මන බැඳලන්නී කුණ්ඩල කේශී | සිළුමිණ

මන බැඳලන්නී කුණ්ඩල කේශී

ගීතාලංකාරය ; ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාර

ප්‍රේමය විටෙක අසෙනිය කුසුමකි. තවත් විටෙක නියඟලා මලකි. රාගය, ද්වේශය, මෝහය, තෘෂ්ණාව, බොහෝ විට ප්‍රේමයට හරස් වෙයි. සැලමුතු යැයි සැලකෙන ප්‍රේමය ඊළඟ මොහොතේ දී වෛරයෙන් කෙළවර වෙයි.

 

ප්‍රේමයයි වෛරයයි අතරේ

වෙනස කෙස් ගසකට සමයි

බිඳුණු දා පූජාව ප්‍රේමයෙ

ඔහුගෙ ආගම වෛරයයි

(ප්‍රේමකීර්ති ද අල්විස්)

තම පෙම්වතිය මරා දමා ගෙල බැඳි මාලය සොරාගෙන එය විකුණා මෝටර් සයිකලයකට මුදල් බැන්ද පෙම්වතෙකු මට මතකය. එසේම අනියම් පෙම්වතියගේ සිරුර කෑලිවලට කපා බෑග තුළ අඩුක් කළ පෙම්වතෙකු පිළිබඳ පුවතක් ද මෑතදී මාධ්‍ය තුළ පළ විය. සත්‍ය ප්‍රේම භෘංග රාජයන් අතර මෙවැනි සාතන්වරුන් ද නිරන්තරයෙන් අපට මුණ ගැසේ.

මේ ආකාරයේ පෙම්වතුන් බෞද්ධ සාහිත්‍යයේ ද හමුවෙයි. කණවේර ජාතකයේ මුණ ගැසෙන ‘හරීත‘ නම් වූ සොරදෙටුවා ද එබඳු චරිතයකි. රාජපුරුෂයන් විසින් මරන්නට ගෙන යනු ලබද්දී ඔහුව මුදවාගෙන රැකවරණය දෙන්නේ ‘සාමා‘ නැමැති අබිසරු ලියයි. එහෙත් ඇයගෙන් මිදී නිදහස සොයා යාමට ඔහු ඇයව ඝාතනය කිරීමේ උත්සාහයක නිරතවෙයි. සද්ධර්ම රත්නාවලියේ මුණ ගැසෙන කුණ්ඩල කේශී වස්තුවේද මේ හා සමාන කතා පුවතක් දක්නට හැකි ය.

රජගහනුවර මහධන සිටාණන්ගේ දියණිය වැඩිහිටියන් විසින් නිවාස අඩස්සියේ තබන්නේ ඇය වරදක් කළ නිසා නොව වරදක බැඳේවිය යන බිය නිසා ය.

“රූපත්ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලුවා සේ ලූහ“

ඒ නිසා ඇය දෙමාපියන්ට වෛර බඳියි. ඇය තීරණය කරන්නේ තමා විවාහ වන්නේ තමා කැමැති දෙමාපියන් අකමැති පුද්ගලයෙකු සමඟ බවයි.

ඇය විසින් තෝරාගනු ලබන්නේ මරන්නට ගෙනයන දරුණු සොරෙකි. ඇය නොකා නොබී උපවාස කොට දෙමාපියන් ලවා රාජපුරුෂයන්ට අල්ලස් දෙවා සොරා මුදාගෙන ආවාහ කර ගනියි.

“ඌම පතා බතුත් නොකා යානට නැගිලා වැද හොත්තේ ය.“

එහෙත් සොරාට අවශ්‍ය වූයේ ඇගෙන් මිදී නැවත පුරුදු ජීවිතය ඇරඹීමටයි. ඇගෙන් සදහටම මිදීම සඳහා ඔහු උපක්‍රමයක් දියත් කරයි. ඒ සොරුන් හෙළන පර්වතයේ දේවතාවට පූජාවක් කරන මුවාවෙන් ඈ පර්වතය මුඳුනට කැඳවාගෙන ගොස් එයින් පහළට හෙළා ඇයව ජීවිතක්ෂයට පත් කිරීමටයි.

කුණ්ඩල කේශී කතා වස්තුව පසුබිම් කරගත් විවිධ නිර්මාණ අපට මුණ ගැසෙනවා. කුණ්ඩල කේශී නා‍ට්‍යයේ සොරා සහ ඇයගේ මධු සමඟ සේකරයන් අතින් මෙසේ ගීයට නැ‌ෙඟනවා.

“අන්න බලන් සඳ රන් තැටියෙන්

සුදු සීත ගඟුල් ගලනා

හද ශෝක තැවුල් නිවනා“

(සේකර)

ඩෝල්ටන් අල්විස් සූරීන් තම නිර්මාණය සඳහා පසුබිම් කරගන්නේ වෙනත් අවස්ථාවක්. සොරා ඇයව සොරුන් හෙළන පර්වතයට ගෙන යන්නේ ඇයට ඉච්ඡා බස් දොඩමින්. ඔහු ඇගේ රූපය වර්ණනා කරමින් ඇයව ප්‍රමෝදයට පත් කරනවා.

නීල වරල නිල් චාමර

පවන් සලන්නී

කුණ්ඩල කේශී

ඇගේ වරලස පොකුටු ය. අක් බමරු ය. එය සුළඟට සැලෙන විට චාමර සැලෙන්නාක් බඳු ය.

ඇගේ ඇස් මහනෙල් මල්වලට සමානය. මුහුණ නෙළුම් මලකි. ශරීර පැහැය රන්වන් ය.

තම රූප ශෝභාව වර්ණනා කරනු දැකීමට ඕනෑම ස්ත්‍රියක කැමැති ය. එයින් මේ සොරදෙටුවා උපරිම ප්‍රයෝජන ගනී. රමණයට පෙර ඇයට උරුම මරණය බව ඇය වටහා නොගනී.

“නෙත උපුලින් වත කමලින්

ගත දුලවන්නී

සිහින් හිනා කැන් දහරින්

මන බැදලන්නී

කුණ්ඩල කේශී...

ඇයව වශීකරගන්නා සොරා ඇයට පවසන්නේ තමා සතු සියලු ආභරණවලින් සැරසෙන ලෙසයි. ගිරි දේවිය සේ අභරණ පැලඳගෙන තමා සමඟ කඳු මුඳුනට පැමිණෙන ලෙසින් ඔහු ඉල්ලා සිටියි. වර්තමානයේ පවා මෙබඳු වංක පෙම්වතුන් මුණ ගැසෙන බැවින් මේ කතා වස්තුව සර්වකාලීන අගයක් ගනී.

ගිරි දේවිය විලස රුවන්

බරණින් ගතා සරසා ගෙන

ගිරි මුඳුනත දෙව් අරණට

යමු අපි ළඳුනේ නොලසින

කුණ්ඩල කේශී...

මේ මොහොතේ ඇගේ දිලිසෙන දෑස් මා ඉදිරියේ මැවෙනවා. මට නිධානය චිත්‍රපටය මතක් වෙනවා. මේ වංචනික පුරුෂයා පසුපස ඈ පූජා වට්ටියක් රැගෙන ස්වාමි භක්තියෙන් පර්වත මුඳුන කරා ගමන් කරන අයුරු ඔබටත් මවා ගන්න පුළුවන්.

 

 

Comments