ක්‍රීඩාව හා ජාති - ආගම් ගෑවීම අනවශ්‍ය ය | සිළුමිණ

ක්‍රීඩාව හා ජාති - ආගම් ගෑවීම අනවශ්‍ය ය

සුගිය දා පාකිස්තානය හා ශ්‍රී ලංකාව සහභාගි වූ ද්වන්ධ ‘කික් බොක්සිං‘ තරගාවලියක් පැවැතුණේ ය. එහි දී ශ්‍රී ලංකාවෙන් සහභාගි වී සිටි කික් බොක්සිං කණ්ඩායම රන් පදක්කම් හා රිදී පදක්කම් කීපයක් දිනා ගනිමින් දක්ෂතා දැක්වූ බව වාර්තා විණි. සැබැවින් ම එය සතුටට කරුණකි.

මේ අතර තරගාවලිය නිමවා යළි සිය රට පැමිණි ශ්‍රී ලංකා කික් බොක්සිං කණ්ඩායම වෙනුවෙන් රතු පාවාඩ නො එළිනි. එයට ගෞරවය පෑමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් උත්සව සංවිධානය කර නො තිබිණි. ඒ අතර පදක්කම් දිනූ ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ සිය රට පැමිණියේ සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ ම ය.

අදාළ සිදුවීම කන වැකුණු සැණින් ඊට එරෙහි ව අවි අමෝරා ගත්තේ මෙරට සමාජ මාධ්‍ය ය. පාකිස්තානයේ දී පාකිස්තානුවන්ට රිදෙන්නට අතින්, පයින් පහර දුන් ශ්‍රී ලංකා කික් බොක්සිං ක්‍රීඩකයන්ට රට තුළ දී නිසි පිළිගැනීමක් හිමි නොවුණේ යැයි කියමින් සමාජ මාධ්‍ය ජාලා මැසිවිලි නඟන්නට වූ හ. ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලබන ඉන්ටර්ග්‍රෑම්, යූ ටියුබ්, ට්විටර්, ෆේස් බුක් ආදි විවිධ සමාජ මාධ්‍ය වේදිකා තුළින් මේ පුවතට වැඩි අවකාශයක් ලබා දෙන්නට විණි.

මේ අතර තවත් කණ්ඩායම් අදාළ ජයග්‍රහණය හා ඊට ලැබුණු මාධ්‍ය ප්‍රචාරණය අතර ජාතිවාදී ආස්ථානයක් මතු කරවන්නට වූයේ ය. ඒ ජයග්‍රහණය හිමි කර ගත් කික් බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අතර ඉස්ලාම් ආගම අදහන තරුණියන් වෙතැයි ද මෙරට මාධ්‍ය ඔස්සේ කුඩම්මාගේ සැලකිලි හිමිවුණේ ඒ හේතුවෙන් යැයි ද පවසමිනි.

මෙතැන දී සාධාරණ ලෙස ම පැන නඟින ප්‍රශ්න කීපයක් තිබේ. ඉන් පළමු වැන්න වනුයේ ‘කික් බොක්සිං‘ ක්‍රීඩාව සම්බන්ධයෙන් රට තුළ පවතින අවධානය ය. එය තවමත් ශ්‍රී ලංකාව තුළ එතරම් ප්‍රචලිත නැති ක්‍රීඩාවකි. පසුගිය කාල වකවානුව තුළ එම ක්‍රීඩාව මෙරට ප්‍රමුඛ ක්‍රීඩාවක් වශයෙන් ස්ථාපනය කිරීමට උත්සුක වුව ද බොහොමයක් ක්‍රීඩකයන් එම ක්‍රීඩාවට ආකර්ශනය වූයේ නැත. ඊට පසුගිය කාලයේ ලෝකය තුළ පැවැති තත්ත්වය, නව ක්‍රීඩාවක් ස්ථාපනය කිරීමේ දී නිර්මාණය වන ආර්ථික අර්බුද වැනි බොහෝ කාරණා ඉවහල් වන්නට ඇතැයි සිතීම ද එක්තරා ආකාරයකට සාධාරණ ය.

එහෙයින් දෝ මෙරට තුළ ‘කික් බොක්සිං‘ ක්‍රීඩාව පවත්වා ගෙන

යනු ලබන සංගමයේ නිලධාරීන් ද වැඩි වශයෙන් ජනමාධ්‍යයට නිරාවරණය වන්නේ නැත. එය ද කික් බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් රටේ පවතින උනන්දුව හීන කිරීමට හේතුවී තිබේ. කික් බොක්සිං යනු තවමත් මෙරට තුළ ‘කික්‘ එකක් නොමැති ක්‍රීඩාවකැයි සමාජය තේරුම් ගන්නේ ඒ කාරණා ඉවහල් කර ගෙන ය.

