
මේ දිනවල ජාතික රූපවාහිනී නාළිකාවේ රෑන ගල වලව්වේ නිමාසා ලෙස ද , ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශනය වන හිතුවක්කාරීහි, නිසලී සහ කොළඹ ඉතාලියහි ලේකම්වරියක් ලෙස ද සිරස ටීවීහි විකාශනය වන නීල පබළුහි පොලිස් නිලධාරිනියක් ද වන රෝෂනී දිසානායක කියා දෙන්න ආදරේ රෝසී ලෙස ද සිය රංගන ප්‍රතිභාව පෙන්වන්නීය. තව ද හිරු ටීවීහි දිවිතුරා හර්ෂි, සහ දෙරණ නාළිකාවේ විකාශනය වන රෝස මල් කැලේහි ආදරවන්තියක් ලෙස එකිනෙකට වෙනස්ම චරිත නිරූපණය කරන ජනප්‍රිය චරිතයක් බවට පත් වී සිටින්නීය. මේ ඇය සිළුමිණ රසඳුනට කළ කතා බහයි.
ගමෙන් ආපු කෙල්ල දැන් වෙනස් වෙලා ද ?
මම නම් තාමත් එහෙමයි. හැබැයි එදා මම ලුණුගල මධ්‍ය මහා විදුහලේදී ඩෙස් බංකු අතුරලා වේදිකාවක් හදාගෙන රඟපාන්න ඉගෙන ගත්තේ අපිට එදා වේදිකාවක් තිබුණේ නැති නිසයි. ඒ ආපු ගමන නිසා මට අද ගොඩක් දුර එන්න ලැබුණා. මම ඒ ගැන සතුටු වෙනවා. හැමෝම කොළඹට එන්නේ පිටිසර ගම්මානවලින්. ඒ සුන්දරත්වය නම් අමතක කළොත් දුර ගමනක් යන්න හරිම අමාරුයි.
ඒ කියන්නේ ඔබ ගමට ඇලුම් කරන බව ද ?
මම කොහොමත් ගමට ආදරේ කරන ගමේ හැදිච්ච, වැඩිච්ච කෙල්ලෙක්. ඒ නිසා මම ගමට ආදරෙයි. ගමෙන් ඉගෙනගෙන ආපු දේවල් එක්ක තමයි මේ ගමන යන්න ලේසියෙන්ම පුළුවන්. ඒ ආපු හැමෝම හෙමින් ගමනක් යන අය; මමත් එහෙමයි.
මොකක්ද මේ හෙමින් ගමනක් යනවා කියලා කියන්නේ ?
මම පාසල් කාලේ නිමවෙලා හෙදියක් ලෙස පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සෙ මම හෙදියක් ලෙස පෞද්ගලික රෝහලක සේවය කළා. ඔය ඉන්න අතරතුරේ මට මියුසික් වීඩියෝ එකක රඟපාන්න ජනප්‍රිය ගායන ශිල්පිනී සුභානි හර්ෂණී මුතුකුමාරණ කතා කළා. එදා එතැනින් පටන් ගත් මියුසික් වීඩියෝ නිසා මම දුර ගමනක් ආවා. සුභානි එදා මට කතා නොකළා නම්, අද මට මේ ගමන එන්න ලැබෙන්නේ නැහැ.
ඔබේ ජීවිතයට ඉතා සමීප චරිත කීපයක් මේ දිනවල විකාශනය වෙනවා. අපි ඒ ගැන කතා කරමු ?
ගොඩක් චරිත අපේ ජීවිතවලට සමීප චරිතයි. නමුත්, ඒවා එකිනෙකට වෙනස් වෙනවා. කොළඹ ඉතාලියේ ලේකම්වරියත්, නීලපබඑ පොලිස් නිලධාරිනිය සහ රෑනගල වලව්වේ නිමාසා කාගෙත් කතාබහට ලක්වෙන චරිත බවට පත් වෙලා. දිවිතුරා නාට්‍යයේ හර්ෂි, කියා දෙන්න ආදරේ රෝසි, හිතුවක්කාරීහි නිසලි, රෝස මල් කැලේහි සේපාලිකා ආදරවන්තියක් යන සියලු චරිත අදට සමානයි.
මං ඒ චරිත සියල්ලම කළේ හරි ආසාවෙන්. ඒ නිසා ඒ චරිත සියල්ලම ප්‍රේක්ෂකයා වැලඳ ගත්තා. මට ඇත්තටම සතුටුයි.
