මගේ ජීවිතයේ ඉලක්ක තුනක් තිබෙනවා | සිළුමිණ

මගේ ජීවිතයේ ඉලක්ක තුනක් තිබෙනවා

 

'අඩි පහයි අඟල් එකොළහක් උස විසි පස් හැවිරිදි යොවුන් විය මධ්‍යයේ වෙසෙන රවිඳු ලක්සිරි ශ්‍රී ලංකාවේ ජාතික ස්කොෂ් ශූරයා ය. පසුගිය දා ඔහු ඇතුළු ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ස්කොෂ් කණ්ඩායම ආසියානු ජ්‍යෙෂ්ඨ ස්කොෂ් තරගාවලිය වෙනුවෙන් මැලේසියාවට ගියේ ය. ඔහු ඇතුළු කණ්ඩායම එහි දී ලබාගත් සුවිශේෂි ජයග්‍රහණයත් සමඟ 'ක්‍රීඩා' ඔහු හා පැවැත් වූ සුහද සංවාදයකි මේ.'

කොහොම ද මෙවර මැලේසියානු තරග සංචාරය?

2019 අවුරුද්දෙන් පස්සේ අපි විදේශ තරග සංචාරයක් සඳහා ගියේ පසුගිය ආසියානු ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් ස්කොෂ් තරගාවලියට යි. 2012 අවුරුද්දෙන් පසුව අපට ආසියාවේ 10 වැනි ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණා. ඇත්තටම ඒ පිළිබඳ අපිට සතුටුයි.

කවුද ඔබේ ප්‍රතිවාදී කණ්ඩායම් වුණේ?

ඉරානය, හොංකොං, කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසි-යාව හා පිලිපීනය කියන රට්වලින් ආපු ජ්‍යෙෂ්ඨ ස්කොෂ් කණ්ඩායම් තමයි.

මීට පෙර පැවැති මෙම ස්කොෂ් තරගාවලියේ අපි හිටියේ කොතැන ද?

අවසන් වරට මෙම තරගාවලිය පැවැත්වුණේ 2018 වසරේ කොරියාවේ දී යි. එහි දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට 13 වැනි ස්ථානය දිනා ගැනීමට හැකි වුණා.

මේ තරගාවලිය කොහොම ද ශ්‍රේණිගත කිරීම්වලට බලපෑම් කරන්නේ ?

අපේ කණ්ඩායමට සෙසු රටවල ක්‍රීඩකයින්ට සාපේක්ෂව අඩු විදෙස් තරග අත්දැකීම් හිමිවන්නේ. එවැනි තත්ත්වයක් යටතේ ආසියාවේ පළමු-වැනි දහ දෙනා ඇතුළට පැමිණීමට සමත් වීම අප ලබාගත් විශාල ජය-ග්‍රහණයක්. එතැන දී අපි ප්‍රබල සිං-ගප්පුරුව 2-1 ක් ලෙස පරාජය කළා. ඒ ඉතිහාසයේ පළමු වතාවට. ඒ වගේ ම ඉන්දුනීසියාව ද 2-1 ක් ලෙස පරාජය කරන්න හැකියාව ලැබුණා.

අපි දැන් ලෝක ශ්‍රේණි සටහනේ කොහේ ද ස්ථානගත වන්නේ?

ආසියාවේ දහය. ලෝක ශ්‍රේණිගත කිරීම් තරග වෙනුවෙන් අපි ක්‍රීඩා කරලා නැති නිසා ස්ථානයක් නෑ.

ස්කොෂ් ක්‍රීඩාව තුළින් අපිට රටක් වශයෙන් තවත් ඉදිරි ගමනක් අපේක්ෂා කරන්න හැකි ද?

අනිවාර්යෙන්ම. දැනට අපේ රටේ තරුණ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම සිටිනවා. මම දකින ආකාරයට ජාත්‍යන්තරය ජයගැනීමට නම් ක්‍රීඩකයින් ව රැක ගත යුතුයි. ක්‍රීඩකයෙක් වශයෙන් මට තියෙන ලොකුම ගැටලුව ජාත්‍යන්තර තරග අත්දැකීම් අඩුකමයි. එසේම තරග ක්‍රීඩා කළොත් පමණයි මට ලෝක ශ්‍රේණිගත කිරීමකට යා හැකි වන්නේ. අනික් කාරණාව නම් අපි ක්‍රීඩා කරන පිටි ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් විය යුතුයි. ඒ නිසා අපි ජාත්‍යන්තර තරගයක දී ක්‍රීඩාංගණයට හුරුවෙන්න දින කීපයක් ගන්නවා. අපේ පිටි එම ප්‍රමිතියට සකස් කළා නම් අපට ජාත්‍යන්තර තරග සඳහා අනුවර්තනය වෙන්න ලෙහෙසියි.

විදේශීය පුහුණුවක්, විශේෂඥ විදෙස් පුහුණුකරුවකු ගැන ජාතික ශූරයා වශයෙන් ඔබේ අදහස මොකක් ද?

ජාත්‍යන්තර තරග ජය ගැනීමට නම් ඔය කියන කාරණාව වැදගත්. මොකද Squash ක්‍රීඩාව කියන්නේ ලංකාව තුළ දියුණු වෙමින් පවතින ක්‍රීඩාවක්. ඉතින් ක්‍රීඩකයින් හැටියට අපි තවත් ඉගෙන ගත යුතු දේවල් බොහොමයක් තියෙනවා. එම නිසා හොඳ විදේශීය පුහුණුවීමේ අවශ්‍යතාවය අනිවාර්ය යි. ඒ අතරින් ඉතා වැදගත් ම කාරණාව ජාත්‍යන්තර තරග අත්දැකීම් වැඩි වැඩියෙන් ලබාදීමේ අවශ්‍යතාවයයි. මෙම අවශ්‍යතාවය ලැබෙන්න ලැබෙන්න තමයි දක්ෂ පරිණත ක්‍රීඩකයින් බිහිවන්නේ.

