බිරියට බොරු කළ වීරයෝ ජීවිත ඇතුළේ හුළං බහින හැටි | සිළුමිණ

බිරියට බොරු කළ වීරයෝ ජීවිත ඇතුළේ හුළං බහින හැටි

මම කවදත් උත්තේජක වලට විරුද්ධයි. ඒ නිසා මම කවදාවත්ම දැනුවත්ව තහනම් උත්තේජක අරගෙන නෑ.

‘කරන කලට පව් මිහිරිය මී සේ යැයි කියන්නේ බෞද්ධ දර්ශනයේය. එය සෙසු ආගමික දර්ශනවලදීත් බොරුවක් නොවන්නේ කිසිදු ආගමක් වංචාව, දූෂණයට ඉඩක් ලබානොදෙන හෙයිනි. වඩා යහපත් සමාජයක් බිහිකරනු රිසියෙන් බිහිවූ ආගමික සංස්ථාව තුළ අපේක්ෂා කරනුයේ ගැටුම් අඩු සමාජයක් වර්ධනය කරවීම නිසා එවැනි ප්‍රතිපදාවන් සංස්කෘතිකාංග වශයෙන් එක්වන්නට ඇතැයි සිතිය හැකිය. එහෙත් එක් තැනක නොසිටින මිනිස් මනස කාන්තාවන් ඇසුරු කිරීම පිළිබඳ සලකද්දී ලෝකය තුළ කූප්‍රකට උදාහරණ රැසක් සොයාගැනීමට අපහසු නැත. යම් සම්බන්ධතාවයක් වේ නම් එය අතිශය විශ්වසනීය විය යුතුය. එසේ නොවන සම්බන්ධතා අවසානයේ ශෝකයේ මුවදොරට වැටේ. කාන්තාව හා නිරන්තරයෙන් කියැවුණු නමක් වූ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් සිදුකළ පාපොච්ඡාරණයක් ඇසුරෙනි.‘

එදා මුළු රෑම මට නින්ද ගියේ නෑ. කම්පනය මකා ගන්න මම හොඳටම බිව්වා. ‘ යැයි කීවේ පනස් දෙහැවිරිදි වියේ පසුවන ලොව හිටපු විශිෂ්ට පා දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන් ය. .

එම සිදුවීම සිදුව තිබුණේ 2005 වසරේ එක්තරා දිනයක දී ය. ඒ වනවිට ඔහු ලීෂ් හර්ලි නම් සුරූපිනිය පසුපස යන බවට තම බිරිය සිමොන් දැන ගත්තායින් පසු මෙයට ඔහු මුහුණපා තිබුණේ ය.

තම සැමියා තමන්ට හොරා විවිධ පෙම්වතියන් පසුපස ලුහුබඳින සෙල්ලක්කාර ජීවිතයක් තවදුරටත් පවත්වාගෙන යන බවට පළවූ මාධ්‍ය වාර්තා ඇයට ඔහු එපා කර තිබිණි. ඇයට මේ කතා කණ වැකුණු සැණින් ඈ ඔහුගෙන් වෙන්වන බව කීවාය.

‘එදා මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා. ඒක නිකං ඔලුව උඩට මොනවා හරි බර දේවල් ටිකක් වට්ටවනවා වගෙයි මට දැනුණේ. මම වෝන්ව සොයාගෙන ආවේ අලුත් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු තියාගෙන. ඒත් එයා වෙන ගැහැණු පස්සෙන් යනවා කියද්දී මාව ගිනිගත්තා. එතැන ලෝරා සේයර්ස් කියන සිසුවිය වගේම කෙරී කොලිමෝර් කියන දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ගේ නමත් කියැවුණා. මේක අහපු ගමන් මම කළේ ඔහුගෙන් අයින් වෙන එක.‘ සිමොන් පසුව හෙළිදරව් කළා ය.