චරිත බාර ගනිද්දී තෝරා බේරා ගන්නවාද?
එහෙම මම තෝරා බේරාගෙන චරිත රඟපාන්නෙ නැහැ. මට රඟපාන්න පුළුවන් කියලා හිතන ඕන චරිතයක් මම රඟපානවා.
මම කරන චරිතයෙන් සමාජයට ප්‍රයෝජනයක් වෙනවා නම්, මම ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා. ඒක නිසා වෙන්නැති මට මේ හැම චරිතයක්ම ලැබෙන්න ඇත්තේ.
බොහෝ දෙනා චරිත තෝරා බේරා ගැනීමක් කරනවා නේද ?
එහෙම නෑ කියන්නත් බෑ. ඔව් කියලා කියන්නත් බෑ. මේ දෙකම තියෙනවා. එහෙම තෝරා බේරාගෙන රඟපාන්නට එනවා නම් ලැබෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒ නිසා තමයි ගොඩක් දක්ෂයන්ට අවස්ථාව අහිමි වෙන්නේ. ඕනෑම චරිතයක් කරන්න දක්ෂතාව තියෙන අයට අවස්ථාව හිමි වෙනවා. ඒක එක පැත්තකින් හොඳ අවස්ථාවකුත් වෙනවා.
ඔබ ජනප්‍රියත්වය පසු පස හඹා යන කෙනෙක්ද ?
මම ජනප්‍රිය නිළියක් වෙන්න නෙවෙයි රඟපාන්නේ. චරිතයට සාධාරණයක් කරලා ප්‍රේක්ෂකයාව සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි ජනප්‍රියත්වය කියන්නේ. නිළියක් ලෙස මං බලාපොරොත්තු වෙන්නේ දක්ෂ නිළියක් හා හොඳ නිළියක් කියන නම දිනා ගැනීමටයි.
ටෙලිනාට්‍යයට හා සිනමාවට යොමු වුණාට පස්සේ වේදිකාව මග හැරුණා ද ?
එහෙම නැහැ. මම වේදිකාවට ගොඩක් ආසයි. මම වේදිකාවෙන් තමයි මුලින්ම රංගනයට එන්නේ. නළුවකුට හෝ නිළියකට තියෙන හොඳම තැනත් වේදිකාවයි. ඒ නිසා මම මේ තුනම සමබරව කරගෙන යනවා.
දැනට ලැබුණු චරිත ගැන සෑහීමකට පත් වෙනවාද ?
මේතාක් කරපු චරිත සියල්ල එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ සියලු චරිතවලට මම කැමතියි. හැබැයි මම සිනමාවේ පෙම්වතියක් වෙන්න නම් හරි ආසාවෙන් ඉන්නේ. කොටු වෙච්ච චරිතවලට මම කැමති නැ. විවිධ චරිත රඟපාන්නයි මම කැමති. ඒ වගේම මම කැමැති නෑ ආවා ගියා කියන චරිතයකට. ඒ නිසා මම කැමතියි නමක් තියෙන චරිතයක් වෙන්න.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද ?
චිත්‍රපට තුනක් තියෙනවා එන්න. චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ සඳ දිය බිඳු වික්ලෝවෝ අධ්‍යක්ෂණය කරපු අබිනික්මන සහ රජිත හිරාන් අධ්‍යක්ෂණය කළ rider යන සිනමා පට. ඒ වගේම සරත් ධර්මසිරිගේ අප්පච්චි සහ රොෂාන් පිලපිටිය අධ්‍යක්ෂණය කළ මොනර දැල කෙටි චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. මීට අමතරව ටෙලි නාට්‍ය තුනකුත් කරලා තියෙනවා. සිහිනයකි අප්පච්චි, දිට්ඨධම්ම වේදනීය අවකාශය යන ඒවා. මේවා ඉදිරියේදී බලාගන්න පුළුවන්.
ඔබට මව්පියන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මව්පියන්ගෙන් මට උපරිම සහයෝගයක් ලැබෙනවා. මම සාමාන්‍ය පවුලක කෙල්ලක් නිසා ගමන ටිකක් දුෂ්කරයි. මගේ අම්මා රජයේ රැකියාවක් කරන්නේ. තාත්තා කුඩා ව්‍යාපාරයක් කරනවා. නංගි තාම පාසල් යනවා. අපි හතර දෙනා හරිම සතුටින් ජීවත් වන්නේ අපේ පුංචි ගෙදර.