දිය යට ගිනි සිළු දල්වා ඇරඹුණු චීනයේ ශීත ඔලිම්පික් උලෙළ | සිළුමිණ

දිය යට ගිනි සිළු දල්වා ඇරඹුණු චීනයේ ශීත ඔලිම්පික් උලෙළ

 

‘ශීත ඔලිම්පික් උලෙළට ප්‍රථම ඒ සඳහා නිලධාරීන් කිසිවෙක් එවනු නොලබන බව අමෙරිකාව ප්‍රමුඛ හිතමිත්‍ර රටවල් රැසක් කියා සිටියේ ය. ඒ සමඟ චීන විරෝධයක් ඇති කිරීම ඔවුන්ගේ අපේක්ෂාව විය. භූ දේශපාලනික කාරණාවන් සමඟ ක්‍රීඩාව ඇමිණුන ආකාරය මෙහිදී ප්‍රදර්ශනය විණි. මේ අතර චීනය ද ශීත ඔලිම්පික් උලෙළ ආරම්භ කළේ වෙනස්ම ආකාරයකිනි. එය දිය යටින් ගින්දර ගෙන ගොස් දැල්වීමකට සමාන නොවන්නේ ද?‘

දිය යටින් ගින්දර ගෙන මිනිස්සු අප සමාජයේ විරල නොවෙති. නමුත් දිය යටින් ගින්දර ගෙන යන රොබෝවරු ඔබ දැක නැතුවා විය හැකිය. මේ දිනවල චීනයේ පැවැත්වෙන ශීත ඔලිම්පික් උලෙළේ දී එවන් අපූරු දර්ශනයක් ක්‍රීඩාලෝලීන්ගේ නෙත ගැටුණි. ඒ ඔලිම්පික් තරගාවලිය ආරම්භ කිරීමට දින දෙකකට මත්තෙන් එනම් පෙබරවාරි 2 වැනි බදාදා දින ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමේ කාර්යයට මුල පිරූ අවස්ථාවේ ය.

වසර 125 ක් පැරණි, නූතන ඔලිම්පික් ඉතිහාසය තුළ දිය යට දී ඔලිම්පික් ගිනි සිළුව දැල් වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය. යොන්ඩින් නම් ගංගාව ආශ්‍රිතව මෙම කාර්යය සිදු කෙරුණු අතර දිය යටින් ගමන් කළ හැකි උභය ජීවි රොබෝවරු දෙදෙනෙක් මීට එක් කිරීමට එරට සංවිධායකයන් කටයුතු කර තිබිණි.

බීජිං ශීත ඔලිම්පික් උද්‍යානයේ සිට පන්දම්කරුවෙක් දැල්වූ ගිනි සිළුවක් රොබෝවරයෙකුට පිරිනැමූ අතර එම රොබෝවරයා විසින් එම ගිනි සිළුව යොන්ඩින් ගංගාවේ පතුළට රැගෙන යනු ලැබීය. ඉන්පසු තවත් පසෙකින් නොදැල්වූ ගිනි සිළුවක් අතින් ගෙන රොබෝවරයෙක්, දැල්වූ ගිනි සිළුව රැගෙන එන රොබෝවරයා හමුවූයේ ය. ඒ යොන්ඩින් ගංගාවේ පතුළේ දී ය. එහි දී ඔවුන් දෙදෙනා දැල්වෙන ගිනි සිළුවෙන් අනෙක් සිළුවද දල්වනු ලැබීය.

දුම් රහිත සුවිශේෂී ව නිපද වූ පරිසර හිතකාමී වායුවක් භාවිත කරමින් මෙහි ගින්දර නිපදවීම සිදු කර තිබුණි. චීන රජය යටතේ ක්‍රියාත්මක වන China Aerospace Science and Industry Corporation හි තුන්වැනි ඇකඩමිය, තවත් පර්යේෂණ ආයතන 31 ක ගේ සහය ඇතිව මෙම කාර්යය සිදු කර තිබුණේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

 

Comments