ක්‍රිකට් බණ අසා සෞඛ්‍යයෙන් නිවන් සොයන | සිළුමිණ

ක්‍රිකට් බණ අසා සෞඛ්‍යයෙන් නිවන් සොයන

 

ලොව විවිධ රටවල විවිධාකාරයේ සමාජ ප්‍රශ්න තිබේ. මින් සමහර ඒවා විසඳීමට ක්‍රීඩාවන් යොදා ගනියි. සම්පූර්ණයෙන් ම නොවුණත් යම් ආකාරයකින් අදාළ ප්‍රශ්න අඩු කර ගැනීමට ක්‍රීඩාවන්ට හැකියාව තිබෙන බව ගත වූ කාලයේ දී සනාථ විය. මෙසේ සමාජ ප්‍රශ්නවලට එරෙහිව යොදා ගනු ලබන ක්‍රීඩාවන් අතරට ක්‍රිකට් ක්‍රීඩාවටත් මුල් ස්ථානයක් හිමි වේ. එවැනි රාජ්‍යයක් ලෙසට වනවාටූ දූපත් හැඳින්විය හැකි ය. මෙහි විශේෂත්වයක් ඇත. එනම්, එමඟින් වැඩි ම වාසිය සිදු වී තිබෙන්නේ සුවිශේෂි පිරිසකට වීමයි. ඒ වනවාටූ දූපතේ ‘මමෘස්’ හෙවත් අම්මාවරුන්ට ය.

එය තවත් සති අන්තයකි. වනවාටූ අමමාවරුන්ගේ ක්‍රිකට් තරගයක් පැවැත්වෙමින් තිබුණේ ය. පන්දු යවන්නිය තවත් පන්දුවක් පිතිකාරිනිය වෙතට යොමු කළාය. ඇය වැරෙන් පහරක් එල්ල කිරීමට උත්සාහ කළා ය. එහෙත් එය අසාර්ථක ය. “වැඩක් නැහැ නේ. ඔයාට ලකුණු ගන්න බැහැ.” පන්දු යවන්නිය සිය ප්‍රතිවාදී පිතිකාරිණියට ඇනුම් පදයක් කීවාය.

තවත් මොහොතක් ගත විය. ඇය තවත් පන්දුවක් යොමු කළාය. ඊට පිතිකාරිනිය එල්ල කළ පහර අති සාර්ථක විය. එහි ප්‍රතිඵලය ලකුණු හයකි. “දැන් ඔයා මොනවාද කියන්නේ?” මෙවර පිතිකාරිනිය එසේ ඇසුවේ පන්දු යවන්නියට තමාගේ වාරය බව පවසමිනි. ඊට දෙපිලේ ම ක්‍රීඩිකාවෝ මහා හඬින් සිනාසුණෝය. මේ වනවාටූ අම්මාවරුන්ගේ ක්‍රිකට් තරගයක සාමාන්‍ය ස්වරූපය යි. එමඟින් සිදු වන්නේ එදිනෙදා ජීවිතය තුළ ඔවුන් නිරතුරුව ම මුහුණපාන විවිධ ප්‍රශ්නවලින් තරමක් හෝ අත්-මිදීමට අවස්ථාවක් ලැබීමයි. මෙම තරග දෙසට එහි නියම ස්වභාවය නොදැන අවධානය යොමු කළහොත් එහි හාස්‍යජනක බවකුත් දැකිය හැකි ය.

මීට හේතුව වන්නේ වනවාටූ කාන්තාවන් බොහෝ තරබාරු වීමයි. එය පොදුවේ පිරිමින්ටත් අදාළ ය. එබැවින් එවැනි පිරිස් කණ්ඩායම් දෙක ම නියෝජනය කරමින් ක්‍රිකට් තරගයකට සහභාගි වීම පිටස්තරයන්ට හාස්‍යයක් ගෙන දීම පුදුමයට ලක් විය යුතු නැත.

