කැඩුණු රිටෙන් බිමට වැටී නතර නොවුණු රූමතී ඇන්ජලිකා තෙරේස් | සිළුමිණ

කැඩුණු රිටෙන් බිමට වැටී නතර නොවුණු රූමතී ඇන්ජලිකා තෙරේස්

තමාටම අභියෝගයන් ඉදිරිපත් කර ගනිමින් ඉලක්කයන් සපුරා ගැනීමට උත්සාහ ගැනීම ඇය අත්කරගෙන ඇති ජයග්‍රහණවලට මූලික හේතුවයි.

ක්‍රීඩාවේ දී පැනීම් වර්ග රැසකි. දුර පැනීම, උස පැනීම, කඩුලු පැනීම හා රිටි පැනීම ඒ වර්ග වේ. මේ අතරින් වඩාත් අවදානම් පැනීම රිටි පැනීම බවට විවාදයක් නැත. මේ අවදානම් ක්‍රීඩාවෙන් දස්කම් පෙන්වූ බොහෝ දෙනෙකු ක්‍රීඩකයෝ ය. ඒ අතරට එක්වූ වයසින් ඉතාමත් ළාබාල ක්‍රීඩිකාවක් පෑ දස්කම් පිළිබඳ ක්‍රීඩා ලොව තුළ වඩාත් කතාබහට ලක්ව තිබේ. ඇය ඇන්ජලිකා තෙරේස් බෙංග්සටන් ය.

 

ඇන්ජලිකා උපත ලැබුවේ 1993 ජූලි 08 වැනි දා ස්වීඩනයේ වැකල්සාන් හි දී ය. ක්‍රීඩාව ඇය ලද ජන්ම උරුමයක් බඳු යැයි කීවහොත් නිවැරැදි ය. ඒ, පියා මල්ලව පොර ක්‍රීඩකයකු හා හෙල්ල වීසි කිරීමේ ශූරයකු වූ හෙයිනි.

ඇන්ජලිකා හට වැඩිමහල් සොයුරියක සිටින්නී ය. ඇය ඉපිද වැඩි කල් යන්නට මත්තෙන් ඇයගේ මව දෙවැනි දරු උපතක සලකුණු පෙන්නුම් කළා ය. එය දැනගත් සිය සැමියාගේ සතුට නිම් හිම් නැති විය.

“දැන් මට ඕනෙ මගේ හැකියාව ලබලා ඒවා තවත් හොඳින් දියුණු තියුණු කර ගන්න පුළුවන් ශක්තිමත් කොලු පැටියෙක්.” ඔහු නිරතුරුවම නොපෙනෙන අනාගතයක් වෙනුවෙන් සිහින මැවුවේ එසේ ය.

එහෙත් ඒ සිහිනය සිඳ බිඳලමින් දෙවැනි දරුවා ද දියණියක වූවා ය. ඔහු මානසිකව තදින් ම ඇද වැටුණේ ය. එහෙත් ඒ බවක් තම බිරියට කිසිසේත් ම නොදැනෙන්නට වගබලා ගත්තේ ය.

“කමක් නැහැ. අපිට ඕන, අපි හිතන අපි කැමති හැම දෙයක්ම ඒ විදිහටම අපිට ලැබෙන්නෙ නැහැ. කවද හරි දවසක මගේ පොඩි දුවව මම හොඳ මලල ක්‍රීඩිකාවක් කරනව කරනවාමයි.” ඔහු තමාට ම කියාගත්තේ ය.

ඇන්ජලිකා දුව පැන ඇවිදින වියට එළඹුණා ය. මොහොතක්වත් එක තැන රැඳී සිටින පුරුද්දක් නම් ඇයට ගෑවිලාවත් නැත. ඇය ඇඳට නැඟ පිනුම් ගසන්නීය, ඒ ඇඳටම නැඟ උඩ පනින්නීය, පුටුවල සිට බිමට පනින්නීය. කොයිම වේලාවකවත් හෙමින් ගමන් නැත. ඇයට තිබුණේ නොසංසිඳෙන දාංගලයකි.

පියා මේ දඟකාරකම්වලට දැඩිව ඇළුම් කළේ ය. ඒ, මේ දැඟලිල්ල ඇය ක්‍රීඩිකාවක් බවට පමුණුවාලීමට මූලික සුදුසුකමක් ලෙසින් ඔහු සැලකූ නිසා ය.

සිව්වැනි වියට පා තැබූ ඇන්ජලිකා ව්‍යායාම්වලට යොමු කිරීමට පියා පියවර ගත්තේ එහෙයිනි. මේ අභ්‍යාසවල නිරත කරවීමේ දී ඔහුට එක් දෙයක් දැඩිව ඒත්තු ගියේය. ඒ, ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු කිරීම වඩාත් යෝග්‍ය බව යි.

ඇන්ජලිකා ඉගෙනුමට ද උපන් හපනියකි. 2011 දී මැට්‍රික් විභාගය ඉහළින් සමත් වුව ද ඇය විශ්වවිද්‍යාලයට පිවිසීමට මැළිකමක් දැක්වූවා ය. ඒ, ක්‍රීඩිකාවක් වීම තුළින් බොහෝ දුර ගමනක් යෑමට තමාට හැකිවේය යන විශ්වාසය ඇය තුළ ගොඩනැංවී තිබූ බැවිනි.

