පච්ච ගැසුවාට අච්චු කරන්න චීනයෙන් තීරණයක් | සිළුමිණ

පච්ච ගැසුවාට අච්චු කරන්න චීනයෙන් තීරණයක්

‘මානව සංස්කෘතික සීමාවනට අනුව මිනිසුන්ට විලාසිතා කළ හැකි යි. තමන්ගේ සිරුරේ තමන් කැමති ආකාරයට ඇඳුම්, පැලඳුම්වලින් වගේම ආභරණවලින්, හිසකේ විලාසිතාවලින් සරසා ගන්න අවස්ථාව උරුම වෙලා තිබෙන්නේ ඒ නිසයි. ඒත් දැන් චීනයේ ඉන්න තරුණ, තරුණියන්ට එම අවස්ථාවන් සීමා කරන්න එරට රජය උත්සහයක නියැළෙනවා. ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඇතැමුන් සලකන්න පිළිවන්. ඒත් තමන්ගේ ජන සමාජයේ පවතින විඥානය තුළ අනාදිමත් කාලයක සිට රැකගෙන එන සංස්කෘතික සීමාවන් බිඳදැමීමක් ලෙස සලකායි චීනය මේ තීරණයට එළඹ ඇත්තේ. මේ ඒ ගැන.’

ගෙවී ගිය දශකය තුළ චීන තරුණ තරුණියන් සිරුර පුරා පච්ච කොට ගැනීමේ විලාසිතාවට නැඹුරු වීම බහුල වශයෙන් දක්නට ලැබිණි.

එය නවීන විලාසිතාවක් ලෙස සැලකුව ද එයට ඇබ්බැහි වූ වැඩි පිරිසකගෙන් සිදු වූයේ රටේ සංස්කෘතියට නොගැළපෙන නිර්මාණ බිහි වීම ය. මේ තත්ත්වය කලක සිට ම ජාතිමාමක චීන ජාතිකයන්ට නම් ඉවසිය නොහැක්කක්ව තිබිණි. එහෙත් ඊට පිළියම් යෙදීම රජයේ යුතුකම බැවින් විවේචන හා චෝදනා එල්ල කිරීම හැර ඔවුනට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

එහෙත් පසුගිය දා චීන පාපන්දු සංගමය ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ට තවදුරටත් අවස්ථාව ලබා දීමට නම් ඔවුන්ගේ සිරුර පුරා කොට ගෙන ඇති පච්චා මකා ගත යුතු බවට නියෝග කර තිබුණා. එම නියෝගයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ පච්චා මකා දැමීමට අපහසු නම් තරගවලට සහභාගී වන කාලසීමාව තුළ පිටතට නොපෙනෙන සේ ඒවා වසා ගත යුතු බවයි.

දැනට ජාතික පිලට හා අවුරුදු 23 න් පහළ ජාතික පිලට එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එලෙස දැනුම් දී තිබූ අතර ඔවුන් මින් ඉදිරියට ජාතික කණ්ඩායම්වලට තෝරා ගනු ලබන්නේ පච්චා කොටා නැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව ද ප්‍රකාශ කරනු ලැබුවා.

සමාජයට ආදර්ශමත් ක්‍රීඩක පරපුරක් හඳුන්වා දීමේ අරමුණින් හා ඔවුන් තුළ මෙහෙවර, වගකීම හා ගෞරවය පිළිබඳ හැඟීම් ඇති කොට වැඩිදියුණු කිරීමත් විනයගරුක ක්‍රීඩක ක්‍රීඩිකා පරපුරක් බිහි කිරීමත් මේ නියෝගයේ මූලික අරමුණ ලෙස සඳහන් ය.

මීට පෙරද එනම්, 2018 වසරේදී චීනය එරට මාධ්‍ය නියාමනය කරමින් රට තුළ එකල ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පැවැති හිප්පොප් සංස්කෘතිය, උප සංස්කෘතිය හා දුරාචාර සංස්කෘතිය මර්දනය කිරීම පිණිස රූපවාහිනී නාලිකා ඔස්සේ පච්චා කොට ගෙන ඇති නළු නිළියන්ට අවස්ථාව නොදිය යුතු බවට ආඥාවක් නිකුත් කර තිබුණා. ඒ නිසා ඒ වන විට විකාශනය වෙමින් තිබූ පච්චා සහිත නළු නිළියන්ගේ පච්චා රූප නරඹන්නන්ට පැහැදිලි ව නොපෙනෙන සේ බොඳ කරන්නට නාලිකාවලට සිදු වූවා.

සීවලී එදිරිවීර

Comments