මගේ බලාපොරොත්තුව ව්‍යාපාරිකාවක් වෙන්න සයුමි සංසංගා දීගනගේ | සිළුමිණ

මගේ බලාපොරොත්තුව ව්‍යාපාරිකාවක් වෙන්න සයුමි සංසංගා දීගනගේ

දිනෙන් දින කලා ලෝකයට පෑයූ පුංචි තරුවක් වන සයුමි සංසංගා දීගනගේ ඇගේ කලා තොරතුරු අප හා බෙදා ගත්තේ ය. අවුරුදු විස්සක කුඩා වයසක් සම්පූර්ණ කරන ඇගේ හැකියාවන් නම් ඉතා විශ්මිත ය. නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් සංගීතයට මූලික අත්පොත් තබන ඇයට සංගීත ක්ෂේත්‍රයට අඩිතාලම වැටෙන්නෙ ඇගේ පියාගෙන් ය. සයුමි ඒ පිළිබඳව ඇගේ කටහඬ අවදි කළේ මෙසේ යි.

" චූටි කාලේ ඉදන්ම මගෙත් එක්කම මගේ තාත්තා තමයි සින්දු කිව්වේ. මම සින්දු කියනකොට තාත්තා එක්ක කියනවා සහ තාත්තා මම එක්ක කියනවා.ඒ වගේම මම කුඩා කාලයේ ඉදන්ම ආස ගායිකාවක් තමයි උමාරා සිංහවංශ මිස්. එයාගෙ ෆොෆොමස් වලට මම පොඩි කාලෙ ඉඳන්ම ආසයි. මම හීන දැක්කා එයා වගේ ගායිකාවක් වෙන්න. ඒ දැකපු හීනෙට තමයි මම දැන් ගමන් කරමින් සිටින්නෙ"

යනුවෙන් සයුමි පවසද්දි අපි ඇගෙන් ඇගේ ගීත පිළිබඳ විමසන්නත් අමතක කළේ නැහැ.

" මම මීට අවුරුදු තුනකට කලින් නෙත්මානෙ කියලා මගෙ ගීතයක් කළා. සංඛ දිනෙත් අයියා සමඟ තමයි මම ඒ ගීතය කළේ. ඒ වගේම ද වොයිස් තරගාවලියේ බැට්ල් රවුන්ඩ් එකට එනකම් මම තරග කළා. එතනින් තමයි මාව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නෙ."

මෙසේ දුර ගමනක් පැමිණි සයුමිට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් හිමිවෙන්න ඇති.එයින් සුවිශේෂි ප්‍රතිචාරයක් මතක් කරන්නට තරම් පුංචි ගායිකාව නිහතමානී වුණේ මෙලෙසයි.

" මට ජීවිතේ අමතකම නොවන ප්‍රතිචාරය තමයි උමාරා සිංහවංශ මිස් එක තැනකදි කියනවා මට ගොඩක් ආඩම්බරයි ඔයා ගැන කියලා. ඒ වචන ටික මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ වගේම මම සංගීතය හදාරන්නෙත් උමාරා සිංහවංශ ළඟ. ඇය නිසා ගොඩක් මම මගේ අඩුපාඩු හදා ගන්නවා. ඇගේ මඟ පෙන්වීම අති විශිෂ්ටයි."

සයුමිගෙ නවතම ගීතයක් පසුගිය දා එළි දැක්වුණා. ඇගේ තොරතුරු සමඟ ඇගේ නව ගීතය පිළිබඳත් සයුමි රසඳුනට පැවසුවේ මෙවන් අදහසක්

"අලුත් ගීතය “NEVER GONNA GIVE UP” මෙහි සංගීතය නිර්මාණය කළේ DJ KYZE AND DJ MASS. ඒ වගේම පද රචනය නවෝ සමරවීර අක්කා. ගායනා කරන්නෙ මම. Senter Record එකෙන් තමයි මේ ගීතය නිෂ්පාදනය කළේ. මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර බොහොමයි. බොහොම හොඳ ප්‍රතිචාර ලැබනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මේ ගීතයෙන් ලොකු අර්ථයක් දෙනවා. ඒ අත් නොහැරීම ගැන. ඔබ දෙයක් ආරම්භ කළ පසු එක අවසානය තෙක් අත් නොහරින්න. කොපමණ අමාරු වුවත් අවසානය තෙක් අත් නොහරින්න කියන පණිවිඩය තමයි මෙයින් ලබා දෙන්නෙ"

කතාබහ අවසානයේ ඇයට මේ දුෂ්කර ගමන සුන්දර කර ගැනීමට උදව් උපකාර කළ පිරිසව මතක් කරන්නටත් අමතක කළේ නැහැ.

" මම මුලින්ම මගේ තාත්තාට අම්මට මල්ලිට ඒ වගේම මම සංගීතය හදාරන තැනට ස්තූතියි කියනවා. මම සංගීතය හදාරන්නෙ උමාරා සිංහවංශ ළඟ. Umara Music Studio එකෙන් තමයි මම සංගීතය හදාරන්නෙ. ඇය තමයි මාව ගොඩක්ම ශක්තිමත් කරන්නෙ. මගෙ යාළුවන්ගෙ වෙනම ගෘෘප් එකක් තියනවා “THE PIRANHAS” කියලා.මිගන්ත, නවෝදා, හරිත්, සචින්, ආදිත්‍යා යාළුවෝ ඔක්කොම මට ශක්තියක්. මගේ අනාගත බලාපොරොත්තුව ගායිකාවක් වීම සහ මම දැනට බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙනවා.මගේ බලාපොරොත්තුවක් තියෙනවා ව්‍යාපාරිකාවක් වෙන්න. ඒ දේවල් එක්ක ඉදිරියටම යන්න තමයි බලාපොරොත්‍තුව"

Comments