
සම්බුදු තෙමඟුල් අසිරියෙන් මුළු රටම පහන් වී දිළෙන පින්බර වෙසක් දිනයේ දී මුළු රටම ආදරයෙන් මෛත්‍රියෙන් පුරවමින් ප්‍රේක්ෂකයන් නැවුම් නිර්මාණයන් ඔස්සේ සාරධර්මයෙන් මිනිසත්බවින් මෙන්ම ත්‍යාගශීලී ගුණයෙන් පොහොසත් කරන්නට රූපවාහිනී නාලිකා මේ වන විට සියලු කටයුතු සූදානම් කර හමාරය. මේ දිගහැරෙනුයේ පින්බර වෙසක් දිනයේ ඔබ වෙත ගෙන එන ඒ විවිධ වෙසක් ටෙලි නාට්‍ය පිළිබඳ තොරතුරුයි.
අඳුරු සිතුවිලි වර්ණවත් කරන පාටපාට රූපවාහිනියෙන්
මෙවර ජාතික රූපවාහිනියෙන් අපූර්ව වූ වෙසක් නාට්‍යයක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට නියමිතය. එය නම් කර ඇත්තේ ‘පාට පාට ‘නමිනි. පාට පාට ඒකාංගික ටෙලි නාට්‍යය නලින් මාපිටියගේ අධ්‍යක්ෂණයකි. තරිඳු හා ආනන්ද පිරිමි දරුවන් දෙදෙනා අසල්වැසියන්ය. ආර්ථික අගහිඟකම්වලින් පෙළෙන තම පියාට වෙසක් සමයේ ආර්ථිකමය වශයෙන් උපකාර කරන්නට තරිඳු සිතයි. ඒ වෙනුවෙන් ඔහු වෙසක් සමයේ පාටපාට වෙසක් කූඩු නිර්මාණය කර අලෙවි කරන්නට සිතයි. මෙයට ඔහුගේ දෙමළ මිතුරා වන ආනන්දගේ සහයෝගයත් නිබඳවම ලැබෙයි. නමුත් මේ සහයෝගය වැරදියට තේරුම් ගන්නා තරිඳුගේ පියා මේ දරුවන් දෙදෙනාගේ උත්සාහයට කුමක් කරයිද? ඔවුන්ගේ පරමාර්ථය ඉටුකරයිද? නැතිනම් බොඳකර දමයිද? මේ සියල්ල මේ 14 වැනිදා රාත්‍රි 8.35ට ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබේ නෙත ගැටේවි. ‘පාටපාට‘ටෙලි සිතුවමේ අධ්‍යක්ෂක නලීන් මාපිටිය ටෙලි නාට්‍යය ගැන දක්වන්නේ මෙවන් අදහසකි.
‘පාට පාට ටෙලි නාට්‍යයේ කතා තේමාව වර්තමාන සමාජයේ දක්නට ලැබෙන චරිත ඔස්සේ නිර්මාණය වූවක්. ආර්ථික අගහිඟකම් මත ජීවිතය ගෙන යන දමිළ හා සිංහල දරුවන් දෙදෙනෙක් අතර ගෙතෙන මේ ටෙලිනාට්‍යයෙන් වර්තමාන සමාජයේ නිබඳවම කතාබහට ලක්වෙන මනුෂ්‍යත්වය, සංහිදියාව පිළිබඳ කතාබහට ලක්වෙනවා. විශේෂයෙන් බුදුන් වහන්සේගේ ධර්මය වර්තමාන සමාජයට මොනතරම් වටිනවාද කියන දේ මෙයින් ස්මතු වෙනවා. මිනිස් සිත් සංතානයේ පවතින දුර්මත, සිතුවිලි අවබෝධ කර ගැනීමට මෙන්ම එම අඳුරු සිතුවිලි ධර්මයෙහි පිහිටා කටයුතු කිරීමෙන් වර්ණවත් සිතුවිලි බවට පත් කර ගන්නට හැකියාව ලැබෙන බව මේ ඔස්සේ සමාජයට පෙන්වා දෙන්න උත්සාහ කරනවා.
සිත නිවන කතා වෙසක් මාසය පුරාවට
ජාතික රූපවාහිනියේ සදහම් කතා මාලාව 'සිත නිවන කතා' වෙසක් මාසය පුරාවට ජාතික රූපවාහිනියෙන් විකාශයවීමට නියමිතය. 2001 වසරේ සිට මේ දක්වාම සිත නිවන කතා නාට්‍ය 200කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බවත් ඒ අතරින් තෝරාගත් නාට්‍ය ප්‍රමාණයක් ලබන 08 වැනි දා සිට සතියේ දින 05 දී ම රාත්‍රී 8.35ට විකාශය වීමට මේ වන විට සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂක ප්‍රවීණ නිර්මාණවේදී දයාරත්න රටගෙදර පවසයි. ' මේ ටෙලි නාට්‍ය මාලාව වර්තමානයේ ප්‍රේක්ෂකයන් අතර සෑහෙන දුරට කතා බහට ලක් වී තිබෙනවා. සෝමවීර සේනානායකයන්ගේ සංකල්පයක් අනූව තමයි මෙය නිර්මාණය වුණේ. ඔහු සිත නිවන කතා මාලාවේ නාට්‍ය සියයකට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. මේ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවට වස්තු විෂය වන්නේ සමාජයේ පවතින සත්‍ය කතා තේමාවන්. හුදෙක් සාම්ප්‍රධායික පෝය නාට්‍ය කලාවෙන් බැහැරව ඕනෑම සමාජයකට ඕනෑම කාලයකට ගැළපෙන පරිදියි මෙය නිර්මාණය වන්නේ. මේ 8 වැනි දා සිට සතියේ දින පහේම රාත්‍රී 8.35 ට සිත නිවන කතා අතුරෙන් තෝරාගත් ටෙලි නාට්‍ය තිරගත වෙනවා. මේ නාට්‍ය පෙළේ තවත් විශේෂත්වයක් තමයි මෙයට ලංකාවේ සිටින බහුතරයක් නළුනිළියන් දායක වි තිබීම. එලෙසම මේ සිත නිවන කතා ටෙලි නාට්‍ය පෙළ බෞද්ධ, අබෞද්ධ සෑම ප්‍රේක්ෂකයකුම පාහේ නරඹනවා. ඔවුන්ගෙන් අපට ලැබෙන ප්‍රතිචාර ඉහළයි.