
ඒ 2021 වසරේ මැයි මස ඉරු දිනයකි. එංගලන්තයේ පැවැති ක්‍රිකට් තරගයකි. එය ලින්කල්න් සහ දිස්ත්‍රික්ක තෙවැනි කොටසේ තරගයකි. මුලින් ම පන්දුවට පහර දුන් නෙට්ල්හැම් ක්‍රිකට් සමාජ ඇකඩමි කණ්ඩායම ලකුණු 141 ක් රැස් කළේය. එහි දී පන්දුවෙන් දස්කම් දක්වමින් හැරී ලකුණු 27 ට කඩුලු 4 ක් දවාලීමට සමත් විය. ඔහු නියෝජනය කළේ ඔව්ම්බි ට්‍රෝජන්ස් කණ්ඩායමයි.
මෙම තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ට්‍රෝජන්ස් කණ්ඩායමට හැකි වුණි. එහි දී පිතිහරඹයෙන් දස්කම් දක්වමින් හැරී නොදැවී ලකුණු 32 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් ඇරන් බ්‍රින්ඩල් නොදැවී ලකුණු 94 ක් රැස් කිරීමට සමත් වූවාය.
මේ ආරම්භක සබඳතාවයේ විශේෂත්වයක් ඇත. එනම් හැරී 12 හැවිරිදි වියේ පසුවිය. ඇරන් 39 හැවිරිදි ය. මින් අපූරුත ම විශේෂත්වය නම් හැරීගේ ආදරණීය මව ඇරන් වීමයි. කුමන ආකාරයකින් විමසූවත් මෙය ඇත්තටම හරිම අපූරු එමෙන්ම අතිශය දුලබ අවස්ථාවකි. මන්දයත් මෙම තරගය නිල තරගාවලිය කට අදාළ ව පැවැති බැවිනි.
“එය ඇත්තටම විශේෂිත අවස්ථාවක් වුණා. නිල තරගයක දී අම්මටයි පුතාටයි ක්‍රීඩා කරන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. තවත් කාරණයක් තමයි ඔවුනට ආරම්භක කඩුල්ලට නොදැවී ක්‍රීඩා කරන්න ලැබීම. දෙමාපියෙක් විදියට ඔහු ක්‍රීඩා කරනවා බැලීම සාමාන්‍යයෙන් නොසන්-සුන්තාවයට පත් කරනවා. ඒ නිසා සමහර විට ඔහුත් සමඟ පිතිහරඹයේ යෙදීම පහසුයි කියලා මට හිතෙනවා” තරගය ජය ගැනීමෙන් පසුව ඇරන් පැවසුවා ය.
ඇරන් බ්‍රින්ඩල් යනු සාමාන්‍ය ක්‍රීඩිකාවක් නොවේ. ඇය 1999 සිට 2014 අතර එංගලන්තය නියෝජනය කරමින් ජාත්‍යන්තරව දස්කම් දැක්වූ සුවිශේෂී ක්‍රීඩිකාවකි. ඇය තුන් ඉරියව් හපනියකි. ටෙස්ට් ලකුණු 551 කි. උඩපන්දු 05 කි. එක්දින ජගත් ලකුණු 1928 කි. දවා ගත් කඩුලු ගණන 35 කි. උඩ පන්දු 40 ක් රැක ගත්තා ය. එමෙන්ම 20-20 ජගත් තරගවල දී ලකුණු 373 කි. කඩුලු 22 කි. උඩ පන්දු 13 කි.
එක්දින ලෝක කුසලාන තරගාවලියන්හි දී ත් ඇය දස්කම් දක්වා තිබුණා ය. 2005 තරගාවලියේ දී අවසන් පූර්ව සහ 2013 තරගාවලියේ දී තෙවැනි ස්ථානය හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම්වලත් ඇය ප්‍රබලත ම සාමාජිකාවකි.
ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් අනතුරුව ඇරන් පාසල් ගුරුවරියක් සහ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකාරිනියක් වශයෙන් කටයුතු කළාය. “මම තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. ඒ වගේම දරු දැරියන්ටත් ආදරෙයි. ඒ නිසා ම මම රැකියාව කරන්නේ හරිම ආසාවකින්” ඇරන් බ්‍රින්ඩල් වැඩිදුරටත් පැවසුවාය.