ඇත්තටම ශ්‍රී ලංකාව ඇතුළේ ස්කොෂ් ගහලා හරි ගියේ කාටද කියලා සමහරු විමසනවා. ඇත්තටම ස්කොෂ් ගහලා ඔබට මොනවද ලැබුණේ?

දැනට මම වසර දහ හතක් ස්කොෂ් ක්‍රීඩාව කරනවා. වර්තමාන තත්ත්වය අනුව ස්කොෂ් ක්‍රීඩාව කරන්න විශාල වියදමක් දරන්න සිදුවෙනවා. මොක ද ස්කොෂ් ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා පිටි හා පුහුණු කරුවන් සඳහා යන වියදම් ලෙසය. හැබැයි ස්කොෂ් නිසා මට ලැබුණු ලොකුම ත්‍යාගය මගේ ආයතනය. ඒ තමයි Brandix ආයතනය. ඔවුන් මගේ ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න විශාල අත්වැලක් දෙනවා. ලංකාව තුළ Squash ක්‍රීඩාව දියුණු වෙමින් පවතින ක්‍රීඩාවක් නිසා මම හිතනවා ඉදිරි වසර කිහිපය තුළ ස්කොෂ් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයින්ට මෙන් ම රටට ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙයි කියලා.

ජීවිතේ වෙන ක්‍රීඩාවක් තෝරාගන්න අදහස් පහළ වුණේ ම නැද්ද

මම මුලින්ම කළේ බැඩ්මින්ටන් ක්‍රීඩාව යි. ඊට පස්සේ ස්කොෂ් ගැහුවේ අයියා නිසා. නමුත් මම පාපන්දු ක්‍රීඩාවටත් කැමතියි.

ඔබට දකුණු ආසියාව හා ආසියාව තුළ ඉදිරියට යද්දී මොන වගේ අභියෝග ද තිබෙන්නේ?

මම හිතනවා කලින් මම කියපු කාරණා දෙක ඒ කියන්නේ විදෙස් තරග හා විශේෂඥ පුහුණුවක් මට ලැබෙනව නම් දකුණු ආසියාව හා ආසියාව ජය ගැනීමට එය විශාල අත්වැලක් වෙයි කියලා.

ලෝක මට්ටමේ තරගවලට ස්කොෂ්වලින් යන්න අපිට හැකියාවක් තිබෙනවා යැයි ඔබ හිතනව ද?

දැනට ස්කොෂ් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නෑ. මෙම ක්‍රීඩාවේ ප්‍රධානතම තරගය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල. මම දැනට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි දෙකක් නියෝජනය කරලා තිබෙනවා. ඒ වගේම තවත් විශේෂතම තරගාවලියක් වන ලෝක යුගල ක්‍රීඩා උළෙල වෙනුවෙන් 2019 වසරේ ඕස්ට්‍රේලියාවෙහිදී පිරිමි යුගල ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීමේ දහවන ස්ථානය දිනා ගැනීමට අපට හැකි වුණා. එහි දී මගේ සහායකයා වූයේ ෂමිල් වාකීල් (Shamil Wakeel). ඉදිරි වසරේ දී මෙම ඉසව්වෙන් ලංකාවට ජයග්‍රහණ රාශියක් ගෙන එන්න අප දෙදෙනා ම බලාපොරොත්තුවෙනවා.

දරාගැනීමේ හැකියාව, වේගය, තාක්ෂණය, පාද චලනයේ විශිෂ්ටත්වය ස්කොෂ් ක්‍රීඩාවට බොහෝ වැදගත්. අපේ රට තුළ ඒ හැකියාවන් ඉහළ ක්‍රීඩකයන් බිහිකරන්න පුළුවන් ද?

අනිවාර්යෙන් ම දැනට ලංකාවේ ඉතා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම සිටිනවා. ඔවුන් සතුව මේ කියන සියලුම දේවල් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වන්-නේ නිවැරැදි මඟ පෙන්වීමක්. එහෙම ලැබුණොත් මේ ක්‍රීඩාව ලංකාවේ අංක එකේ ක්‍රීඩාව බවට පත් කළ හැකියි.

ඔබේ ස්කොෂ් ජීවිතයේ ඉලක්කය මොකක් ද ?

මගේ ප්‍රධාන ඉලක්ක තුනක් තියෙනවා. ඒ ඊළඟ වසරේ පැවැත්වෙන ලෝක යුගල තරගාවලිය හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී යුගල ඉසව්වෙන් පද-ක්කමක් දිනා ගැනීම. ආසියාවේ පළමු ක්‍රීඩකයින් අට දෙනා අතරට පැමිණීම. ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩ-කයින් පනස් දෙනා අතරට පැමිණීම.

පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් කතා කරමු?

මගේ ජීවිතයේ අංක එක තමයි ස්කොෂ්. ඉතින් මගේ ඉලක්කය කරා යන්න ඒ වෙනුවෙන් සෑම විටම ඇප කැපවෙනවා. විශේෂයෙන් ම අම්මයි, තාත්තයි, අයියයි මතක් කරන්න ඕනෑ. ඒ තුන් දෙනා නොහිටින්න රවිඳු කියලා ක්‍රීඩකයෙක් බිහිවෙන්නේ නෑ. ඒ වගේම මට දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න උදව් කරපු සියලුම පුහුණුකරුවන්, කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලය හා ආදි ශිෂ්‍ය සංගමය ගෞරවයෙන් සිහිපත් කරනවා.

කාන්ති ජයසිංහ

Comments