
දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කළ ජාතික දැල්පන්දු තරගාවලිය ජය ගනු ලැබුවේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි. එහි අනුශූරතාව තියුණු තරගයකට පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිමි කරගනු ලැබිණි. මේ එම තරගාවලිය ජය ගත් හා අනුශූරතාව දිනූ කණ්ඩායම් පුහුණුකාරිනියන් හා නායිකාන් දෙදෙනා ‘ක්‍රීඩා‘ වෙත දැක්වූ අදහස් ය.
සති හතරක් පුහුණු වෙලා අපි ශූරතාව දිනුවේ - ශෂිකා සමරසිංහ
දැල්පන්දු ක්‍රීඩිකාවන් අඩු වුණත් අපි ලැබූ ජය ගැන සතුටුයි - දර්ශිකා අබේවික්‍රම
ජයග්‍රහණය හිමි විය යුත්තේ අපිටයි - රූබා සුමිත් ජයලාල්
අපි පුහුණුවීම් වෙනස් කරනවා - දුලනි එරන්දිකා
ශෂිකා සමරසිංහ
(හැටන් නැෂනල් දැල්පන්දු පුහුණුකාරිනිය)
ශෂිකා සමරසිංහ කලක් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ය. දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක වූ ඇය දැන් පුහුණුකාරිනියක් ලෙස දක්ෂතා දක්වමින් සිටී. මෙවර ජාතික ශූරතාව ජය ගත් හැටන් නැෂනල් දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය වන ඇය හා ‘ක්‍රීඩා‘ පැවැත්වූ සුහද හා සංක්ෂිප්ත සංවාදයකි මේ.
මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබේ කණ්ඩායම එක්ක ඔබ කොපමණ කාලයක් පුහුණුවීම් කළා ද ?
ඇත්තටම කොවිඩ් තත්ත්වය හමුවේ අපිට පුහුණුවීම් කරන්න වුණේ සුමාන 4 යි. ඒකෙනුත් සුමානයට දවස් 2 ක් විතරයි අපිට පුහුණුවට අවසර තිබුණේ. ඒකෙනුත් අපිට පුහුණුවීම්වලට ලැබුණේ දින බාගය යි.
ජයග්‍රහණය ගැන මොනවද හිතෙන්නේ ?
අපි පිට පිට දෙවතාවක් මේ ශුරතාව දිනපු කණ්ඩායමක්. ඒ නිසා මෙවරත් අපි ජයග්‍රහණය බලාගෙන තමයි ආවේ. අපිට දැල්පන්දුවට පළපුරුදු ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේම දැල්පන්දුවට නවක පැසි පන්දු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ද ඉන්නවා. හැම තප්පරයක ම සියලු ම ක්‍රීඩිකාවන් හොඳින් සෙල්ලම් කළා.
අපිට පසුගිය තරගාවලියේ දී නම් කිසි අභියෝගයක් තිබුණේ නැහැ. නමුත් මෙවර ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල අපිට විශාල අභියෝගයක් වුණා. අපේ ළමයි කායික ශක්තිය රඳවා ගෙන මොළෙන් තමයි ජයග්‍රහණය තහවුරු කර ගත්තේ මට ඒ ගැන හරි සතුටුයි.
දර්ශිකා අබේවික්‍රම
(හැටන් නැෂනල් බැංකු පිලේ නායිකා)
ඇත්තට ම අපි ලබපු මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් හරිම සතුටුයි . මොකද කණ්ඩායමක් වශයෙන් අපිට දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ අඩුවක් තිබෙද්දී ලබා ගත්තු ජයක් නිසා. කොහොම හරි එයාලගේ දක්ෂතා එක්ක කොවිඩ් තත්ත්වය හමුවේ අපි ලබාගත් ජයග්‍රහණය ඉතා විශිෂ්ටයි.
අපිට පහසුකම් සැපයූ හැටන් නැෂනල් බැංකු සභාපති ඇතුළු සියලු දෙනාට කණ්ඩායම වෙනුවෙන් මා ස්තුතිය ප්‍රකාශ කරනවා.
