විශ්ව සාහිත්‍යයේ ඇති බුදු දහමේ ආභාසය | සිළුමිණ

විශ්ව සාහිත්‍යයේ ඇති බුදු දහමේ ආභාසය

 විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයන්, නිර්මාණකරුවන් බහුතරය සැබැවින් ම බෞද්ධයෝ නොවූහ. එහෙත් ඔවුන්ගේ නිර්මාණ කියවූ, නැරඹූ බොහෝ අවස්ථාවල දී ඒවායේ යට පෙළින් මතු වූ බෞද්ධකම ගැන විමතියක් මා තුළ උපන්නේ ය. දෙවියන් විසින් ලෝකය මවන ලදැයි විශ්වාස කරන දේව ආගම් නියෝජනය කළ මොවුනගේ සිත්-සතන් තුළට බෞද්ධකම කාන්දු වුණේ පසුකාලීන ව හෝ ඔවුන් බුදුදහම හදාරන්නට යොමු වූ නිසා දැයි මම සිතා බැලූවෙමි. සිත තුළ ව්‍යාකූලත්වයක් ජනිත කර තිබූ මේ අදහසේ හැඩතල අනුක්‍රමයෙන් වෙනස් ව ගියේ පසුකාලීන ව හඳුනාගත් එක්තරා නියාම ධර්මයක් හේතුකොට ගෙන ය. මේ නියාම ධර්මය කුමක් දැයි කියන්නට පෙර බෞද්ධකම යටි පෙළින් ඉදිරිපත් කළ (බුදුනුවන් නොවූ) නිර්මාණකරුවන්ගේ නිර්මාණ කිහිපයක් සැකෙවින් ගෙන හැර දැක්වීම සුදුසු ය.

තණ්හාය ජායතී සෝකෝ (තණ්හාවෙන් ශෝකය උපදී) යැයි දෙසා වදාළේ ගෞතම බුදුන් වහන්සේ ය. මේ ගාථා පාඨය බෞද්ධ අප තුළට ජානගත වූවාක් වැනි ය.

රුසියානු මහාලේඛක ලියෝ තොල්ස්තෝයිගේ How much land does a man need - ‘මිනිසකුට ඉඩම් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද?’ නම් වූ කෙටිකතාව ඍජු ව කතා කරන්නේ ද තෘෂ්ණාවේ ආදීනව පිළිබඳව ය. ඉන් ප්‍රකට වන්නේ තෘෂ්ණාවේ ශෝකය පමණක් නොවේ. තෘෂ්ණාවේ බිය ද ඉන් ජනිත කෙරෙයි. (තණ්හාය ජායතී භයං)

ඉඩම් එකතු කර ගැනීමේ නොතිත් ආශාවෙන් මැඬුණ මිනිසෙකුට එක් ආකර්ෂණීය තොරතුරක් දැනගන්නට ලැබෙයි. ඒ නුදුරු ගමක පිහිටා ඇති විශාල ඉඩම් ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොර ව අත්පත් කර ගත හැකි අවස්ථාවක් පිළිබඳව ය.

හිරු බැස යන්නට පෙර ඒ ගම වටා පා ගමනින් ඇවිද ගොස් කිසියම් ඉඩම් ප්‍රමාණයක් වට කර ගන්නා තැනැත්තාට ඒ ඉඩම් සියල්ල හිමි කර ගත හැකි වන බව මේ තොරතුරෙන් අනාවරණය වෙයි. මේ අනගි අවස්ථාව කෙරෙහි ලොල් ව ගමනට මුලපුරන තෘෂ්ණාබර ඉඩම් හිමියා පයින් ඇවිද යමින් සවස් වන විට ගම්මානයේ විශාල ඉඩම් ප්‍රමාණයක් ආවරණය කරගැනීමට සමත් වෙයි. එහෙත් ඔහුගේ නොසංසිඳෙන තෘෂ්ණාව ඔහුට බල කර සිටින්නේ තව-තවත් ඉඩම් කොටස් එකතු කර ගන්නා ලෙස ය. අවසානයේ දී දැඩි ලෙස විඩාපත් වන ඔහු හතිලමින් දිව ආව ද සැණෙකින් ඔහු සොයා එන්නේ මරණයයි. ඔහුගේ දේහය මිහිදන් වන්නේ අඩි අටකට සීමා වූ බිම් තීරුවකයි.