වනවාටූ දූපත් සමූහයකි. එය පැසිෆික් කලාපයට අයත් ය. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ලොව බොහෝ කතුන්ට උද්යෝගිමත් බවක් ගෙන දෙන ක්‍රීඩාවකි. එය වනවාටූ කතුන්ටත් පොදු සත්‍යයකි. එහි කාන්තා පන්දු ඕවර 20 ක්‍රිකට් කණ්ඩායම ලොව ශ්‍රේණිගත කිරීම්වලට අනුව වත්මන දී අංක 28 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. ඊට අනුව එය ජාත්‍යන්තරව එරටේ සාර්ථක ම ක්‍රීඩා කණ්ඩායම ලෙසටත් සැලකිය හැකි ය.

එරටේ සම්ප්‍රදාය අනුව තවමත් පවතින්නේ පුරුෂාධිපත්‍යයට මුල් තැනක් හිමි වන සමාජයකි.

එම සම්ප්‍රදායික අගයන් නිසා එරටේ සමාජ දියුණුවට බාධක ඇති වී තිබේ. ඒ නිසා ම බොහෝ වනවාටූ අම්මා-වරුන්ට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමටත් නොහැකි වී ඇත. එය වනවාටූ ක්‍රිකට් සංගමය විසින් වෙනස් කිරීමට උත්සාහ කරමින් තිබේ.

“මමාස්ලා (අම්මාවරුන්) අයිති වෙන්නේ කුස්සියට කියලා සමහර මිනිසුන් කියනවා මට ඇහිලා තිබෙනවා. ඔවුන්ගේ කාර්යයන් තමයි නිවාස පිරිසිදු කිරීම, ළමුන්ව බලා ගැනීම. නමුත් එය වැරදියි” මෙසේ පවසන්නේ රේචල් ඇන්ඩෘය. ඇය වනවාටූ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත ම ක්‍රීඩිකාවකි. රේචල් තවමත් 23 හැවි-රිදිය. 2019 වසර සිට ඇය අන්තර්-ජාතික ක්‍රීඩා කරන්නීය.

“අපි එකිනෙකාට උදවු කළ යුතුයි. එමඟින් සම තැන් ඇති කර ගැනීම සඳහා කිසියම් දෙයක් කළ හැකියි. ස්ත්‍රී සහ පුරුෂ සමානාත්මතාවය ඇති කළ යුතුයි. එමඟින් ක්‍රීඩාවන් හෝ වෙනත් දේවලින් විනෝද වීමට ඔවුනට අයිතිය ලබා දිය යුතු වෙනවා”. රේචල් ඇන්ඩෘ තවදුරටත් පවසන්නී ය.

සම්ප්‍රදායක සමාජ ප්‍රශ්නවලට අම-තරව වනවාටූ කතුන් ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවලට ද මුහුණ දෙති.

මේ සියලුම දේ ගැන අවධානය යොමු කරමින් විශේෂ වැඩසටහනක් මීට දස වසරකට පෙර ඇරඹීය. එය නම් කළේ වනවාටූ දූපත් කාන්තා ක්‍රිකට් වැඩසටහන ලෙස ය. එමඟින් බලාපොරොත්තු වූයේ සෞඛ්‍ය අධ්‍යාපනය තුළින් දැනුම වැඩි කිරීමයි. මෙම වැඩසටහනට එරටේ වයස අවුරුදු 15 සිට 90 අතර කතුන් සම්බන්ධව සිටිති.

“මීට පුරා සති 20 ක වැඩසටහනක් අයත් වෙනවා. ඊට සෞඛ්‍ය පිළිබඳ ව දැනුම්වත් කිරීම් කරනවා. වෛද්‍ය පරීක්ෂණ සිදු කරනවා. පෝෂණය ගැන පංති පවත්වනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල් වෙනුවෙන් නිරෝගී ආහාර පිළියෙල කරන ආකාරය කියලා දෙනවා. ඔව්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා කරනවා.” මෙම විශේෂ එමෙන්ම අපූරු වැඩසටහනට මුල සිට ම සම්බන්ධව සිටින එමිලියා ලාවැක් පවසන්නී ය.