එය එසේ වද්දී බොහෝ ක්‍රීඩා පුවත් වාර්තාකරණයේ නියැළෙන මාධ්‍යවේදීන් හෝ ප්‍රකාශන තුළ කික් බොක්සිං සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති පළ නොවන තරම් ය. පාකිස්තානය වෙත කික් බොක්සිං කණ්ඩායමක් ගියේ ද? ඔවුහු එහිදී කවරාකාරයේ දක්ෂතා දැක්වූයේ ද යන්න ගැන මෙරට මාධ්‍ය සංවේදී නොවුණේ එවන් පරිසරයක් තුළ ය.

එසේ නොමැති ව ඊට පිටත්ව ගියේ කවර ජාතියකට අයත් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ‘කික් බොක්සිං‘ කණ්ඩායමක් ද? ඔවුන් කවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පිරිසක් ද? යන්න ගැන කිසිදු ජනමාධ්යෙක් සොයා බැලුවා යැයි අප විශ්වාස කරන්නේ නැත.

අපට එය එසේ කැට තබා කියන්නට හැකියාව ඇත්තේ ක්‍රීඩාව යනු ජාති, ආගම් හෝ පළාත් වැනි පටු භේද නොසලකන ක්ෂේත්‍රයක් වන බැවිනි. වෙ‍ෙනකක් තබා ඊට දේශපාලන දර්ශනයේ වුව බලපෑමක් නැත. අදාළ ක්‍රීඩකයාගේ පෞද්ගලික දේශපාලන මතය කුමක් වුව ද එය ක්‍රීඩාවට, ඔහු සම්බන්ධයෙන් තැබෙන සටහනකට කිසිසේත් ම අදාළ නොවේ.

එය එසේ වද්දී පාකිස්තානයේ දී කික් බොක්සිං පදක්කම් දිනූ ක්‍රීඩිකාවන් මුස්ලිම් ජන කොට්ඨාසයට අයත් වූවද වෙන යම් ජන කණ්ඩායමක් නියෝජනය කළ ද ඔවුන්ගේ ජයග්‍රහණය ගැන කතා නොකර සිටීමේ අවශ්‍යතාවයක් නැත.

එසේ නම් සිදුව ඇත්තේ අදාළ ක්‍රීඩාව හා එය කරවන පරිපාලන ව්‍යූහය ජනමාධ්‍ය සමඟ සෘජු සම්බන්ධතාවක් නොපැවැත්වීම ය. නිසි ප්‍රචාරයක්, ඇගයීමක් මාධ්‍ය තුළින් නොලැබුණේ එහෙයිනි.

කෙසේ නමුත් දැන් මෙම ක්‍රීඩාව රට තුළ කිරි මුල් අදිමින් සිටී. මෙවැනි කුඩා ජයග්‍රහණවලින් පෙනෙන්නට ඇත්තේ එය ය. එවැනි ජයග්‍රහණ උත්කර්ෂයට නැඟීම වටින්නේ අනාගතයේ එම ක්‍රීඩාව රට තුළ වේගයෙන් ප්‍රචලිත කිරීමට ය.

අවසන් වශයෙන් මෙරට සමාජ මාධ්‍යයට පණිවිඩයක් දෙන්නට අප කැමති ය. ඒ සියලු දේ සෘනාත්මක අන්තයෙන් ම අල්ලා නොගත යුතු බව ය. තමන්ගේ ග්‍රාහකයන් වැඩිදියුණු කර ගැනීම පිණිස ඕනෑම සිදුවීමක වැරදි මතය අල්ලා උලුප්පා දැක්වීම යෝග්‍ය නැත. එය මාධ්‍ය වගකීම අතහැර දැමීමකි. කිසිදු වාරණයක් සිදු නොකරන සමාජ මාධ්‍ය තුළ ජනතාව ආමන්ත්‍රණය කිරීම වඩාත් සංවේදී ව හා බුද්ධිමත් ව සිදුකළ යුතු ව ඇති බව පමණක් මෙවැනි පුවත් වාර්තා කරන්නවුන් තරයේ සිහියට ගත යුතු ම ය.

Comments