බුදුදහමේ ගැඹුරු අරුත විශද කරන තවත් සුවිශේෂ කෙටිකතාවක් ලියාඇත්තේ යුරි නජිබින් නම් වූ සෝවියට් ලේඛකයා ය. ‘දෝංකාරය’ නමින් එය සිංහලට පරිවර්තනය කර ඇත්තේ කළුබෝවිල සිරිල් සී. පෙරේරා ය. මේ කෙටිකතාව සංගෘහිත ව ඇත්තේ ‘පොතක මහිම’ නම් වූ පරිවර්තිත කෙටිකතා සංග්‍රහයෙහි ය.

බළල් ඇස් සහිත හීන්දෑරි කුඩා දැරියක් මුහුදු වෙරළේ ස්නානය කරමින් සිටියි. මුහුදු බෙල්ලන් හා ගල්කැට ඇහිඳිමින් සිටින කුඩා පිරිමි ළමයෙක් මේ දැරිය සමඟ මිත්‍ර වෙයි.

පිරිමි ළමයා ගැහැනු ළමයාට උජාරුවෙන් විස්තර කරන්නේ තමාගේ එකතු කිරීම් පිළිඳව ය. ලස්සන ගල්, බෙලිකටු සහ සමනළයින් බොහොමයක් තමා සන්තකයේ ඇතැයි ඔහු පවසන්නේ සන්තෝෂයෙනි. නිහඬ ව අසා සිටින දැරිය අවසානයේ රහසින් මෙන් පවසන්නේ තමා ද එක්තරා එකතු කිරීමක් සිදු කරන බව ය. ‘ඒ මොනවා ද?’ කියා පිරිමි ළමයා ඇසූ විට ඇගේ පිළිතුර වන්නේ ‘දෝංකාර’ යන්නයි.

විස්මිතව බලා සිටින පිරිමි ළමයා තුළ දැරියගේ ‘දෝංකාර’ දැක බලා ගැනීමේ දොළක් හටගනියි. ඇය ඔහු මහා ගල්පර්වතයක් කරා කැඳවා ගෙන යයි. පර්වතයේ එළියට නෙරා ඇති වේදිකාවක් වැනි තැනක අන්තිම කොන දක්වා යන දැරිය මුණින් අතට පෙරළී ‘හෝ හෝ’ යනුවෙන් හඬනගයි.

ප්‍රපාතය තුළිනුත් ‘හෝ හෝ’ හඬක් නැගේ. දරුවා හා දැරිය එක-එක වචන කියා කෑගසමින් ගැඹුරු හෙළ පතුළෙන් මතුවන අද්භූතජනක එහෙත් කාරුණික හඬ අසා සිටිති. ඒ හඬ ආස්වාදනය කරති. ‘කොහොම ද හොඳයි නේ ද?’ යි දැරිය අසයි. ‘හොඳයි නං තමයි’ යැයි දෙගිඩියාවෙන් කියන පිරිමි ළමයා තමාගේ ගැටලූව මුදා හරින්නේ මෙසේ ය.

‘ඒත් මේ වගේ දේවල් එකතු කරනවයි කියන එකෙන් ඇති ප‍ෙල් මොකක් ද?’

දැරිය හඬ නගා සිනාසී පවසන්නේ මෙවැනි අදහසක් දෙන පිළිතුරකි.

‘ඔයා හිතන්නෙ අපි එකතු කරගන්න දේවල් පෙට්ටියක දාල, ලාච්චුවක දාල හිරකරල තියන්න ම ඕනයි කියල ද? එහෙම කරන්න බැරි එකතු කිරීම් මේ ලෝකෙ ඇත්තෙ ම නැද්ද?’

