ශත සංවත්සර සැමරුමේදී සිහිවන ලොව පසිඳු සා. පීතර ක්‍රිකට් පුත්තු | සිළුමිණ

ශත සංවත්සර සැමරුමේදී සිහිවන ලොව පසිඳු සා. පීතර ක්‍රිකට් පුත්තු

‘මෙරට නමක් දිනූ අධ්‍යාපන ආයතනයක් වන බම්බලපිටිය සාන්ත පීතර විදුහල මේ දිනවල සිය ශත සංවත්සරය සමරයි. සාන්ත පීතර විදුහල ඇරැඹුනේ 1922 ජනවාරි 18 වැනිදා ය. ගෙවී ගිය සියවස පුරාවට සාන්ත පිතරයෙන් බිහි වූ කීර්තිමත් පුද්ගලයන් බොහොමයකි. මේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට කීර්ති නාමයක් උසුලන මෙම විදුහලින් බිහි වූ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ය.’

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබෙන්නට මත්තෙන් නිල නොවන ටෙස්ට් තරග සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාන්ත පීතරයෙන් වරම් ලැබූ ක්‍රීඩකයන් වුණේ දොස්තර එච්. අයි. කේ. ප්‍රනාන්දු ක්ලයිව් ඉන්මන්, ඩේවිඩ් හයින් සහ ටෝනි ඕපාත ය.

මොවුන් අතුරෙන් දොස්තර එච්.අයි.කේ. ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ කීර්තිමත් බ්‍රිගේඩියර්වරයකු ද විය. 1951 සහ 1952 වසරවල දී විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ ඔහු ශ්‍රී ලංකා යුද හමුදා සහ එන්.සී.සී. පළමු පෙළ කණ්ඩායම්වලට ක්‍රීඩා කොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වරම් දිනූ දක්ෂ කඩුලු රකින්නෙකි. “ආසියාවේ හොඳම කඩුලු රකින්නා” ලෙස විරුදාවලි ලැබූ එච්.අයි.කේ. 1950 සහ 60 දශකවල ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ දස්කම් මාලාවක් පෙන්වීය.

ක්ලයිව් ඉන්මන් සාන්ත පීතරයෙන් බිහි වූ තවත් කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. සාන්ත ජෝසප් විදුහල සමග පැවැත්වෙන ‘සාන්තුවරයින්ගේ හටන’ මහා ක්‍රිකට් තරගයේ පිතිකරුවන්ගේ වැඩිම ලකුණු වාර්තාව තවමත් පවතින්නේ ඉන්මන් නමිනි. එය 1954 දී දියත් කළ නොදැවී ලකුණු 204 ක් වූ ඉනිමකි. එම වසරේ දී ම කොළඹ නාලන්දා විදුහලට එරෙහි ව රැස් කළ ලකුණු 154 තවත් වාර්තාගත ඉනිමකි. ශ්‍රී ලංකා කණ්ඩායමටත් වරම් ලැබූ ඉන්මන් පසුව එංගලන්තයට ගොස් වෘත්තීය මට්ටමින් ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමට වසර ගණනාවක් ක්‍රීඩා කොට පිතිකරුවකු ලෙස ඉහළ දස්කම් දැක්වී ය. 1965 දී නොටින්හැම්ෂයර් කණ්ඩායමට එරෙහිව ඉන්මන් මිනිත්තු 8ක දී ලකුණු 50 ක් රැස් කිරීම තවමත් වාර්තා අතර පවතී.

මේ සාන්ත පීතරයෙන් බිහි වූ තවත් නමක් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන තොරතුරු ය.

ඩේවිඩ් හයින් - දක්ෂ පිතිකරුවකු හා විශිෂ්ට පන්දු රකින්නෙකි. (1969 - 75 සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමට වරම් ලැබී ය.)

රෝයි ඩයස් -දක්ෂ පිතිකරුවකු හා පන්දු රකින්නෙකි. 1982 - 87 ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කළේ ය. උප නායකයෙකි. එක්දින ජාත්‍යන්තර තරගවල ප්‍රථම ශ්‍රී ලංකා ශතක ලාභියා ය.

රුමේෂ් රත්නායක-ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට වරම් ලැබූ දක්ෂ තුන් ඉරියව්වේ ක්‍රිඩකයෙකි. පළපුරුදු දක්ෂ පුහුණුකරුවෙකි.

මලින්ද වර්ණපුර- ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට වරම් ලැබූ ආරම්භක පිතිකරුවෙකි. සාන්ත පීතර විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකි.

රසල් ආනල්ඩ්- 1997 - 2004 සමයේ කණ්ඩායමට ක්‍රීඩා කළේය. ප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකි.

මේ හැර ඇන්ජලෝ පෙරේරා, ලක්ෂාන් රොඩ්‍රිගෝ, සොහාන් බොරලැස්ස, රොහාන් බුල්ජන්ස්, ලහිරු පිරීස්, අමල් සිල්වා, කීර්ති ගුණරත්න, විනෝදන් ජෝන්, සංතුෂ් ගුණතිලක, මොහොමඩ් අමීන් යන ක්‍රිඩකයන් ද සාන්ත පීතරයෙන් බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෝ වෙති.

Comments