ඇගයීම්, සම්මාන නැතත් ජනතා ප්‍රසාදය නොඅඩුව ලැබෙනවා | සිළුමිණ

ඇගයීම්, සම්මාන නැතත් ජනතා ප්‍රසාදය නොඅඩුව ලැබෙනවා

“මාව සම්මානයෙන් පුද නොලැබුවාට අදත් මඟ තොටේදී ඉහළින් ම ලැබෙන ජනතා ආදර සම්මාන ගැන මං වඩාත් තෘප්තිමත්. ඒ වගේ ම සිනමාවට මම ඉටු කළ මෙහෙවර ගැන ලොකුම තෘප්තියක් තියෙනවා.‍ ජනතා සම්මානය නේද ගොඩක් ම වටින්නේ.

එදා රිදී තිරය රංගනයෙන් ඔපවත් කළ ඕ අපට හුරු පුරුදු මන බඳිනා සිනාවකින් ම පසුවන්නීය. ලැබෙන හැම චිත්‍රපටයටම දායක නොවූ ඕ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන් ම තිර කතාව පිළිබඳව ද සැලකිලිමත් ව චරිත තෝරා බේරා ගනිමින් රංගන දිවියෙහි දිගු කලක් රැඳී සිටින්නට තරම් වාසනාවන්තියක වූවා ය. හුලවාලි චිත්‍රපටයේ (ගාමිණී ෆොන්සේකා) ධාරාගේ බිරිය සුභා ඇයය. වැලිකතර චිත්‍රපටයේ (ගාමිණී ෆොන්සේකා) සහකාර පොලිස් අධිකාරි වික්‍රම රන්දෙණිය ගේ බිරිය ගීතා රන්දෙණිය ඇයය. සුවිශේෂී අධ්‍යක්ෂවරුන් යටතේ බිහිවූ සම්මානනීය සිනමා නිර්මාණ ගණනාවක රඟපෑ ඇය සුවිනීතා වීරසිංහ නම් ප්‍රතිභා පූර්ණ තිරංගනාවිය ය.

“ඇත්තෙන්ම පාසල් වේදිකාවේ දස්කම් දැක්වූවා. ගායනය, නර්තනය, රංගනය ආදියෙහි සම්බන්ධ වුණාට කවදාවත් නිළියක වෙනවාය කියන හැඟීමක් ‍මට තිබුණේ ම නැහැ. ඒ කාලේ ගැහැණු දැරිවියකට අද වගේ නිදහසක් නැහැ. තහංචි වැඩියි. තාත්තා දවසක් පත්තර දැන්වීමක් මට පෙන්වූවා. සතියකින් ඒකට උත්තරත් ආවා. මේවාට අකැමැති මගේ අම්මා තරහින් මා එක්කලම සම්මුඛ පරීක්ෂණයටත් ආවා. මඟදිත් මට බැණ බැණ ගියේ. එදා සම්මුඛ පරීක්ෂණය මෙහෙයවූයේ රොබින් තම්පෝ. සන්ධ්‍යා කුමාරි ඒ ‍වනවිටත් නිළියක් වුවත් ඇයත් ඇවිදින් හිටියා. කොහොම හරි සැලසුමක් නැතිවම මෙතෙක් හරි මග ඇවිත් තියෙනවා...” ඕ සුන්දර සිනාරැල්ලෙන් මුව සරසා පසුවෙන්නී ය.

ආයුර්වේද වෛද්‍යවරියක වීමේ තෙවන වසරේ විභාගයට ශිෂ්‍යාවක වූ ඇයගේ ඒ සිහිනය ඇයටම නොදැනී ගිලිහී යමින් සිනමා නිළියක ලෙසින් පෙරටම පැමිණියාය.

“ආයුර්වේද වෛද්‍යවරියක් වීමට ම කැමැත්ත තිබුණේ මා එදත් අදත් කවදත් අනුනට කරුණාවයි. මානව දයාව වටිනවා. අනුනට උපස්ථාන කරන්න, පිහිට වෙන්න අදත් තියෙන්නේ පුදුම කැමැත්තක්. ඒත් රංගන ශිල්පිනියක වීම නම් පැතූ දෙයක් නොවෙයි. නමුත් පවුලේ එකම ගැහැණු දරුවා හැටියට අම්මාගේ බාධාවන් මැද්දෙ හොඳ ආත්ම විශ්වාසයකින් මේ ගමන ආවා. ඒත් මගේ ජීවිතයේ අඩුපාඩුකම් ගැන පසුතැවිල්ලක් නැහැ. හැම දෙයක් දිහාම මං ධනාත්මකව බලනවා.”

