ඉන්දීය සුපිරි තරු දෙකක් ලංකාවේ | සිළුමිණ

ඉන්දීය සුපිරි තරු දෙකක් ලංකාවේ

ආදිත්‍ය රෝයි කපූර් ඇතුළු නළු නිළියන් සහ 180කට ආසන්න  නිෂ්පාදන කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත්තේ  චිත්‍රපටයක රූගත  කිරීම් සඳහා

අනිල් කපූර්  ඇවිත් තියෙන්නේ සිය පවුලේ  සාමාජිකයන් සමඟ නිවාඩුවක් ගත කරන්න

 

ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 65 වියැති සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් සිය පවුලේ සාමාජිකයන් සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. බෙන්තොට වෙරළේ අසිරිය විඳින ආකාරයත් එහි නිදහසේ ඇවිදිමින් විනෝදවෙමින් සිටින ආකාරයත් සිය ට්විටර් ගිණූම ඔස්සේ ඡායාරූප කිහිපයකින් සිය රසික ප්‍රජාව වෙත මුදා හැර ඇති ඔහු ලංකා මුහුදු තීරයේ සිය පවුලේ සාමාජිකයන් සමඟ අසිරිය විඳිමින් සිටියි. ඒ අතරම ඔහුගේ තාරුණ්‍ය සැමදා රැක දෙන දෛනික ව්‍යායාම කිරීමටත් ඔහු අමතක කර නැහැ. සිය ප්‍රේක්ෂකයන් සමඟ තමා ලංකා මුහුදු තීරයේ ව්‍යායාම කරන දසුන් කිහිපයක් ද ඔහු ට්විටර් මාධ්‍ය ඔස්සේ ලෝකයා සමඟ බෙදා හදා ගෙන තිබෙනවා.

 

ඒ වගේම ඔවුන් පිරිස ශ්‍රී ලාංකික විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෙෆ්රි බාවාට අයත්ව තිබූ නිවසක් නැරඹීමට ද ගොස් තිබිණි. දෙස් විදෙස් ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන ජෙෆ්රි බාවාගේ විශිෂ්ට නිමැයුම් ගැන ඔහුගේ අවධානය නිබඳව ම ලැබී තිබේ. ජෙෆ්රි බාවා වතු යායේ අරලිය ගස ඉදිරිපිට අනිල් කපූර් සමූහ ඡයාරූපයකට පෙනී සිට තිබෙනවා.

ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අනිල් කපූර් ගේ නිල ට්විටර් ගිණුමෙනි.

මේ අතර ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය විදහා දක්වමින් "ද නයිට් මැනේජර්හි" න්දි අනුවර්තනයේ සිදුවීම් කිහිපයක් රූගත කිරීමට ආදිත්‍ය රෝයි කපූර් ඇතුළු නළු නිළියන් සහ 180කට ආසන්න නිෂ්පාදන කණ්ඩායමක් ද මෙරටට පැමිණ තිබෙනවා. කොවිඩ් හමුවේ අඩපණ වී තිබුණු බොහෝ ක්ෂේත්‍ර යළිත් මෙසේ පණ ගසා ඒම ගැන මේ සංචාර හා රූගත කිරීම් අපට බලාපොරොත්තු සපයනවා.

මෙම පිරිස මාසයකට ආසන්න කාලයක් මෙරට රැදී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොවිඩ් හමුවේ වුව ද මෙවැනි බලාපොරොත්තු සහගත සංචාරක පැමිණීම් අප රටට උත්තේජනයක් බැව් සඳහන් කළ යුතුයි. තම පවුලේ හිතවතුන් සමඟ අනිල් කපූර් ලංකාවේ සිරි අසිරි බලමින් නිදහසේ ගතකරන්නට පැමිණීම ගැන මෙරට ඔවුන්ගේ රසික ප්‍රජාව ද දැඩි අමන්දානන්දයට පත් වී තිබෙනවා.

 

Comments