පිත්ත හසුරවන විට අර්ජුන අවුරුදු 18 දවස් 78 ක වියේ පසු විය.

මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ලකුණු 1000, රෝයි ඩයස් දෙවැනි ටෙස්ට් ලකුණු 1000, අර්ජුන රණතුංග ප්‍රථම ටෙස්ට් ලකුණු 2000 සහ ටෙස්ට් තරග 50 ක ට ප්‍රථම නායකත්වය, ඩී.එස්. ද සිල්වා ඉනිමක ප්‍රථම කඩුලු 5 ක් දවාලූ පන්දු යවන්නා යන වාර්තාවල අමරණීය හිමිකරුවෝ වෙති.

පසු කාලයේ තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් මංගල ටෙස්ට් තරගය ගැන අදහස් දක්වා තිබුණේ ය. ඒ අතරින් තෝරාගත් අදහස් දැක්වීම් කීපයක් මෙසේ දැක්විය හැකිය.

අපි ටෙස්ට් වරම් ලැබුණු බව දැනගත්තේ එංගලන්තයේ ඉන්නකොටයි-

සිදත් වෙත්තමුණි

“ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණා කියලා දැනගත්තේ 1981 අපි එංගලන්ත සංචාරයකට සහභාගි වෙමින් සිටියදීයි. එදා අපට විශාල සතුටක් දැනුණා. ඊට වඩා සතුටක් දැනුණේ මංගල ටෙස්ට් තරගයට සහභාගි වන විටයි. ඒක අමරණීය මොහොතක්. අපි මීට වඩා හොඳට ක්‍රීඩා කළා නම් තරගය ජයග්‍රහණය කරන්න ඉඩක් තිබුණා කියලා මට හිතෙනවා.”

බොබ් විලිස්ට එරෙහිව

ක්‍රීඩා කරන්න ලැබීම භාග්‍යයක් -

දුලිප් මෙන්ඩිස් (ශ්‍රී ලංකා උපනායක)

“බොබ් විලිස් වගේ වේග පන්දු යවන්නකුට මුහුණදීම අපූරු අත්දැකී-මක් වුණා. ඔහුගේ කොණ්ඩය සහ පන්දු යැවූ විලාසය අමතක වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ දී අපි හොඳ වේග පන්දු යවන්නන්ට මුහුණ දුන්නා. නමුත් විලිස් ඔවුන් සියල්ලට ම වඩා වේගවත්.”

මම අසාර්ථක වෙයි කියලා බොහෝදෙනෙක් සිතුවා -

අර්ජුන රණතුංග

“පාසල් ක්‍රීඩකයන් ලෙස එදා අපට ටෙස්ට් තරගවල වැදගත්කම දැනුණේ නැහැ. නමුත් කණ්ඩායමට තෝරා ගත්තාම පාසලේ හා සමාජයීය තරග වලට වඩා ටෙස්ට් තරග මොනතරම් විශාලද කියලා අවබෝධ වුණා. මම හොඳින් ක්‍රීඩා කරාවි කියා වැඩි දෙනා හිතුවේ නෑ. වෙනත් තරගයක් වගේ මම ක්‍රීඩා කළා. මම වාර්තා තැබුවේ එහෙමයි.”

කවදා හෝ ටෙස්ට් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබේ යැයි බලාපොරොත්තුවක් තිබුණා-

බන්දුල වර්ණපුර (ශ්‍රී ලංකා නායක)

“කවදා හෝ ටෙස්ට් ක්‍රිකට් ගහන්න ලැබෙයි කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. ඒක ඉටුවීම මට විශේෂයි. අපිට හොඳ කණ්ඩායමක් හිටියා. උපරිමව අපි ක්‍රීඩා කළා.”

මම උපරිම ජවයෙන් පන්දු යැව්වා- අසන්ත ද මෙල්

“අපිට එදා වේගවත් පන්දු යවන්නන් හිටියේ නැහැ. මම උපරිම ජවය යොදල වේගයෙන් පන්දු යැව්වා. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම, පළමු වැනි පන්දුව යැවීම සහ පළමු වැනි කඩුල්ල දවා ගැනීම යන අමරණීය වාර්තා හිමි වීම වාසනාවන්තයි.”

ලංකාවෙන් අපි හොඳ තරගකාරිත්වයක් අපේක්ෂා කළා - කීත් ෆ්ලෙචර් (එංගලන්ත නායක)

“මීට කලින් මම ඇම්.සී.සී. සහ වෙනත් කණ්ඩායම් සමඟ ලංකාවට පැමිණ ක්‍රීඩා කොට තිබෙනවා. මම තරගකාරීත්වය බලාපොරොත්තුව හිටියා. තමන්ගේ රටේ දී ඔවුන් හොඳින් ක්‍රීඩා කරනවා කියලා අපි දැනගෙන හිටියා.”