මේ සරල වදන් තුළ ගැබ් වූ ගැඹුරු දාර්ශනික හරය බුදුදහමේ අරටුව කරා අපගේ ස්මරණයන් රැගෙන යන සුලූ ය.

මුහුදු වෙරළේ නිරුවතින් නෑමට මේ දැරිය තුළ කිසි දු ලැජ්ජාවක් හට නොගන්නේ ඇය සොබාදහමේ ම කොටසක් වන නිසා ය.

සොබාදහම ඇයට සිය රහස් හෙළි කරන්නේ, ඇය චමත්කාරයට පත් කරන්නේ පෙට්ටගමක සිර කර තබාගත හැකි කිසිවක් ඇයට ප්‍රදානය කිරීමෙන් නොවේ. බුද්ධත්වයට පත් වූ පසු බුදුන් වහන්සේ හමුවීමට ආ ඇතැම් මිනිසුන් උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කර ඇතැයි මා අසා තිබේ.

‘ඔබවහන්සේ මේ මහානර්ඝ වූ තත්ත්වය ලබාගත්තේ කෙසේ ද?’

පහතින් දැක්වෙන්නේ උන්වහන්සේ ඔවුනට දී ඇති පිළිතුරයි.

‘කිසිම කිසි දෙයක් ලබාගත්තේ නෑ. තිබූ සියල්ල ඉවත් කළා පමණයි’

මෙය එක් අතකින් ප්‍රතිමා නෙළීමකට සම කළ හැකි ය. මහ කළුගලකින් අමිල වූ මූර්තියක් අඹන මූර්ති ශිල්පියා කළුගලට කිසිවක් එකතු කරන්නේ නැත. ඔහු කරන්නේ කළු ගලේ කොටස් පතුරින් පතුර කපා ඉවත හෙළීම පමණි.

විශ්ව ඥානයේ අයිත්මාතොව් ලකුණ

ඉහත කී ධර්මතාවට අනුව බුදුදහමේ සාරය අතැඹුලක් කරගත් මෑතකාලීන මහාලේඛකයකු ලෙස මා හඳුනා සිටින්නේ චිංගීස් අයිත්මාතොව් ය. (අයිත්මාතොව් මෙලොව හැරදා ගියේ 2008 වසරේ දී ය.) සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවේ පුරවැසියකු ලෙස 1928 දී කිර්ගීසියාවේ උපත ලැබූ චින්ගීස් අයිත්මාතොව් තුළ මුලින් පැවැති මානව දයාව අනුක්‍රමයෙන් විශ්ව කරුණාවක් බවට පත්වෙමින් ප්‍රවාහයක් මෙන් ගලා ගිය ආකාරය මැනවින් පෙනී යන්නේ ඔහුගේ කෘති සමුච්චය පරිස්සමින් පරිහරණය කරන්නකුට ය.

අයිත්මාතොව්ගේ ගුරුගීතය (First Teacher) නවකතාව සිංහල පාඨක ප්‍රජාව අතරේ නිරන්තර ව කතාබහට ලක් වූ වාර්තාගත අලෙවියක් පෙන්වූ කෘතියකි.

විප්ලවයෙන් පණගැන්වුණ සෝවියට් ජන ජීවිතය තුළින් මුල්කාලයේ දී මතු වූ නිස්සරණාධ්‍යාශි, පරිත්‍යාගශීලි ස්වභාවය මෙහි එන ගුරුවරයාගේ (දුයිෂෙන්ගේ) චරිතයෙන් විශද වන අතර ඔහුගේ ආධ්‍යාත්ම ගැඹුර හා සෞන්දර්යය එහි සලකුණු වන්නේ මෙසේ ය.

‘වතුර‘. ඒ දවස්වල කුණුකිලුටු පලවා හැර මා සෝදාගන්න. නුඹ වගේම පිරිසිදු බවක් මට ලබාදෙන්න’ යි තොල්මතුරමින් කුමක් නිසා දැයි නොදැන මම සිනාසුණෙමි. තමාට වැදගත් වූ තැන්වල දී පා සටහන් සදාකාලිකව තබා යාමට මිනිසකුට බැරි ඇයි?

