
සිව් දශකයක කාලයක් තිස්සේ සිනමා සාහිත්‍යය හා විචාර කලාව කෙරෙහි සුවිශිෂ්ට සේවාවක් ඉටුකළ ප්‍රවීණ සිනමා සාහිත්‍යවේදියකු, සිළුමිණ පුවත්පතේ සමකර්‍තෘ මෙන්ම සරසවිය සහ රසඳුන පුවත්පත්වල කර්‍තෘ වරයා ලෙස සේවය කළ සුනිල් මිහිඳුකුල මහතාගේ සේවය ඇගයීමේ උත්සවයක් පසුගිය 04 වැනිදා, බෘහස්පතින්දා පස්වරු 3.30 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පැවැත්විණි.
විශාරද නන්දා මාලිනිය විසින් මල්දමක් පලඳවා සුනිල් මිහිඳුකුල මහතා පිළිගැනීමෙන් අනතුරු ව රාජ්‍ය නැටුම් කණ්ඩායම පෙරටු කොටගත් සම්භාවනීය කලාකරුවන් විසින් ඔහු උත්සව සභාව වෙත කැඳවා ගෙන එන ලදී.
එහිදී මහාචාර්ය සමන්ත හේරත් හා බුද්ධදාස ගලප්පත්ති විසින් සංස්කරණය කරන ලද ‘සුනිල් මිහිඳුකුල සිනමා සාහිත්‍ය සම්ප්‍රසාදන’ කෘතිය එළිදැක්විණි. මෙරට ප්‍රවීණ සිනමා විචාරකයින්ගේ හා කලාකරුවන්ගේ ලේඛන මාලාවක් ඇතුළත් එම කෘතියේ මුල් පිටපත ෆාස්ට් ඇඩ්ස් අධිපති ප්‍රේම් දිසානායක මහතා අතින් ප්‍රවීණ නිළි ස්වර්ණා මල්ලවාරච්චි වෙත පිළිගැන්වීමෙන් අනතුරු ව ඇයවිසින් මිහිඳුකුල මහතා වෙත පිළිගන්වන ලදී.
සම්මානනීය සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් මහත්මිය මුලසුන හොබවන ලද මෙම ඇගයුම් උලෙළේදී ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර හා සම්මානනීය සිනමා නළු සනත් ගුණතිලක සංක්‍ෂිප්ත දේශන පැවැත්වූහ.
මෙරට සිනමා විචාර කලාව සම්බන්ධයෙන් ඉතා වටිනා සේවාවක් මිහිඳුකුල මහතා අතින් ඉටු වූ බවත්,ඔහු තරම් අභීත හා අදීන සිනමා විචාරකයකු මෑත යුගයේදී දක්නට නොවූ බවත් සිය සංක්‍ෂිප්ත දේශනයේදී ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම මහතා පැවසීය. සුනිල් මිහිඳුකුල වෘත්තීය ගෞරවය උපරිම ලෙස ආරක්‍ෂා කළ ආදර්ශවත් මාධ්‍යවේදියකු බව ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක ප්‍රකාශ කළේ ය. පුවත්පත් කලාවේදියකු වශයෙන් සිය වෘත්තිය පිළිබඳ අසීමිත තෘප්තියකින් කටයුතු කළ මිහිඳුකුල සතු ව පවතින භාෂාත්මක පරිචය හා ලේඛන රීතිය ඔහුට ම අනන්‍ය වූවක් බවත් එම ලේඛන ශෛලිය ඔහුගේ විෂය වූ සිනමා විචාරය ඉහළට ඔසවා තැබීමට සමත් වූ බවත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාගේ අදහස විය.
මෙම උලෙළ සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලිනි,රවීන්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, ජැක්සන් ඇන්තනි, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි ඇතුළු සිනමා ක්‍ෂේත්‍රයේ සම්භාවනීය කලාකරුවෝ රැසක් එක් ව සිටිය හ.
මේ උත්සවයේදී චිත්‍රපට ගීත කිහිපයක් ගායනා කෙරුණු අතර ඒ සඳහා ඉන්දිකා උපමාලි, නෙලූඅධිකාරි, දුමාල් වර්ණකුලසූරිය හා රවීන්ද්‍ර අලගියවන්න යන ශිල්පි ශිල්පිහු සහභාගි වූහ. සංගීතයමෙහෙයවන ලද්දේ නවරත්න ගමගේ විසිනි.