
පෙති ගෝමර, මල් ගෝමර කියමින් බෙහෙත් නොකර ඉන්න එපා
අවටින් හොයා ගන්න පුළුවන් අත්බෙහෙත් වර්ගත් බෙහෙවින් තිබෙනවා
ලස්සන දීප්තිමත් සමක් කියන්නෙ හැමෝගෙම වගේ සිහිනයක්. අපේ සම නිරෝගීව පවත්වා ගැනීමට අප කොතරම් දේවල් කරනවද? නමුත් නොසිතුව වෙලාවක ඔබේ සම අවලස්සන කරන කුමක් හෝ දෙයක් සිදුවුණොත්? ඔබගේ සමේ දිලීර ආසාදනයක් නිසා විසිරී තිබෙන ළා පැහැති පැල්ලම් අළුහම් ලෙස අපිට හැඳින්විය හැකියි. අතීතයේ සමේ පෙති ගෝමර හෝ මල් ගෝමර ඉහිනවා යනුවෙන් අළුහම් හඳුන්වා දී තිබුණත් වර්තමානයේ නම් එය හඳුන්වන්නෙ රෝගී තත්වයක් ලෙසයි. ඉතින් අද සිළුමිණ රසඳුන රූ රහස් ඔස්සේ ඔබට ගෙන එන්නෙ අළුහම් පිළිබඳවයි. මේ ගැන ඔබව දැනුම්වත් කරන්නෙ සිංගප්පූරුව, මාලදිවයින, නෙදර්ලන්තය වගේම ශ්‍රී ලංකාවේහිද රූපලාවණ්‍යය පිළිබඳ පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනී ආරෝෂි කෞෂල්‍යා හේරත් ය.
අද අපි කතා කරන්නෙ කවුරුත් දන්න අළුහම් ගැනයි. ඇත්තටම අළුහම් කියන්නෙ දිලීර අසාදනයක්. බොහෝ පිරිසක් ඒ කියන්නෙ ගැහැනු, පිරිමි, පොඩි ළමුන් භේදයක් නැතුවම මේ අළුහම් වැලඳීමෙන් සමේ නිරෝගී බව නැතිව මානසික පීඩා විඳිනවා. තරබාරු අය මෙයට ගොදුරු වෙනවා වැඩි යැයි මතයකුත් තිබෙනවා. එහෙත් මෙය මානසිකව වැටෙන්න හේතුවක් නොවෙයි. මොකද මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. සමහර අළුහම් කසනවා. සමහර අළුහම් එහෙම කසන්නේ නැහැ. නමුත් මේවා ඉතාමත්ම ඉක්මනින් සුවකර ගන්නට ඔබට පුළුවන්. මෙය සමේ රෝගයක් වගේම මිනිසුන්ගෙ සහ සතුන්ගෙ ශරීරයේ තිබෙන දිලීරයක්. මෙම දිලීරය ඉක්මනින්ම ශරීරයේ පැතිර යනු ලබනවා.
අළුහම් විවිධ වර්ග දකින්නට ලැබෙනවා. සුදු පාටට හුරු සමේ උඩට ඉස්සුණු අළුහම් වර්ග එසේම කළු පාට කැසීමෙන් පසු කොරපොතු යන ලෙස අළුහම් වර්ග තිබෙනවා. මේ මොන අළුහම් වර්ගත් එකම ගණයේ දිලීර වර්ගයි. සමේ තත්ත්වය අනුව මේ දිලීරය සමේ වර්ධනය වන වේගය වැඩියි. සමේ තෙතමනය තිබෙනවා නම් ඉක්මනින් මෙය කෙනෙක්ගෙන් කෙනෙක්ට ඉතා ඉක්මනින් බෝවෙනු ලබනවා. මෙයට අපගේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණය ද බලපානු ලබනවා. ඒ වගේම පිරිසිදුකම ඉතාමත්ම වැදගත්.
අළුහම් බෝවන ක්‍රම ලෙස බොහෝ සෞඛ්‍යවත් නොවන ලෙස භාවිත කරනු ලබන උපකරණ හැඳින්විය හැකිය. එනම් පොදුවේ භාවිත කරන උපකරණ එනම් කොට්ට, ඇඳ ඇතිරිලි, තුවා, මාරු කරගෙන අඳින ඇඳුම් ආදිය දක්වන්න පුළුවන්.
ඒ වගේම අප ගන්නා ආහාරවල ප්‍රතිශක්තිය දුර්වල වුණාමත් අළුහම් බෝවෙනවා. ඒ වගේම අපි බොහෝ වෙලාවට ඇඟ පිරිසිදු කරගත්තම ඇඟ හොඳට පිසදමන්නෙ නැත්තම් ඇඟෙහි තෙතමනය තිබෙනවා නම් ඉතා ඉක්මනින්ම අළුහම් පැතිරෙන්න පුළුවන්.
ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට ජානමය වශයෙන් අළුහම් පැතිරීමේ ඉඩකඩ වැඩියි. ශරීරය හිරු එළියට නිරාවරණය නොවීම නිසාත් අළුහම් ඇතිවෙනවා. සිරුරේ ඇති අධික උෂ්ණාධික බව නිසාත් මෙම අළුහම් ඇතිවෙන්න පුළුවන්.
අළුහම් අපේ ශරීරයේ එන ප්‍රදේශ තිබෙනවා. ඒ කියන්නෙ බොහෝ වෙලාවට බෙල්ලෙ, පිටේ, කිහිලි ප්‍රදේශවල, ඉකිලිවල ගොඩක් වෙලාවට අළුහම් දකින්නට පුළුවන්. නමුත් කුඩා අයගෙ නම් ඇඟ පුරාම බොහෝ වෙලාවට අළුහම් පැතිරෙන සීමාව වැඩියි. සමහර අයගෙ මුහුණේ පවා අළුහම් පැතිරෙනවා.සමහර අය ඒවා පණුලප කියලා හිතුවත් එවැනි දේවල් අළුහම් කියලා හඳුන්වන්නට පුළුවන්. අළුහම් මුහුණෙ ආවම ඇත්තටම අපේ මුහුණෙ හම වෙනස් වෙනු ලබනවා. නමුත් අපි උනන්දුවෙන් ඒ සඳහා යොමු වන්නෙ නැහැ.
අළුහම් කියන්නෙ දිලීරයක් නිසා එයට ප්‍රතිවිරුධ දිලීර නාශයක් භාවිත කරන්නට අවශ්‍යයි. ඒ සඳහා සම පිළිබඳ ව විශේෂඥතාවක් සහිත වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබා ගන්න. අළුහම් තිබෙන ස්ථානය සියයට සියයක් හොඳවන තුරු අපි ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඒ වගේම අපි ප්‍රතිකාර කර ටික කාලයක් ගිය පසු නතර කිරීම සාමාන්‍ය පුරුද්දක් වුණත් නැවත ටික කාලයකින් ඒ දිලීර නැවත එම ස්ථානයෙන්ම හට ගන්නට පුළුවන්. ඒ නිසා තමයි නිසි ප්‍රතිකර්මයක් එයට කරන්න කියන්නෙ.
ඒ වගේම විවිධ අත් බෙහෙත් වර්ග තිබෙනවා. ඒ වගේම විටමින් සී කියන්නෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණ වැඩි කරන විටමින් වර්ගයක් නිසා විටමින් සී අළුහම්වලට බොහොමයක් හොඳයි.
අළුහම්වලට සිදුකළ හැකි අත්බෙහෙත් වර්ග ද තිබෙනවා. උදාහරණයක් විදියට ඇත්තෝර දෙහි ඇඹුල් සමඟ අඹරා ගල්වන්නට පුළුවන්. වියළුණු පසු සෝදා හැරිය යුතුයි. ඒ වගේම පෙතිතෝර, අමුකහ දෙහි සමඟ මිශ්‍ර කර අඹරා ගල්වන්න පුළුවන්. වියළුණු පසු මේවා සෝදා හැරිය යුතුයි. ඒ වගේම සුදු හඳුන් දෙහි ඇඹුලෙන් අඹරා ගැල්වීමත් හොඳ ප්‍රතිකාර ක්‍රමයකි.
පේර කොළ, දලු ඉස්ම හොඳින් අලුහම් මත ආලේප කිරීමෙනුත් අළුහම් මර්දනය කරගන්නට හැකිය. කොහොඹ කොළ , ගන්සූරිය, අමුකහ එකට කොටා අළුහම් මත ආලේප කිරීමත් ප්‍රතිඵලදායකයි.
ඒ වගේම හෙන්දිරික්කා කොළ පොල්තෙල් වලින් අඹරා ආලේප කිරීමත් මේ සඳහා යොදන ප්‍රතිකර්මයක් වන අතර, ඔබට මේ අතරෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍යයක් යොදා ගෙන මේ දිලීරය පාලනය කර ගැනීමට හැකිය.
නමුත් ඔබට වඩාත්ම සුදුසුම දේ නම් මෙය දිලීරයක් නිසා වෛද්‍යවරයකු මුණ ගැසී ප්‍රතිකර්ම ලබා ගැනීමයි. පෙතිගෝමර, මල්ගෝමර වැනි දුර්මත නිසා මෙකී දිලීරයෙන් හමට වෙන හානිය වළක්වා ගන්නට නම් අපේ හමේ වෙනස්කම් ගැන අපි මීට වඩා දැනුම්වත් විය යුතුයි.