හරි වහර | සිළුමිණ

හරි වහර

අ‍ප්රේල් මස විසි තුන් වැනි දින පළ වූ ‘හරි වහරෙහි’ වියරණ දොසක් ඇති බව එක් හිතවතෙක් පෙන්වා දිනි. එ වනාහි සොම්නස මෙන් ම දොම්නස ද දනවන කරුණෙකි‍. කවර හෙයින් සොම්නස ද නවන්නේ ද? ඉතා විමැසිල්ලෙන්, සැලැකිල්ලෙන් ‘හරි වහර’ කියවන පාඨක පර්ෂදයකුදු සිටුනා බව එයින් හෙළි වන හෙයිනි. කවර හෙයින් දොම්නස දනවන්නේ ද? නිවැරැදි බස් වහර දැක්වීමේ අරමුණින් ම ලියැවෙන මෙ බඳු ලිපියෙක දු වියරණ දොසක් දක්නා ලද හෙයිනි.

ඒ දොස් ඇති වැකිය මෙසේ යි “මෙ වදන ඇතැම්හු ගඳඹ, ගඳඹ ආදී නොයෙක් ලෙසින් විකෘති කොට ලියනු දක්නට ලැ‍බේ” මෙහි වියරණ දොසක් මතු නො ව තවත් පහරු දොස් (මුද්‍රණ දෝෂ) කිහිපයකුදු වන බව පෙනී යයි‍. ඒ සියල්ල සැකැසූ විට නිවැරැදි වැකිය මෙසේ විය යුතුයි.

“මෙ වදන ඇතැමුන් ගදබ, ගඳබ ආදී නොයෙක් ලෙසින් විකෘති කොට ලියනු දක්නා ලැබේ.”

මෙය ‘සිළුමිණ’ පුවත් පතින් වූ වරදක් නොවන බව කිව යුතුයි. පරිගණකයෙන් අක්ෂර සංයෝජනය කරන ලද පිටපතෙහි සෝදුපත් කියැවීමේදී වූ ප්‍රමාදයෙකි. මෙය පෙන්වා දුන් හිතවතාට නොවක් පින් පිරිනැමේ.

දැන්, වහරෙහි වරදවා යෙදෙන වදන් කිහිපයක් විමසමින් එහි හරි හරි වහර මතු කැරගනිමු.

1. ඛනිජ - මේ සංස්කෘත තත්සමය ඇතැමුන් (මූර්ධජ) ණ සහිත කොට ‘ඛණිජ’ යි ලියනු බොහෝ සෙයින් දක්නා ලැබේ‍. වියතුන් ලෙස ගැනෙනා බොහෝ දෙනකු පවා මෙ වරද නිතර නිතර කරන සැටි දක්නා කල දොම්නස් උපදී.

සංස්කෘතයෙහි ‘ඛන’ ධාතුව කැණීම් අරුතෙහි යෙදේ‍. එයින් ඇති වූ ‘ඛනි’ යන වදනින් ‘ආකරය’ යන අරුත හැඟැවේ. ඒ අනුව, ආකාරයෙන් උපන් දෑ (ඛනි + ජ) හිඟවනු පිණිස මේ ඛනිජ යන්න භාවිත කැරේ. මෙහි (මූර්ධජ) ‘ණ’ යෙදීමට හේතුවක් නො පෙනේ.‍ සිංහලයෙහි නම් (කැණීමෙහි) ‘කණ’ ධාතුව (මූර්ධජ) ‘ණ’ සහිත වැ යෙදේ. ඇතැමුන් ‘ඛණිජ’ යනු යෙදෙන්නේ ඒ හා ‘ඛනිජ’ යනු පටලවා ගැන්මෙනැයි සිතිය හැකි ය.

2. ඛ‍‍..ග - මෙ ද සංස්කෘත තත්සමයෙකි. මෙහි මුල (මහාප්‍රාණ) ‘ඛ’ හා අග (අල්පප්‍රාණ) ‘ග’ යෙදෙන සැටි කෙරෙහි සැලැකිල්ල යොමු කළ මනා ය. මෙයට අනුරූප වැ පාලියෙහි යෙදෙනුයේ ‘ඛග්ග’ යන වදනයි. සිංහලයෙහි වනාහි දෙ වදනක් මේ හා අනුරූප වැ යෙදෙයි. එකක් නම් ‘කඩු’ යනු යි. අනෙක ‘කග’ යනු යි. කග යන්නෙහි (සඤ්ඤක) ග නොයෙදෙන බව වෙසෙසින් සැලැකිය යුතු කරුණෙකි. එහෙත්, ඛග්ග යනු විසාරණ (අඟ) යන්න හා සමාස වැ, පාලියෙහි යෙදෙන ‘ඛග්ග විසාණ’ හා අනුරූප වැ සිංහලයෙහි යෙදෙන ‘කඟවේණ’ යන වදනෙහි නම් (සඤ්ඤක) ‘ඟ’ යෙදෙන සැටි මැනැවින් දක්නා ලැබේ‍. උච්චාරණ සුඛය - කියැවීමේ පහසුව - සඳහා මෙසේ යෙදේ ද යනු තව ද දුරට විමසා බැලිය යුතු ය.‍

3. ගර්භණී - ගර්භණී යනුත් සිංහලයෙහි ‍නිරතුරු වැ යෙදෙන සංස්කෘත තත්සමයෙකි‍‍. මෙහි ස්ත්‍රී ලිංග ප්‍රත්‍යයයේ යෙදෙනුයේ (දන්තජ) ‘නී’ යනු ම ය‍. එය (ම‍ූර්ධජ) ‘ණී’ බවට පත් වනුයේ ‘ර්’ කාරයේ බලපෑමෙනි. (කලිනුදු වරෙක ‘හරි වහරෙහි’ ලා විස්තර කරන ලද) ‘අවකුප්වන්තරේණ’ යන සංස්කෘත ව්‍යාකරණ සූත්‍රයෙන් කියැවෙන රීතිය අනුව එසේ ‘නී’ යළි ‘ණී’ බවට පැමිණේ. එ හෙයින් ‘ගර්භණී’ විනා ‘ගර්භනී’ යනු වියත් වහරට සුදුසු නො වේ‍.

එ නමුදු මේ ‘ගර්භණී’ හා අනුරූප ව, පාලියෙහි යෙදෙනුයේ නම් (දන්තජ) ‘නී’ සහිත වූ ‘ගබ්භිනී’ යනු යි‍. සිංහලයෙහි දු ‘ගැබිනි’ යනු ම යෙදේ. ගර්භයක් - දරු ගැබක් සහිත වූ ස්ත්‍රිය මෙයින් කියැවේ.‍

Comments