මෙම සිදුවීමෙන් ෂේන් වෝන්ගේ සමස්ත ජීවිතයම පාළු විණි. අකුණු පහර ලක් වූ භූමියක් සේ කඩා වැටුණේය. මහා වීරයකු ලෙස පෙම්වතියන් ඇසුරු කරමින් ගත කළ කෙළිලොල් යැයි සිතා සිටි ජීවිතය විසින් තමා ඇද දැමූ ඉරණම ගැන දෙස් දෙවොල් තැබුවේ ය. හැඬුවේ ය, වැළපුණේ ය.

ෂේන් මේ බව කීවේ තමන් සම්බන්ධයෙන් සැකසෙන වාර්තා වැඩසටහනකට කරුණු දක්වමිනි. ඒ වැඩසටහන ‘ෂේන් - ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු නරක ළමයා‘ යනුවෙන් නම්කර තිබිණි.

‘මේ සිද්ධියේ නරකම දේ තමයි මගේ දරුවන්ට සිදුවූ බලපෑම. ඒක මගේ වරද නිසා සිදු වූ බව මම පිළිගන්නවා.‘ වෝන් පවසන්නේ ය.

එය දස වසරක් තිස්සේ සිමොන් හා ෂේන් ගේ යුග ජීවිතයේ අවසානය විය. අතීතයේ සිදුකළ විශ්වාසය කඩකිරීම් මෙතැනදී වේගයෙන් මතුව ආයේ ය. ඒ අතර ඔහු ඊට පෙර බ්‍රිතාන්‍ය සාත්තු සේවිකාවකට යැවූ අසභ්‍ය කෙටි පණිවුඩ සම්බන්ධයෙන් පවා සිහිපත් විණි.

බිරිය දික්කසාද වීමෙන් පසු වෝන් රංගන ශිල්පිනියක් සමඟ විවාහ ගිවිසගත්තේ ය. තවත් සම්බන්ධතා රාශියකට මුල පිරීය. කෙසේ නමුත් රංගන ශිල්පිනිය හා පැවැති පෙම් සම්බන්ධතාවය ද 2013 වසර වනවිට බිඳ වැටිණි.

එසේම වෝන් හා බුකී කරුවකු අතර සිදුවූයේ යැයි කියන ගණුදෙනුව සම්බන්ධයෙන්ද ප්‍රශ්න කෙරිණි. ඒ 1995 වසරේ දී ක්‍රිකට් තරගයක් පැවැත්වෙන තණ තීරුව සම්බන්ධයෙන් ඉන්දීය බුකී කරුවකුට තොරතුරු ලබාදීම හේතුවෙනි. ඒ වෙනුවෙන් පවුම් හය දහසක් ඔහු ලබාගත් බව පසුව හෙළිවිය. ‘එය මම කළේ තරග පාවාදීමක් වශයෙන් නොවෙයි. මම තරග පාවාදෙන්න කටයුතු කර නැතැයි ඔප්පු වුණු නිසා සමාවක් හිමිවුණා.‘ වෝන් මෙම වාර්තා වැඩසටහනට පවසා තිබිණි.

වරක් තමන්ට අල්ලස් ලබාදීමට උත්සහ කළ පාකිස්තානයේ සලීම් මලික් හෙළිදරව් කළ ආකාරය ගැනත් ඔහු මෙහි දී සිහිපත් කළේ ය.

‘මලික් මට ඔහුගේ හෝටල් කාමරයට ආරධනා කරලා පස්සේ අමුතු ඉල්ලීමක් කළා. ඒ අපි පන්දුයවද්දී මටයි, ටිම් මේ ට යි එකතු වෙලා හැකිතරම් කඩුල්ලට ඈතින් පන්දුව දාන්න කියලයි. අපි එහෙම කරනවට එක්කෙනෙකුට පවුම් එක් ලක්ෂ හතළිස් පන්දාහක් ගෙවන්නත් ලෑස්තියි කියාත් කිව්වා.‘

අදාල යෝජනාව එසැණින් ප්‍රතික්ෂේප කළ වෝන් ඒ ගැන තමන්ගේ නායකයාට ද පැමිණිලි කළේ ය. පසුව සලීම් මලික්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරග තහනමක් පැනවිණි.