මෙහිදී ඔවුන් ක්‍රීඩා කරන්නේ වනවාටූ දූපත්වලට ම ආවේණික වන ක්‍රිකට් ක්‍රීඩාවයි. එහිදී ඔවුන් සැරසී සිටින්නේ සම්පූර්ණ දූපත් ඇඳුම්වලිනි. ක්‍රීඩා කරන්නේ විශේෂයෙන් සැකසූ පිති සහ පන්දුවලිනි. ඊට යොදා ගන්නේ නුග ගස්ය. එහිදී නීති රීති ද තරමක් වෙනස් ය. සෑම කණ්ඩායමක් ම පිති හරඹයේ නිරත වන විට පිතිකාරිනියන් සහ දුවන්නියන් දෙදෙනා බැගින් පිටියේ රැඳී සිටිති. එහිදී මව්වරුන් පන්දුවට පහර දෙන විට ඔවුන් වෙනුවෙන් ලකුණු සඳහා දුවන්නේ දියණියන් වීම තවත් විශේෂත්වයකි.

දූපත් ක්‍රිකට් ක්‍රීඩාව පැහැදිලිව ම වනවාටූ කතුන්ට උපකාරයක් වී තිබේ. “ඔවුන් මෙයට සම්බන්ධ වීමෙන් විශාල වෙනසක් ඇති වී තිබෙනවා. ඒ ගැන අපේ මව්වරුන්ව අගය කරනවා. ලස්සන ඇඳුම්වලින් සැරසිලා, සිනාසෙමින් ඔවුන් දැන් ජීවිතය අත්විඳිනවා. එමඟින් නිරෝගිමත්ව ජීවත් වීමට මව්වරුන්ට ඇත්තටම උදව් වී තිබෙනවා.” ඇන්ඩෘ තවදුරටත් පවසන්නී ය.

මේ වැඩසටහනේ සාර්ථකත්වයට මෙම බිරියන්ගේ සැමියනුත් කිසියම් වූ දායකත්වයක් ලබා දී තිබේ. කාන්තාවන් සම්බන්ධව සාකච්ඡා කිරීමටත් විවිධ පංතිවලට සහභාගි වීමටත් සැමියන්ට ආරාධනා කරන ලදි. බොහෝ පිරිස් ඊට සහභාගී වූහ.

“සමහර අම්මාවරුන්ගේ සැමියන් දැඩි ලෙස බිරියන්ට බලපෑම් කරනවා. ඔවුන්ගේ බිරියන් ක්‍රීඩා කරනවාට කැමැති නැහැ. අපිට ඔවුන් සමඟ මේ ගැන කථා කරන්න සිදු වුණා. මෙම-ඟින් ඔවුනට ලැබෙන වාසි ගැන මම ඔවුනට පැහැදිලි කළා. එවිට ඔවුන්ට එය තේරුම් ගන්නට හැකි වුණා. පසුව හුඟාක් සැමියන් ඇවිත් සිය බිරියන්ට සහාය දක්වනවා අපි දුටුවා.” මෙසේ තවදුරටත් පවසන්නේ ලාවැක් ය.

වනවාටූ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2019 වසරේ පැසිෆික් කලාප ක්‍රීඩා උළෙලේ දී තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූහ. තවද 2023 පන්දු ඕවර 20 ලෝක කුසලාන තරගාවලියේ කලාපීය සුදුසුකම් ලැබීමේ තරග-වලටත් සහභාගි වූයේය.

වනවාටූ කුඩා දූපත් 83ක ගෙන් සැදුම්ලත් රාජ්‍යයකි. කලක් ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට යටත්ව තිබිණි. එය ස්වාධීන රටක් බවට පත් වූයේ 1980 වසරේ ජූලි මාසයේ දී ය.

 

Comments