Hollywood | සිළුමිණ

Hollywood

 ජැනට් යුග දිවියට තිත තබා ගීත චාරිකාවේ

පොප් ගී ලොව කිරුළු පැලඳි මයිකල් ජැක්සන්ගේ නැඟණිය ජැනට් ජැක්සන් මීට මාස හතරකට පෙර මවු පදවිය ලැබුවේ මැදි වියේදී. ඒ වන විට ඇගේ වයස අවුරුදු 50 යි. ජැනට් ඇය විවාහ වුණේ කෝටිපති ව්‍යාපාරිකයකු වන විසාම් අල් මානා සමඟ.

පසුගියදා ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තම සැමියාගෙන් වෙන්වූ බවයි. “ඔව්, මම සැමියාගෙන් වෙන්වුණා. අපි දැන් ඒ ප්‍රශ්නය උසාවියට යොමු කරලයි තියෙන්නෙ. ඉතිරි ටික තියෙන්නේ දෙවියන්ගෙ අතේ.” ජැනට් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළා. ඒ සමඟම ඇය කියා සිටියේ පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ අත්හිටවා තිබූ ‘අන්බ්‍රේකබල්’ ගීත චාරිකාව යළි ඇරැඹීමට තීරණය කළ බවයි. නමුත් මෙම ගීත චාරිකාව ‘ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්’ යනුවෙන් වෙනස් කළ බවත් ඇය පැවසුවා. ජැනට් සහ විසාම්ගේ දීගය දෙදරා යෑමට හේතුව කුමක්දැයි කාටත් රහසක් වෙලා. ඇතැමුන් කියන්නේ විසාම් අනවශ්‍ය ලෙස ජැනට්ව පාලනය කරන්නට යෑමෙන් මෙය සිදුවූ බවයි. නමුත්, වෙනත් මාධ්‍යවල සඳහන් වන්නේ මේ වෙන්වීම සිදුවූයේ දෙදෙනාගේම කැමැත්තෙන් බවයි.

තට්ටය නිසා ‘සර්’ වුණු කැරෙන්

කැරෙන් ගිලාන් දක්ෂ, ජනප්‍රිය යොවුන් නිළියක්. ඇගේ රැඟුම් ඇතුළත් වූ ‘ද සර්කල්’ චිත්‍රපටය දැන් තිරගත වෙනවා. මෑතකදී මේ සුරූපී නිළියට ජීවිතයේ මෙතෙක් නොලද අත්දැකීමක් විඳින්නට සිදු වුණා. ඒ, ‘ගාඩියන්’ චිත්‍රපටයේ පිටසක්වල ජීවියකුගේ චරිතයක් වෙනුවෙන් සිය ස්වරූපය වෙනස් කර ගැනීමෙන් පසුවයි. මේ චරිතය වෙනුවෙන් තමන්ගේ හිසකෙස් මුළුමනින්ම ඉවත් කරගන්නට ඇයට සිදු වුණා. තට්ට හිසකින් යුතුව එම චිත්‍රපටයේ දර්ශන කිහිපයක රඟපෑ ඇය, තමන්ට වෙන් කළ හෝටල් කාමරයට යද්දී සිදුවුණේ නොසිතූ දෙයක්. එය විස්තර කළ කැරෙන්...

“හෝටල් සේවකයො මට කතා කළේ ‘සර්’ කියලා. මම කාමරයට ගිහින් ටිකක් නිදා ගත්තා. කවුදෝ කෙනෙක් ඇවිත් දොරට තට්ටු කළා. කාමරය ඇතුළේ ලයිට් එකක් දමන්නේ නැතුවම මම දොර ඇරියා. මාව දැක්ක ගමන් ඒ මනුස්සයා ‘සොරි සර්’ කියල ආපහු ගියා. ඒ වෙලාවෙ මහන්සියෙන් හිටපු නිසා මම කවුද කියල කියන්න ගියෙ නැහැ.” ගාඩියන් චිත්‍රපටයේ දෙවැනි කොටස වන ‘ගාඩියන් ඔෆ් ද ගැලක්සි - 2’ චිත්‍රපටයේත් කැරෙන් රඟපානවා. මේ චිත්‍රපටයේ රඟද්දී කලින් චිත්‍රපටයේ මෙන් තට්ට හිසකින් රඟපෑවේ නැති බවත් තම හිස පිටුපස පමණක් තට්ටය ඉතිරි කළ බවත් ඇය පැවසුවා.