(ගුරු ගීතය - චින්ගීස් අයිත්මාතොව් - පරිවර්තනය: දැදිගම වී. රුද්‍රිගු)

අයිත්මාතොව්ගේ වඩාත් පරිණත සාහිත්‍ය කෘතිය ලෙස බහුතරයකගේ පිළිගැනීමට ලක්වන්නේ Farewell Gulsary! කෘතියයි. ගුරු ගීතයෙන් පසු වඩ-වඩාත් මුහුකුරා ගිය ලේඛකයාගේ චින්තනය (දෙවන ලෝක සංග්‍රාමයේ ඛේදනීය අත්දැකීම් ද ග්‍රහණය කරගනිමින්) මානවවාදය අසල දී හෝ නැංගුරම් නොයොදා මුළුමහත් ජෛව ලෝකය, සතා-සිවුපාවුන් කෙරෙහි ද පැතිරී ගිය අයුරු මේ කෘතියෙන් ප්‍රකට වෙයි.

අශ්වයකු හා මිනිසකු අතර වන ළෙන්ගතු සබඳතාවක් පිළිබඳ හෘදය සංවේ දී පුවතක් තේමා කරගත් මෙම කෘතිය ඔස්සේ විප්ලවයෙන් පසු උද්ගත වූ සමාජවාදී පාලන භාවිතාවට එල්ල කෙරෙන්නේ සියුම් විවේචනයකි.

ගුරු ගීතයේ දී විප්ලවය උත්කර්ෂවත් ලෙස හා භක්තිපූර්වකව ඉස්මතු කළ ද Fairwell Gulsary! ලියූ කාලවකවානුව වන විට අයිත්මාතොව්ගේ විප්ලවීය ආකල්පයන්හි ඉරිතැළීමක් සිදු ව ඇති අයුරකි,

පාඨකයාට පෙනී යන්නේ. සෝවියට් සමාජවාදී පාලනයට යටින් පිළිලයක් මෙන් ඔඩුදුවමින් පැවැති අත්තනෝමතික පුද්ගල හැසිරීම්, ක්‍රෑරකම් කෙරෙහි ඔහු තුළ වූ විරෝධය හා කනස්සල්ල පාඨකයා මනාව හඳුනාගන්නේ මේ කෘතිය කියවද් දී ය.

කම්කරුවා හා ඉඩම්හිමියා (ප්‍රාග්ධන හිමියා) අතරේ වන බෙදුම් රේඛාව දැන් තරමට ම බොඳ වී නොතිබූ ඒ යුගයේ දී පවා මිනිසාගේ තෘෂ්ණාව විප්ලවයේ පොදු අරමුණු යටපත් කළ අවස්ථා සිය කෘතීන් තුළින් පිළිබිඹු කරන්නට අයිත්මාතොව් විශිෂ්ට උත්සාහයක් දරා තිබේ. The Day Lasts More than a Hundred Years නම් වූ කෘතිය මෙහි අග්‍රගණ්‍ය ප්‍රතිඵලයකි. (‘සියවසක් පවත්නා දවස’ නමින් මෙය සිංහලට පරිවර්තනය කර ඇත්තේ චූලානන්ද සමරනායකයි.)

සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවේ පටන් අභ්‍යවකාශය දක්වා පාඨකයා රැගෙන යන මේ අපූරු නවකතාවේ ප්‍රධාන භූමිකා නිරූපණය කරන්නේ කසකස්තානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක දහදිය වගුරන ‘බියුරන්නි යෙදිගෙයි’ නම් වූ ශ්‍රමිකයා ඇතුළු තවත් ශ්‍රමිකයන් පිරිසකි.

ඔවුනගේ ජීවන අන්දරය ද සමඟින් ඓතිහාසික පුරාවෘත්ත ද කැටිකරගනිමින් විකාශනය වන නවකතාව අභ්‍යාවකාශය විනිවිදින සුලු දැක්මක් පාඨකයාට තිළිණ කරයි.

(ඉතිරි කොටස ලබක සතියේ)

කැත්ලීන් ජයවර්ධන

Comments