
මම රවි ජයවර්ධන මුලින් ම දැක්කේ කොළඹ කොටුව ‘පැගෝඩා’ හෝටලයේය. මා ජ්‍යෙෂ්ඨ හිත මිත්‍ර ප්‍රවීණ සිනමා විද්‍යාර්ථි අමරනාත් ජයතිලකත් මමත් දවසක් පැගෝඩා එකේ කේක් කෑල්ලක් කා තේ එකක් බොමින් සිටියදි අමරනාත් මට රවී ව පෙන්නුවා.
රවීට සිංහල සිනමාවත් එක්ක කිසියම් සම්බන්ධකමක් තිබ්බා. ‘රන්මුතුදූව’ චිත්‍රපටය තැනීම පිටුපස සිටි එක් අදෘශ්‍යමාන චරිතයක් රවි. මා අසා ඇති ආකාරයට ශේෂා පලිහක්කාරට ආතර් සී. ක්ලාක් හඳුන්වා දී ඇත්තේ ඔහු.
රවි මුල්වරට විවාහ වූයේ කලාකාරිනියක් සමඟයි. ඇය නැටුම් ශිල්පිනියක්. නම ශ්‍යාමෙන් වැන්ඩර්කෝන්. මා නිවැරැදි නම් ශේෂාගේ ‘සරදපානි’ නැටුම් ආයතනයට ආ ශිෂ්‍යාවියක්.
එකල රවී පිළිබඳ කිසියම් වීරත්වයක් මා තුළ තිබුණා. ඒ අන් කිසිවක් නිසා නෙවේ. ක්ෂණයකින් (තත්පරයක් ඇතුළත) සාක්කුවේ තියෙන පිස්තෝලය අතට ගෙන පිටපිට වෙඩි දෙකක් තැබීමේ හැකියාව නිසාවෙන්. ගොපලු සිනමාවේ වීරයා වන ක්ලින්ට් ඊස්ට්වුඩ් මාගේ සිත් ගත් සිනමා චරිතවලින් ප්‍රමුඛ එකක්. ඒ නිසා රවිගේ දක්ෂතාව ගැන මට තිබුණේ විශාල පැහැදීමක්.
අනිත් කාරණය රවි තුළ තිබුණ නිර්භීත බව. භීෂණ යුගයේ ඔහු තම සගයන්ට කිව්වේ කිසියම් කෙනෙක් තමාට වෙඩි තැබුවොත් ඝාතකයා මිය යා යුත්තේ තමාගේ ම පිස්තෝලයෙන් තබන වෙඩි පහරින් පමණක්ය කියලයි. බලන්න මොන තරම් නිර්භීත ප්‍රකාශයක් ද?
මීට වසර තුකට පමණ ඉහත රවි හමුවී සම්මුඛ සාකච්ඡාවක් කිරීමේ විරල භාග්‍යයක් මට ලැබුණා. ඒ දවස්වල ඔහු හෘදයාබාධ සඳහා සායනයක් පවත්වගෙන ගියා. ඒකට කිව්වේ ‘කිලේෂන්’ ප්‍රතිකාර ක්‍රමය කියලා. මේක සමාජ සේවයක් විදියටයි පවත්වාගෙන ගියේ. ඔහු ළඟ විශේෂඥ වෛද්‍යවරු පස්දෙනෙක් නොමිලේ සේවය කළා.
රවි දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නොතිබුණ පෞද්ගලිකව ගත්ත ම බොහෝම නිහතමානි චරිතයක්. ඔබ පුදුම වේවි. තාත්තා ජනාධිපති වෙලත් (ජේ.ආර්. ජයවර්ධන) ඔච්චර නිලවාහන තිබිලත් කොටුවේ පැගෝඩා එකට වෝඩ් පෙදෙසේ ඉඳන් ගියේ පයින්. වාසනාවකට වගේ කිසිම කෙනෙක් ඔහු හඳුනාගත්තෙ නැහැ. මොකද පත්තරේකවත් රූපවාහිනියෙවත් ඔහුගේ පිංතූර පළවුණේ නැහැ.
ජේ.වී.පී. එක තමාව අවස්ථා දෙකකදි මරන්න සැලසුම් කරගෙන තිබුණු බව අපේ සාකච්ඡාවෙදි රවි හෙළිදරව් කළා. එක අවස්ථාවක් පැගෝඩා හෝටලයේදී. අනික් අවස්ථාව ගෝල්ෆේස් එකේ පැවති විවාහ උත්සවයකදි.
පැගෝඩා එකේ ඝාතන සැලැස්ම රවීට කල්තියා දැනගන්ට ලැබුණා. ඒ නිසා ඔහු කෝකටත් හිටියේ ලැහැස්ති පිට. ඒත් ඝාතකයන් ආවේ නැහැ. රවි හිතන්නේ තමන් ලැහැස්ති පිට හිටපු බවට ඔත්තුවක් ඔවුන්ට ගිය නිසාදෝ නොපැමිණි බවයි.
ගෝල්ෆේස් හෝටලයේ ඝාතන තැත රවි මට විස්තර කළ වචනයෙන් ම මං ලියන්නම්.
“මමයි අස්සන් කරන්න නියමිතව සිටියේ. මම අස්සන් කරලා කලින්ම යන්න ගියා. ඊට පස්සේ කට්ටියක් ඇවිත් අහල තියෙනවා රවි ජයවර්ධන මහත්තයා ඇතුළේ ඉන්නවද කියලා. ඒ මහත්තයා ඇවිල්ලා ගියානේ කියල එතැන හිටපු කෙනෙක් උත්තර දිලා තියෙනවා. ජේ.වී.පී. අය මෙග් රූපකාය දැකල තිබුණෙ නැහැ. ඒක වාසනාවකට හිටියා.”
රවි එක්තරා කාලයකදි පැවිදි වෙස්ගත්තා. තායිලන්තයට ගිහිං අවුරුදු තුනක් පැවිදිව හිටියා. ඇයි එහෙම මහණවෙන්න සිතුවේ. මා එදා ඔහුගෙන් විමසුවා. ජීවිතයේ සත්‍යය සොයා බැලීමේ හා බුදු දහමේ ගැඹුර සොයා බැලීමේ ආශාවක් තමන්ට ඇතිවුණු බවයි. සිවුර පොරවගෙන සිටියදි තමාට විශාල සුවයක් සහනයක් දැනුණු බව හෙතෙම තවදුරටත් කිව්වා. ලොකු බරක් මනසින් අහක්වුණු බවක් තමාට තේරුණු බවත් කිව්වා.
අවසාන වශයෙන් ජීවිතය දිහා ආපසු හැරිලා බලද්දි හිතෙන්නේ මොනවාදැයි සාකච්ඡාව හමාරවෙද්දි මම ඔහුගෙන් ඇසුවා. ඔහු ඊට දුන් පිළිතුරන් මේ තීරු සටහන නිමා කරනවා.
“ධර්මය ගැන මීට ඉස්සර ඉඳන් හිත යෙදෙව්ව නම් හොඳයි කියල හිතෙනවා. අපි කාලය කොච්චර අපතේ හැරලා තියෙනවද? කියලා හිතෙනකොට ඇති වන්නේ බලවත් කනගාටුවක්.