ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට කුඩම්මාගේ සැලකිලි | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට කුඩම්මාගේ සැලකිලි

සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා එහි ගොස් සිටින ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක මණ්ඩල සාමාජිකයන්ට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කුඩම්මාගේ සැලකිලි දක්වා ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු ඉහළ නිලධාරීන්ට තරගය නැරඹීම සඳහා පොදු ස්ථානවල සාමාන්‍ය ආසන වෙන් කර තිබෙනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට ලබා දෙන ආගන්තුක සත්කාර මට්ටම්වලට හාත්පසින්ම වෙනස්ය.

සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර සිදුවන තරග සංචාරයක දී ආගන්තුක කණ්ඩායමේ පාලක මණ්ඩල බලධාරීන් පැමිණෙන විට සත්කාරක කණ්ඩායමේ පාලක මණ්ඩල එම ආගන්තුක නිලධාරීන් හට තරු පංතියේ විශේෂ ආරාධිත අමුත්තන් හට ලැබෙන සැලකිලි දක්වන බව නොරහසකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරටට පැමිණෙන ආගන්තුක විධායක කමිටු සාමාජිකයන් හට තරග නැරඹීම සඳහා සෑම විටම වෙන් කරනු ලබන්නේ අදාළ ක්‍රීඩාංගණවල ඇති සභාපතිවරයාගේ තරග නැරඹුම් කුටි, එසේත් නොමැතිනම් ඔවුන්ට සහ සුවිශේෂි සාමාජිකයන් සඳහා පමණක් වෙන්වූ ක්‍රීඩාගාර තුළ අතිවිශේෂ සැලකුම් යටතේ තරග නැරඹීමේ පහසුව ය.

මෙලෙස ආගන්තුක කණ්ඩායමක විධායක නිලධාරීන්ට සැලකීම දෙරටේ කණ්ඩායම් සහ ක්‍රිකට් පාලක මණ්ඩල අතර ඇති හොඳ හිත පළුදු කරන්නක් වනවා සේම එය සාමාන්‍ය සැලකුම් සම්ප්‍රදාය බිඳ දැමීමක් ද වෙයි.

 

Comments