සුපර් ලීග් පාපන්දු තරගාවලියේ හරි අඩක් අවසන් | සිළුමිණ

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ හරි අඩක් අවසන්

ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය පාපන්දු ලීග් තරගාවලියකට පරිවර්තනය කිරීමේ අරමුණ ඇතිව ප්‍රථම වතාවට හඳුන්වා දී ඇති ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ හරි අඩක් නිමා කර ගැනීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමත් වී සිටී.

මෙහි සාර්ථකත්වය සොයා තෝරා ගත් කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පෙරහුරු තරගාවලියක් ආරම්භයේදී ම ක්‍රියාත්මක කෙරුණු අතර එමගින් ලද අත්දැකීම් උපයෝගී කර ගනිමින් තීරණාත්මක සුපර් ලීග් තරගාවලිය ආරම්භ කෙරුණේ පසුගිය අප්‍රේල් මස මැද භාගයේ දී ය.

මෙරට ආරම්භක සුපර් ලීග් තරගාවලියේ ශූරයන් තීරණය කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ තරග 15 කි. එහිදී ප්‍රදර්ශනය කරන දක්ෂතා මත රුපියල් මිලියන 50 ක ත්‍යාග මුදලක් සමඟ සුපර් ලීග් අභියෝග කුසලාන හිමි කර ගන්නා කණ්ඩායම තීරණය කෙරේ.

මේ වන විට තරගාවලියේ 06 වැනි සතිය නිමා වන විට පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ කළුතර බ්ලූ ස්ටාර් පාපන්දු සමාජය, කොළඹ පාපන්දු සමාජය සහ නාවික හමුදාව නියෝජනය කරන සී හෝර්ක්ස් පාපන්දු සමාජය ය. ඒ තරග 06 කට සහභාගි වෙමින් ප්‍රසාද ලකුණු 13 බැගින් ලබා ගෙන ය.

මෙතෙක් මුහුණ දුන් තරග ආශ්‍රිත ව එකදු ජයග්‍රහණයක් හෝ සටහන් කර ගැනීමට ගුවන් හමුදාව නියෝජනය කරමින් තරග වදින බ්ලූ ඊගල්ස් සමාජයට මෙන්ම කොළඹ රත්නම් සමාජයට නොහැකි වීම කැපී පෙනේ.

ඉකුත් තරග 30 ආශ්‍රිත ව ක්‍රීඩකයන් රැස් කර ගෙන ඇති ගෝල් සංඛ්‍යාව 88 කි. ඉන් වැඩි ම ගෝල් රැස් කිරීමේ ගෞරවය හිමි කර ගැනීමට පානදුර රෙඩ් ස්ටාර්ස් පිල නියෝජනය කරන මොහොමඩ් රහුමාන් සමත් විණි. ඔහු රැස් කර ගෙන ඇති ගෝල් සංඛ්‍යාව 07 කි.

කොළඹ සමාජයේ චමෝද් ඩිල්ෂාන් (05), රෙඩ් ස්ටාර්ස් සමාජයේ ඉස්මයිල් අබුමෙයර් (05), බ්ලූ ස්ටාර්ස් සමාජයේ සෙනාල් සංදේශ් (05), සී හෝර්ක්ස් සමාජයේ මොහොමඩ් හස්මීර් (04) සහ කොළඹ සමාජයේ මොහොමඩ් ආකීබ් ගෝල් (04) බැගින් වාර්තා කර ගනිමින් ගෝල් රැස් කරන්නන් අතරේ ඉදිරියෙන් පසුවෙති.

සපුමල් වීදිය බණ්ඩාර

Comments