ඔලිම්පික් ශූර ලැමොන්ට් යළි මතුවෙයි | සිළුමිණ

ඔලිම්පික් ශූර ලැමොන්ට් යළි මතුවෙයි

ඉතාලියේ ලැමොන්ට් මාසෙල් ජේකබ්ස් නම ඔබට මතක ඇතැයි සිතමු. 2021 පැවති ටෝකියෝ ඔලිම්පික් උලෙළේ දී මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනු ශූරයා ජේකබ්ස් ය. ඉතාලිය වෙනුවෙන් ඔලිම්පික් මීටර් 100 ඉසව්ව ජය ගත් ප්‍රථම ධාවකයා වන්නේ ද ඔහු ය. තවත් විධියකින් කියතොත් අවුරුදු කිපයකට ජේකබ්ස් ලොව වේගවත්ම මිනිසා ය.

ඔලිම්පික් ජයග්‍රහණයට පසු ඉකුත් මාස හයක් ජේකබ්ස් ධාවන පථයට පිවිසුණේ නැත. ඒ ආබාධයක් නිසා නොවේ. ඔහුගේ කළමනාකරු සහ පුහුණුකරුගේ සැලැස්මට අනුව විවේක සුවයෙන් පසු වී ක්‍රමික පුහුණුවක ට ද යොමු වූ නිසා ය. දැන් නවතාවයකින් යුතුව ඔහු තරග වදින්නට සුදානම් ය.

විවේක ගැන් වූ කාලයේ දී ජේකබ්ස්ට ඩයමන්ඩ් ලීග් තරගාවලි පහක් අහිමි වී ගියේ ය. ඔහුගේ කළමනාකරු මාසෙලෝ මැග්නානි පවසන අන්දමට අන්තර්ජාතික තරග අහිමි වූවත් ඉදිරි කාලය සදහා 27 හැවිරිදි ජේකබ්ස්ගේ සූදානම වැදගත් බවයි. 2022 ප්‍රථම වතාවට පසුගිය දා බර්ලින් හි ගෘහස්ථ තරගාවලිකට සහභාගී වී ලෝක ශූර ජේකබ්ස් මීටර් 60 ඉසව්ව ජය ගත්තේය. එම ජයග්‍රහණය වෙනුවෙන් ඔහු වාර්තා කළ කාලය තත්පර 6.51 කි.

ඔබට උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව අභිබවා යාමට හැකියාවක් තිබේදැයි ක්‍රීඩා වාර්තාකරු පසුගියදා ජේකබ්ස්ගෙන් විමසී ය. “ඒක එතරම් පහසු වැඩක් නෙමෙයි. හැබැයි මම උත්සාහයක් කරනවා මට වඩාත් උවමනා මේ අවුරුද්දේ ප්‍රධාන ධාවන තරගවලට සහභාගී වෙලා ස්ථාවර වෙන්නයි,” මේ ජේකබ්ස් දුන් පිළිතුරයි.

2018 දී දුර පැනීමේ ඉසව්වෙන් ඉවත්ව මීටර් 100 ධාවන ඉසව්වට පිවිසුණු ජේකබ්ස් ඔලිම්පික් ධාවන ශූරයා වී ක්‍රීඩා ලෝකය පුදුමයට පත් කළ ක්‍රීඩකයෙකි.

 

Comments