අසාමාන්‍ය නම‍ බෙයා පානේ

චෙරිල් සහ ලියම් පානේ මවුපිය පදවිය ලබන්නට වාසනාවන්ත වෙලා. මේ යුවළ කවුරුන්දැයි ඔබ දන්නවා. චෙරිල්ට වඩා කවුරුත් හොඳින් හඳුනන්නේ ලියම් පානේවයි. ඔහු, ලෝක ප්‍රකට ‘වන් ඩිරෙක්ෂන්’ ගායක කණ්ඩායමේ ගායකයෙක්. චෙරිල්ට ලැබුණේ පුතෙක්. ඔහුට තබා ඇති නම අසාමාන්‍ය නමක් යැයි ඔබට සිතේවි. මේ බිලිඳු පුතුගේ නම ‘බෙයා.’ පුතුගේ නමට තාත්තාගේ වාසගම එක්වූ විට සඳහන් වන සම්පූර්ණ නම තමයි, බෙයා පානේ.

ලියම් සහ චෙරිල්ට සමීප හිතවතකු පැවසුවේ පුංචි පුතා මෙලොව එළිය දුටු දා පටන් ඔවුන් දෙදෙනා නිම්හිම් නැති සතුටකින් පසුවන බවයි. ජනප්‍රිය නිළියන් දෙදෙනකු වන කේට් වින්ස්ලට් සහ අලිෂියා සිල්වර්ස්ටෝන් ද තම පුතුන් දෙදෙනාට තබා ඇත්තේ බෙයා යන නමයි. ඒ නිසා වෙන්න ඇති, ලියම් - චෙරිල් යුවළත් තම කුලුඳුල් පුතුට ඒ නම තබන්න ඇත්තේ. ජනප්‍රිය ගායිකාවක, නර්තන ශිල්පිනියක සහ රූපවාහිනී නිවේදිකාවක වන චෙරිල් ඈන් ෆර්නැන්ඩස්ට ලියම් පානේව හමු වුණේ 2016 දී. මේ වසරේ ජනවාරියේදීයි ලියම් ප්‍රසිද්ධියේ කියා සිටියේ, චෙරිල් දරුවකු කුස දරා සිටින බව.

ටොම්ගේ කැමරාවක් නැති ‘ඇක්ෂන්’ එක

සිනමා ලොව ත්‍රාසජනක දර්ශනවල රඟපෑ ජනප්‍රිය නළු ටොම් හාඩි පසුගියදා මහමඟ, අතුරු මාවත්වල සහ උද්‍යාන හරහා දිව ගියේ විදුලි වේගයෙන්. ඒ, තවත් ත්‍රාසජනක චිත්‍රපටයක රඟපාමින් නොවෙයි. මෝටර් සයිකලයක් ලුහුබඳිමින්. මෝටර් සයිකලයේ සිටියේ තරුණයන් දෙදෙනෙක්. ඔවුන් එය පැහැරගෙන යමින් සිටි නිසයි, ටොම් හාඩි එය ලුහු බැන්දේ. එක් අවස්ථාවකදී මේ කොල්ලකරුවන් දෙදෙනා මන්සන්ධියකදී සංඥා එළි නොතකමින් මෝටර් සයිකලය ධාවනය කළේ අතිශය අනතුරුදායකවයි. කොහොම වෙතත්, මේ කොල්ලකරුවන් දෙදෙනාව අල්ලා ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට භාර දෙන්නට ටොම්ට හැකි වුණා. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත්වන විට කොල්ලකරුවන් දෙදෙනාට තුවාල සිදුවී තිබූ බවයි. එවැනි හපන්කමක් කළ ටොම් හාඩි රඟපෑ අලුත්ම චිත්‍රපටය ජූලි 21 දා තිරගත වීමට නියමිතයි. චිත්‍රපටයේ නම, ‘ඩන්කර්ක්.’

Comments