පළමු තරගය මට විශේෂයි-

ජෝන් එම්බියුරි

“මේ තරගය මට විශේෂයි. මගේ ප්‍රථම ටෙස්ට් කඩුලු හයක දවාලීම ශ්‍රී ලංකාව සමඟයි. ඩෙරික් අන්ඩවුඩ් එක්ක එකතුවෙලා අපේ කණ්ඩායම ජයග්‍රහණය කරවන්න ලැබීම ගැන සතුටුයි.”

අසන්ත ද මෙල් අපිට තර්ජනයක් වුණා - ජෙෆ් කුක්

“අපි වඩාත් දැනගෙන හිටියේ ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් ගැනයි. ඒ නිසා අපි පිතිකරණයේ දී වඩාත් පරිස්සම් වුණේ ඔවුන්ගෙන්. නමුත් ඩිමෙල් ශක්තිමත් පන්දු යවන්නෙක්.

ඔහු අපිට අභියෝගයක් වුණා.”

මංගල ටෙස්ට් තරගය

මට විශේෂ සිහිවටනයක් -

කේ.ටී. ප්‍රැන්සිස් (විනිසුරු)

(වරක් අපට තරගය විනිශ්චය කළ කේ.ටී. ප්‍රැන්සිස් විනිසුරුවරයා මුණගැසුණේය. එහිදී මංගල ටෙස්ට් තරගය ගැන අපි ඔහුගේ අදහස් විමසුවෙමු.) “ඒක මට විශේෂ සිහිවටනයක්. මම වගකීම භාර ගත්තෙ මගෙ රට වෙනුවෙන්. දෙපිලේම දැවැන්ත ක්‍රීඩකයන් සමඟ පිටිය මැද ඉන්නට ලැබීම වාසනාවක්.”

ශ්‍රී ලංකා මංගල තරගය අවාසනාවක් වෙයි

තරගයට පසු සිය රට බලා ගිය එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට අවාසනාව හඹා ආවේය. නායක කීත් ෆ්ලේචර් එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කළේ අවසාන වතාවට ය. එංගලන්ත තේරීම් කමිටුව විසින් ඔහුව නායකත්වයෙන් ඉවත් කරන ලදි. එංගලන්තයට ගොස් මාසයකට පසු දකුණු අප්‍රිකාවේ සංචාරය සඳහා කැරලිකාර එංගලන්ත කණ්ඩායමට එක් වූ ජෝන් එම්බියුරි සහ ග්‍රෙහැම් ගුච් දෙදෙනාට අවුරුදු තුනක තහනමක් පැනවිණි. ඔවුන්ට නැවත එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට වරම් ලැබුණේ 1985 දී ය.

ශ්‍රී ලංකාව 1982 දී මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්නට පෙර හා පසුව සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ රටවල තොරතුරු මෙලෙසිනි.

එක් එක් රටවල ප්‍රථම ටෙස්ට් තරග සාරාංශය

ප්‍රථම ටෙස්ට් තරගය එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර 1877 දී (මෙල්බන්) ඔස්ට්‍රේලියාවට ලකුණු 45ක ජයක්

දකුණු අප්‍රිකාව ප්‍රථම ටෙස්ට් තරගය 1889 දී එංගලන්තය සමග (පෝට් එලිසබෙත්) දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක පරාජයක්

බටහිර ඉන්දීය කොදෙව් 1928 දී එංගලන්තය සමඟ (ලෝඩ්ස්) කොදෙව්වන්ට ඉනිමක පරාජයක්

නවසීලන්තය 1930 දී එංගලන්තය සමඟ (ක්‍රයිස්ට්චර්ච්) නවසීලන්තයට කඩුලු 8 ක පරාජයක්

ඉන්දියාව 1932 දී එංගලන්තය සමඟ (ලෝඩ්ස්) ඉන්දියාවට ලකුණු 158 ක පරාජයක්

පකිස්තානය 1952 දී ඉන්දියාව සමඟ පාකිස්තානයට ඉනිමක පරාජයක්

සිම්බාබ්බේ 1992 දී ඉන්දියාව සමඟ (හරාරේ) තරගය ජය පරාජයෙන් තොරයි

බංග්ලාදේශය 2000 දී ඉන්දියාව සමඟ (ඩැකා) බංග්ලාදේශය පරාජය විය

ඇෆ්ගනිස්ථානය 2018 දී ඉන්දියාව සමඟ ඇෆ්ගනිස්ථානය පරාජය විණි.

 

 

Comments