ජිමිනාස්ටික් ක්‍රීඩාවෙන් ලද පන්නරය හේතු-වෙන් රිටි පැනීමේ ක්‍රීඩාව තුළින් ඇන්ජලිකා හට සාර්ථක අනාගතයක් විවර විය හැකි බව පියාගේ විශ්වාසය විය. ක්‍රීඩකයකු ලෙසින් ඔහු කලක් පුරා එක්රැස් කරගෙන තිබූ අත්දැකීම්වලට හිස නැමූ ඇන්ජලිකා ජිම්නාස්ටික් ක්‍රීඩාවට සමුදී රිටි පැනීමට යොමුවූවා ය.

ඉතා කෙටි කාලයක් තුළ දී රිටි පැනීම තුළින් ඇන්ජලිකා අත්පත් කරගෙන ඇති ජයග්‍රහණයන් රැසකි. ඒවා අතරින් සුවිශේෂී ජයග්‍රහණය වන්නේ රිටි පැනීම සඳහා වන ලෝක කනිෂ්ඨ ශූරතාව දෙවරක් දිනාගැනීම ය. එහි දී 2010 දී මොන්ක්ටන් හි දී හා 2012 දී බාසිලෝනා හි දී පැවැති මේ තරගාවලීන් හි දී රන් පදක්කම් දිනාගත්තා ය.

2009 දී ලෝක තරුණ ශූරතාව සඳහා වන රන් පදක්කම ඇය දිනාගත්තේ බ්‍රික්සන් හි දී ය. සිංගප්පූරුවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියෙන් ද ඇය රන් පදක්කමක් දිනාගත්තා ය. 2011 දී ඇය ලද තවත් වැදගත් ජයග්‍රහණයක් වූයේ යුරෝපියානු කනිෂ්ඨ ශූරතාව සඳහා වූ රන් පදක්කම ය.

මේ හැරුණු විට 2016 දී ඇම්ස්ටර්-ඩෑම්හිදී යුරෝපියානු ශූරතාව සඳහා වන ලෝකඩ පදක්කම ද 2015 දී ප්‍රාග්හිදී හා 2017 දී බෙල්ග්‍රේඩ්හි දී යුරෝපියානු ගෘහස්ථ ශූරතාව සඳහා වන ලෝකඩ පදක්කම ද ඈ උරුම කර ගත්තා ය.

ඇන්ජලිකාගේ ක්‍රීඩා දිවිය හා සබැඳි ඇතැම් සිදුවීම් තුළින් පැහැදිලිව ම අවබෝධ වන කරුණක් තිබෙන්නේ ය. එනම් ඇය අත්කරගෙන ඇති ජයග්‍රහණවලට මූලික හේතුවක් වී ඇත්තේ ඇය තමාටම අභියෝගයන් ඉදිරිපත් කර ගනිමින් ඒ ඉලක්කයන් සපුරා ගැනීමට උත්සාහ ගැනීම ය. මේ කතාව එය සනාථ කිරීමට හොඳම උදා-හරණයකි.

වරක් අන්තර්ජාතික රිටි පැනීමේ තරගයක දී ඇයට මීටර 4 යි සෙන්ටිමීටර 50 ක උසක් පැනීමට නියමිතව තිබිණි. එය සාර්ථක විය. ඉන් පසු ඇය තම සිතට අභියෝගයක් ලබා දුන්නා ය. ඒ, මීටර 4 යි සෙන්ටිමීටර 80 ක් පැනීමට ය. ඒ උත්සාහය දෙවරක් අසාර්ථක විය. ඇත්තේ තව එක් වාරයක් පමණි. එම වාරයේ දී රිටට බර දී ඇය ඉහළට යද්දී රිට දෙකට කැඩිණි. ඇය බිම ඇදවැටුණාය. වාසනාවකට එම අනතුරින් ඇයට කිසිදු හානියක් නොවීය. විනිසුරු මඬුල්ල ඇයට තවත් වතාවක් තරග කිරීමට අවසර ලබා දුන්නේ ය. එවර ඇගේ උත්සාහය සාර්ථක විය. ප්‍රේක්ෂකාගාරය ඔල්වරසන් හඬින් ගිගුම් දුනි.

“මම සෙල්ලම් කරද්දි මොන බාධක ආවත් අතරමඟ නතර වෙන්නෙ නැහැ. ඒ වෙලාවට මගේ හිතේ පසුබෑමක් ඇති වුණොත් මම කරන්නෙ මගේ හිතට මාවම අභියයෝගයක් කරගෙන “නෑ, මට මේක හොඳටම කරන්න පුළුවන්” කියන සිතුවිල්ල ඇති කර ගන්න එකයි. මම ලබපු ගොඩාක් ජයග්‍රහණ ඒ විදිහට හිතලා වැඩ කරපු එකේ ප්‍රතිඵල.” මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ඇය එතෙක් මෙතෙක් රිටි පැනීමෙන් අත්පත් කරගෙන ඇති ජයග්‍රහණයන්ට පසු හේතු වූ පසුබිම මාධ්‍යයන් හමුවේ අනාවරණය කළේ සමස්ත ක්‍රීඩක පරපුරටම ආදර්ශයක් තිළිණ කරමිනි.

 

Comments