උත්තේජක චෝදනාව

2003 වසරේ දී තමන්ගේ ආහාරය තුළ තහනම් උත්තේජක අන්තර්ගතව පැවති බවට චෝදනා එල්ල වීමෙන් තරග තහනමකට ලක්වීමට ද වෝන්ට සිදුවිය. එය තමන් විසින් ලබාගත්තක් නොව තම මව දේහ බර අඩු කරගැනීමට ලබාදුන් ආහාර වේලක තිබූ රසායනයක් හේතුවෙන් සිදුවූවකැයි ද වෝන් පැවසීය.

‘මම කවදත් උත්තේජක වලට විරුද්ධයි. ඒ නිසා මම කවදාවත්ම දැනුවත්ව තහනම් උත්තේජක අරගෙන නෑ. ඉතිහාසයේ ඉඳලම මගේ කට හොඳ නෑ තමයි. ඒ නිසා මම ගොඩාක් කනවා, බොනවා. ‘ වෝන් මෙහිදී පිළිගත්තේ ය.

විනය ගැටලු

විනය බිද දැමූ ක්‍රීඩකයෙක් වශයෙන් කූප්‍රකට වීම ගැන ද මෙම වාර්තා වැඩසටහනේ දී ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඇකඩමිය තුළ සිටියදී කලිසම ගලවා ගෙන නැටීම ගැන එල්ල වූ චෝදනාවට ඔහු කියන්නේ එය තමන් පිටුපසින් සිටි කවුරුන් හෝ කළ පාහර ක්‍රියාවක් බවයි.

මේ ප්‍රශ්න මොනවා වුවත් වෝන් සැමවිටම තම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමේ දැඩි කැපවීමෙන් කටයුතු කළ ක්‍රීඩකයකු බව සියලු දෙනා ඒකමතිකව පිළිගනී. ටෙස්ට් කඩුලු 708 ක් හා ටෙස්ට් ලකුණු 3000 ක් රැස්කර ගැනීමට ඔහු සමත්ව තිබෙන්නේ එහෙයිනි.

‘මම හැමවෙලාවෙම මගේ පවුලට දුන්නේ දෙවැනි තැන. ඒක මට නොපිළිගෙන ඉන්න බෑ. අනෙක් අතට සියලුදේ සම්පූර්ණ, නිවැරදි මිනිසෙක් කියලා බොරු පුරාජේරු කතා කියන්නත් මට බෑ. ඇත්තටම මම ගොඩාක් වැරදි කරපු මිනිහෙක්.‘ ඔහු පවසන්නේ ශෝකයෙනි.

මේ වද්දී වෝන්ට එංගලන්තයේ ඩිජිටල් මාධ්‍ය ලෝකය තුළ දැඩි ඉල්ලුමක් ද ගොඩනැගී තිබේ. ඩොග්වූෆ් ඔන් ඩිමාන්ඩ්, ඇමේෂන් ප්‍රයිම් වීඩියෝ, ගූගල් ප්ලේ, ඇපල් ටී.වී, මයික්‍රොසොප්ට් ස්ටෝර්, රකුටෙන් ටී.වී, ස්කයි ස්ටෝර්ස් හා යූ ටියුබ් වැනි මාධ්‍ය ක්ෂේත්‍රයන් තුළ ඇත්තේ ආකර්ශනයකි.

කෙසේ නමුත් වෝන් සිටිනුයේ කනගාටුවෙනි. ඒ තමන් අද සිටිනුයේ සැබෑ සතුටින් නොව හිත තුළ සඟවා ගත් ශෝකයකින් වන හෙයිනි.

Comments