
ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයේ වීරයා කිව්වොත් ඉන්ද්‍රචාපගේ නාමාවලිය පිරී’තිරී යන්නේ අපේ, ක්‍රිකට් ඉතිහාසයේ ලෙජන්ඩ්ස්ලගෙ (Legends) මුහුණුවලින්. මුල්ම කාලෙ ගත්තොත් වර්ණපුරලා ඉඳලා රෝයි ඩයස්, සිදත් වෙත්තමුණි, අමල් සිල්වා, මහේෂ් ගුණතිලක, රංජන් මඩුගල්ල, සාලිය අහංගම, ගයි ද අල්විස්, දුලිප් මෙන්ඩිස්, අසන්ත ද මෙල්, අජිත් ද සිල්වා, ඩී. එස්. ද සිල්වා, විනෝදන් ජෝන්, රවි රත්නායක, අනුර රණසිංහ වගේ සෙට් එකක්.
පස්සෙ කාලෙ අර්ජුනගෙන් පටන් අරගෙන, අරවින්ද, සනත්, රොෂාන්, කළු, මාවන්, බ්‍රෙන්ඩන්, අතුල, අසංක, හෂාන්, චම්පක, ප්‍රමෝද්‍ය, කල්පගේ, උපුල්, හතුරුසිංහ, මුරලි, ධර්මසේන, චමින්ද වාස් ඇතුළු තවත් හුඟ දෙනෙක්. මේ කට්ටිය මොකක් හෝ මැච් එකක මෑන් ඔෆ් ද මැච් වෙලා තියෙනවා දෙකක් නෑ. ඒ ක්‍රිකට්වල. ඒව ඉතිහාසෙට එකතු වෙච්ච වාර්තා.
ඒත් වෙසක් සතියෙ මෑන් ඔෆ් ද මැච් මෑන් කෙනෙක් ඉතිහාසෙට එකතු වෙන්නෙ, 1963 මැයි, වෙසක් මාසෙන් පස්සෙ. ක්‍රිකට් ගේම් එකේ මෑන් ඔෆ් ද මැච් වෙච්ච හැමෝම වගේ තාමත් අපි අතර හිටියත්, වෙසක් සතියෙ මෑන් ඔෆ් ද මැච් නම් සමීප රූපයට එකතු වෙන්නෙ අතීත රූපයක් විදියට විතරයි. ඒත් ඒ අතීත රූපෙ එදාටත් වැඩිය අද ජීවමානයි කියලයි ඉන්ද්‍රචාපට හිතෙන්නෙ.
අල්හාජ් මොහිදීන් බෙග්, බෙග් මාස්ටර් උපතින් ශ්‍රී ලාංකිකයකු නොවුණත්, දශක ගණනාවක් තිස්සෙ අද දක්වාම ශ්‍රී ලාංකිකයන්ගෙ වගේම බෞද්ධයන්ගෙත් වීරයෙක් වෙන්නෙ 1963 මැයි මාසෙ තිරගත වුණු අංගුලිමාල දෙබස් කැවු චිත්‍රපටයක් සමඟ. බෙග් මාස්ටර්ගෙ ගායනා ශ්‍රී ලංකාවේ සංගීත ලෝලීන් අතර කොයිතරම් ජනප්‍රිය වුණා ද කිව්වොත්, 1956 දී අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා බෙග් මාස්ටර්ට ගෞරව පුරවැසිභාවය පවා පිරිනමනවා. මුල් කාලෙ ජනප්‍රිය වෙච්ච හැම සිංහල චිත්‍රපටයක්ම පාහේ, බෙග් මාස්ටර්ගෙ කේවල ගීත හෝ යුග ගීත නිසා හිට් වුණු බවයි ඉන්ද්‍රචාප දකින්නෙ.
මායා මායා (කැලෑහඳ) ගිරිහෙල් මුදුනේ, ආදර නදිය ගලා, පෙම් මල් මාලා, අන්න සුදෝ, වැල්ල සිඹින රැල්ල, තනිවයි උපන්නේ වගේ චිත්‍රපට සිංදුත්, ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා, ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ, ඔබ එනව බලා පැල්පතට වෙලා වගේ සරල ගීතත් බෙග් මාස්ටර්ගෙ හිට්ස්, එදා වගේම අදත්. ඒත් මොහිදින් බෙග් මාස්ටර්, මාස්ටර් බ්ලාස්ටර් වෙන්නෙ අංගුලිමාල චිත්‍රපටයෙ ‘බුද්ධං සරණ ගච්ඡාමි’ කිව්වට පස්සෙ.
බුද්ධං සරණං ගච්ඡාමි වාදන කාලය විනාඩි 12 යි. කොටස් පහයි. තැටියේ පැති තුනයි. වෙසක් උත්සවයට නැතුවම බැරි සිංදුව බෙග් මාස්ටර්ගෙ බුද්ධං සරණං ගච්ඡාමි. පන්සලේ පිංකමේ, තොරණේ, දන්සලේ, බණ මඩුවේ, සල්පිලේ, පෙරහරේ බුද්ධං සරණං ගච්ඡාමි ඇහෙන්නෙ දශක හයකටත් වැඩි කාලෙක ඉඳලා. කරුණාරත්න අබේසේකර සූරින්ගෙ සමීප රූපයත් බෙග් මාස්ටර්ගෙ සමීප රූපෙ එක්කම. බොදු ගුණ ගීත තව කොපමණක් අපිට තියෙනව ද? අමරදේව මාස්ටර්ගෙ පාරමිතා බල පූජිත, ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන, සංසාර ගමනේ, මුනි සිරිපා සිඹිමින්නේ, ඇඟිලි තුඩයි ගල් කටුවයි, සමාධි බුදු පිළිමේ, වගේ සින්දු කොච්චරක් නම් තියෙනව ද? ඒත් ඒ එකක්වත්, බෙග් මාස්ටර්ගේ රෙකෝඩ් එක කඩන්නෙ නෑ. ඔබෙ රා ගී මන කැළබේදෝ කියල බෙග් මාස්ටර් කටහඬ ගුවනට එක් කරනකොට, ඒක සිංහල ද අසිංහල ද කියල අහගෙන ඉන්න අපිට දැනෙන්නෙ නෑ. කරුණාරත්න අබේසේකර ගීතය ඉවර කරන්නෙ බෙග් මාස්ටර් ලවා දහම් පණිවිඩය ලෝකයට බෙදමින්.
“ලෝක ශිවංකර මාහිමිගේ ධර්මේ දසදෙස පැතිරේවා
සැම දින තුඩ තුඩ රැව්දේවා බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි”
මොහිදින් බෙග්ගෙ බුද්ධං සරණ රෙකෝඩ් එක නම් කඩනව බොරු.