ලස්සන සඳ මත ඉස්සර ගොල්ෆ් ක්‍රීඩා කරලා | සිළුමිණ

ලස්සන සඳ මත ඉස්සර ගොල්ෆ් ක්‍රීඩා කරලා

දැන් ක්‍රීඩකයෝ සමඟ අඟහරු තරණය කරන්න සූදානමක්

ඔලිම්පික් උළෙලක් සංවිධානය කරන්නට සැලසුම්

මිනිසා සඳ තරණය කිරීමේ අභියෝගය ජය ගත්තේ මීට වසර 52කට පමණ පෙරාතුව ය. 1969 වසරේදී නීල් ආම්ස්ට්‍රෝන් සඳ තරණය කළ පළමු මිනිසා

ලෙස ලෝක ඉතිහාසය අලුත් කළේය. ඉන් වසර දෙකකට පසුව 1971 වසරේ දී නැවතත් සාර්ථක සඳ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර, ඊට සමගාමීව ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ නවමු පියරවක් සනිටුහන් විණි. 1971 වර්ෂයේදී සිදු වූ එම මෙහෙයුම ඇපලෝ 14 සඳ මෙහෙයුම නම් වූ අතර, එහිදී පළමු වරට සඳෙහි ක්‍රීඩාවක් අත්හදා බලනු ලැබීය. එම මෙහෙයුමට ඇලන් බී. ෂෙපර්ඩ්, ස්ටුවර්ට් ඒ. රූසා සහ එඩ්ගර් ඩී. මිචෙල් යන ගගනගාමීයෝ සහභාගි වූහ.

සඳ මත ගොල්ෆ් ගැසූ ෂෙපර්ඩ්

'සඳට ගියේ ද නැද්ද එම කතාව ප්‍රබන්ධයක් ද යන්න අප නිවැරැදි ව දන්නේ නැත. ඇතැමුන්ට අනුව සඳ ගමන කුප්‍රකට ප්‍රබන්ධයකි. අමෙරිකාව ඇතුළු ඇතැම් අභ්‍යවකාශ පර්යේෂකයන්ට, තාරකා විද්‍යාඥයන්ගේ විෂයයේ එය සත්‍යයකි. එහි ඇත්ත නැත්ත සෙවීම අපගේ උත්සාහය නොවේ. එහෙත් ලස්සන හඳේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් නිර්මා-ණය කරන්නට සිතා එම ක්‍රීඩාවේ නියැළි අපූරු කතාන්තරයක් අප මෙවර 'ක්‍රීඩා' වෙතින් ගෙන එන්නෙමු. මේ ඒ කතාව ය.'

'ඇපලෝ 14' සඳ ගමනට ඇලන් බී. ෂෙපර්ඩ් සහභාගී විය. එ් අනුව ඔහු ද අසිරිමත් සඳ මත ඇවිද ගියේ ය. ඔහු සැලකෙන්නේ සඳේ දෙපයින් සිටගැනීමට වරම් ලැබූ හා ඇවිද ගිය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ය. එසේම සඳේ රස්තියාදු ගැසීමට දුර්ලභ අවස්ථාව ලද පස් වැනි පුද්ගලයා වශයෙනි.

නමුත් ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඒ කිසිවක් නිසා නොවේ. එසේ නම් ඒ කුමක් නිසා ද? ඒ ෂෙප-ර්ඩ් සඳ මත ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ හෙයිනි. ගොල්ෆ් පිත්තක් ලෙස සැකසූ උපකරණයක් සහ ගොල්ෆ් පන්දුවක් භාවිත කර හෙතෙම සඳ මත දී ගොල්ෆ් ක්‍රීඩාවේ නියැළුණේ ය.

ඔහු සැලකෙන්නේ සඳ මත පළමු වරට ක්‍රීඩාවක නිරත වූ පුද්ගලයා ලෙස ය. එහි ඇති විශේෂත්වය වනුයේ මේ දක්වා සඳ මත දී සිදු කළ එක ම ක්‍රීඩාව වන්නේ ද ගොල්ෆ් ක්‍රීඩාව වීමයි. මෙහෙයුම් වාර්තාවේ සඳහන් වී ඇති ආකාරයට ෂෙපර්ඩ් ගොල්ෆ් පන්දු දෙකකට, පහර දෙකක් එල්ල කර තිබේ. ඒ සඳහා ඔහු අදාළ උපකරණ සඳ මතට රැගෙන ගොස් තිබුණේ ය.

අඟහරුවලත්  ක්‍රීඩා කරන්නට පර්යේෂණ

අලි මදිවට කොටි කීවාක් මෙන් ෂෙපර්ඩ්ගේ ක්‍රීඩා උත්සාහය අභ්‍යව-කාශ පර්යේෂකයන් විශ්වයේ බොහෝ ග්‍රහලෝක තරණය කිරීමේ දී භාවිත කිරීමේ උත්සාහයක නියැළෙමින් තිබේ. එහි අලුත්ම පියවර වනුයේ අඟහරු ග්‍රහයා මත ද ක්‍රීඩා කිරීමට ඔවුන් දක්වන උනන්දුව ය.

මෙම අදහස වඩා තීව්‍ර වූයේ 21 වැනි සියවස ආරම්භයේ සිට පෘථිවිය සහ අඟහරු අතර සම්බන්ධතා වඩාත් වැඩිදියුණු කිරීමට පර්යේෂකයන්, විද්‍යාඥයන් සමත්වීමත් සමඟිනි. අඟහරු ග්‍රහයා පිළිබඳ පර්යේෂණ රාශියක් මේ වන විටත් සිදුව ඇති අතර, එම ග්‍රහයා මත ක්‍රීඩා කළ හැකි ආකාරය පිළිබඳව සිදු කර ඇති පර්යේෂණයන්ට සුවිශේෂී තැනක් හිමි වෙයි.

දැනට එය මත සිදු කළ හැකි ක්‍රීඩාවන්, සිදු කළ නොහැකි ක්‍රීඩාවන් මෙන්ම අඟහරු මත ඔලිම්පික් උළෙ-ලක් පැවැත්විය හැකි ද යනාදිය පිළිබඳ ව අවධානය යොමු ව ඇත. ඇතැම් විට මේවා සුරංගනා කතා ලෙස සිතෙන්නට පිළිවන් වුව ද අනාගතයේ යම් දිනෙක යථාවක් වන්නට ද හැකිය. මන්ද ආතර් සී. ක්ලාක් කී බොහෝ දේ මෑත අතීතය තුළ යථාර්ථයන් බවට පත්ව ඇති බව අප දන්නා හෙයිනි.

 

Comments