දර්ශිකා අබේවික්‍රම (නායිකා), ගයන්ජලී අමරවංශ (උප නායිකා), උමංගාදි සොයිසා, දුලංගි වන්නිතිලක, හසීනා ෆලීම්, ගයනි දිසානායක, මල්මි හෙට්ටිආරච්චි, පඹසරා ගුණසේකර, ඉමාෂි සුබසිංහ, හංසි බණ්ඩාර, ජයන්ති සෝමසේකර (කණ්ඩායම් කළමනාකරු)
රූබා සුමිත් ජයලාල්
(ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකාරිණිය)
අපිට තමයි ස්ථිරව ම ජයග්‍රහණය හිමි වෙන්න තිබුණේ. මේ තරගයේ දී අපේ විදින්නියන් අතින් විදුම් 16 ක් අසාර්ථක වුණා. අපේ කණ්ඩායම යුද හමුදා දැල්පන්දු කණ්ඩායමත් සමඟ තරග කර පැය දෙකකටත් පෙර තමයි අවසන් මහා තරගයට මුහුණ දෙන්න වුණේ. ඒ නිසා වෙහෙස වැඩි කමට ඒවා ගිලිහෙන්න ඇති. ඒ විදීම් ටික තිබුණා නම් අපි තමයි ජයග්‍රහණය කරන්නේ. අපේ ආරක්ෂක අන්තය හොඳටම තිබුණා.
අවසන් මහා තරගයේ දී නියමිත කාලය අවසන් වන විට දෙපිලම සම තත්වයේ ලකුණු ලබා ගෙන තිබුණු නිසා දැඩි තරග උණුසුමක් ඇතිව තිබුණා. මෙහිදී ක්‍රීඩා ලෝලීන්ගේ ඝෝෂාව තීව්‍ර වී තිබුණු අවස්ථාවේ ම යළි තරගය ආරම්භ කළා. ඒ එක්කම සෙන්ටර් පාස් එකක් නියමිත කාලය තුළ වෙනත් ක්‍රීඩිකාවකට පාස් කරන්න බැරි වුණා. ඒකට හේතු වුණේ ක්‍රීඩා ලෝලීන්ගේ ඝෝෂාකාරී තත්ත්වය නිසා විනිසුරුවරියගේ සංඥාව එම ක්‍රීඩිකාවට නොඇසීම. ඒ නිසා පන්දුව ප්‍රතිවාදී පිලට දෙන්න වුණා. ඔන්න ඔහොම තමයි අන්තිම තප්පරේ අපිට පරාජය වෙන්න වුණේ. අවසන් තරගයේ විනිශ්චයට අපි චෝදනා කරන්නේ නෑ.
අපි හොදට පුහුණු වුණා. ගුවන් හමුදා පිල ආරක්ෂක සේවා ශුරතාව වසර 09 ක් හිමිකර ගෙන තිබෙනවා. අපි මෙවර පරාජය ලැබුවත් පුහුණුවීම් නවත්වන්නේ නැහැ. අපිට මේ තරගය හොඳ අත්දැකීමක්.
දුලනි එරන්දිකා
(ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ නායිකා)
ඇත්තට ම අපි හිටිය තත්ත්වයත් එක්ක කාලයත් එක්ක හොඳම ගේම් එක තමයි මේක. දෙපාරක් සම වුණා. ඉදිරියේ දී අපි පුහුණුවීමේ සිට වෙනස් කරනයි ඉන්නේ. ඒ වගේම ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කරන ස්ථාන කිහිපයක් වෙනස්වීම් කරන්න වෙනවා. මේ අවස්ථාවේ ගුවන් හමුදාපතිතුමා ඇතුළු දැල්පන්දු සභාපතිතුමා, ලේකම්තුමා මෙන්ම ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය වෙත කණ්ඩායම වෙනුවෙන් මා ස්තුතිය පිරිනමනවා.
පුහුණුකාරිනී සුමිත් ජයලාල්, දීප්ත සූරිය බණ්ඩාර (සහාය පුහුණුකරු ) එන්. කුමාරතුංග (ශාරීරික යෝග්‍යතා භාර), දුලනි එරන්දිකා (නායිකා), තිවංකා පෙරේරා (උප නායිකා), චතුරංගි ජයසූරිය, සුරේකා කුමාරි, තිලිනි වත්තේ ගෙදර , දුලංගා ධනංජි, පූර්ණිමා වෛද්‍යරත්න, මධුමාලි සිංහබාහු, අකිලා සංජි, රුක්ෂලා හපුආරච්චි, රෂ්මි පෙරේරා, ජමුදි වික්‍රමරත්න, ඔමේදා කරුණාරත්න ( කළමනාකරු)