රොබින් තම්පෝ ගේ ‘සුදු සඳේ කළු වලා’ හි ‘වසන්ති’ වූ ඇය සාගර පලන්සූරිය ගේ ‘සුදෝ සුදු’ හි ගාමිණී සමඟ ‘හීන් මැණිකෙ’ ලෙසින් රඟපෑවා ය. දෙලොවක් අතර චිත්‍රපටයේ ටෝනි රණසිංහයන් හා කළ රංගනය තම රංගන දිවියේ කඩඉම ලෙසින් සලකන ඕ ප්‍රවීණ අධ්‍යක්ෂ ලෙසටත් ජේම්ස් පීරිස් පිළිබඳව ද කතා කළේ මහත් අගයකිනි. සති පූජා, අනුපමා, සිකුරුලියා, දැහැන, බන්ධනය, වස්සානයේ සඳ, මලට නොඑන බමරු ආදී චිත්‍රපට තිහකට පමණ සුවිශේෂී රංගන ප්‍රතිභාවකින් සිනමා ලෝලීන්ගේ මහත් සේ ආදර ගෞරවයට පාත්‍ර වූ ඕ යළි සිය කටහඬ අවදි කරන්නට වූයේ මෙලෙසිනි.

‘රංගන ශිල්පිනියක ලෙසින් ආ මේ ගමන ගැන මා ඉතාම තෘප්තිමත්. නමුත් මේ දක්වා සම්මාන ලබා නැහැ. සම්මානනීය වූ චිත්‍රපට නියෝජනය කරමින් විදෙස් රටවල ද සුවිශේෂි කලා කරුවන් රැසක් ම හඳුනා ගන්නට ලැබුණා.

මෙතෙක් සම්මානයක් කියා දෙයක් මට නොලැබුණාට හිතේ කිසිම දුකකුත් නැහැ‍. අදටත් ජනතා සම්මානයෙන් අඩුවක් නැති නිසා. සුවිනීතා වීරසිංහ කියන රංගන ශිල්පිනිය සිංහල සිනමාවට මේ දක්වා ඉටු කළ මෙහෙවර වෙනුවෙන් කිසිවක් ඉටු නොවීම ගැන ඇත්තේ කනගාටුවක්. පසුගිය සම්මාන උලෙළවල දීත් මා සිහිපත් වී නැහැ.

තවමත් රංගනයට ඇලුම් කරන ඕ එදා හෙළ සිනමාව පිළිබඳව කතා කළේ ද මහත් අභිමානයකිනි. හොඳම අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණවල රඟපෑමට අවස්ථාව හිමිවීම භාග්‍යයක් සේ සලකන ඈ සිනමාව, මෙන් ම ටෙලි නාට්‍යයට ද වේදිකාවට ද රංගනයෙන් දායක වන්නීය.

මහාචාර්යවරයකු, ග්‍රන්ථ රචකයකු වන නන්දලාල් මාලගොඩ නම් තම ස්වාමියා පිළිබඳව ද මහත් ස්නේහයකින් යුතුව ම දොඩමළු වූ ඕ “එයා මට සවියක්” යැයි කීයේ ද මහත් සතුටකිනි.

“මගේ ජීවිතයම සුන්දර වූයේ නැහැ. එහෙම වෙන්නත් බැහැනෙ. ආපු ගමන් මඟේ සෝ තැවුල් බිඳීමි. වැටීම් දුක් කඳුළු වේදනා වගේ ම ජයග්‍රහණය, ප්‍රශංසාව, ඇගැයීම ආදියෙන් අඩු වැඩි වශයෙන් තියෙනවා‍. සොබාදහම හැමවිට ම මට උදව් කළා. දවස පටන් ගත් මොහොතේ සිට ධර්මානුකූලව කටයුතු කිරීමේදී ඒ සැනසිල්ල වචනවලට ගලපා කියන්න බැහැ.

“අපි මළාට පස්සෙ මාධ්‍යයන් තුළින් ගරු කරනවා. අප ඉන්න කොට සෙවීමක් බැලීමක් නැහැ. ඒ ගැන දුකකුත් නැහැ. දැන් මේ අපේ වැඩිහිටි අවධියයි. අනුන් වෙනුවෙන් කළ හැකි උපකාරයක් කරමින් ජීවත්වීම තමා ලොකුම සැනසීම” ඕ රසික සිත් ඇද බැඳගත් සුන්දර සිනහවෙන් ම එසේ කීවා ය.

සේයාරූ - දමිත් නිලංක කුමා

Comments

පිටු