ශ්‍රී සම්බුද්ධ ජය­න්තිය වෙනු­වෙන් සනත් අබේ­සේ­ක­රගේ පිං වඩන පුණ්‍ය­භූමි වන්දනා | සිළුමිණ

ශ්‍රී සම්බුද්ධ ජය­න්තිය වෙනු­වෙන් සනත් අබේ­සේ­ක­රගේ පිං වඩන පුණ්‍ය­භූමි වන්දනා

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ ‘පිං වඩන පුණ්‍යභූමි වන්දනා‘ නම් වූ දැවැන්ත සිනමා නිර්මාණය 2017 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙයි. පුරා විද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා උන්වහන්සේගේ වසර 55ක පුරාවිද්‍යාත්මක බුද්ධිමය ගවේශන අනුසාරයෙන්ද කොළොන්නාවේ රජමහා විහාරාධිපති පූජ්‍ය පොලොන්නරුවේ ධම්මික හිමිපාණන් වහන්සේගේ නිෂ්පාදනයෙන්, ප්‍රධාන දායක කිත්සිරි මෙවන් මහතාගේ සහාය නිෂ්පාදනයෙන් බිහිවුණු මේ බෞද්ධ චිත්‍රපටය සඳහා මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළමු හා දෙවැනි වාරය සඳහා පාසල් හා දහම් පාසල් ළමයින් හට ප්‍රදර්ශනය කළ යුතු සහ ඔවුන් නැරඹිය යුතු සිනමාපටයක් ලෙස නිර්දේශ කොට තිබේ.

ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, දිල්හානි ඒකනායක, නදීශා පෙරේරා, ගයේෂා පෙරේරා, සංගීතා වීරරත්න, කුසුම් මල්දෙණිය, ජී.ආර් පෙරේරා, පාලිත සිල්වා, වැනි ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් නොමිලේ රංගනයෙන් දායකවන මේ චිත්‍රපටය බස්නාහිර පළාතේ තෝරාගත් පාසල් 22ක ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එහි මංගල දැක්ම පසුගිය 24දා කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයේදි පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ආරම්භයේ සිට විකාශනය පිළිබඳ ඉතා ගැඹුරින් ගවේෂණය කොට වසර 1 1/2ක පමණ කාල පරාසයක් තුළ නිර්මාණය කළ මේ චිත්‍රපටය අපේ රටේ මතු පරපුරට ඉතිහාසය පිළිබඳ දැනුම ලබාගන්නට හැකි සුවශේෂි වු කලා නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය.

සනත් අබේසේකර මහතා මෙම නිර්මාණය පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

‘‘මෙය අෂ්ට ඵල රුහ, දෙතිස් ඵල රුහ, අටමස්ථාන, සොලොස්මස්ථාන, පිහිටි පිංබිම් පිළිබඳව පුරාවිද්‍යා බෞද්ධ ධර්ම ගවේෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.මේ අතරින් අෂ්ට ඵල රුහ පිළිබඳව විස්තර කරනවා නම් , අපේ මේ පින් බිමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩමවා දේවානම් පියතිස්ස රජතුමා තමයි එය රෝපණය කරන්න කටයුතු කළේ. ඒ අවස්ථාවේ බෝධීන් වහන්සේ රජතුමා අතින් අහසට පැන නැගිලා නොපෙනී ගිහින් තිබෙනවා. පසුව යළි පොළවට පතිත වන කොට ඒ තුළින් ගෙඩි 8 ක් හට ගෙන තිබෙනවා.ඒ ආශ්චර්ය තුළින් හටගත් ඵල එවකට සිටි ක්ෂත්‍රීය රජවරු පෙරහරින් වඩමවා රෝපණය කරන්න කටයුතු කර තිබුණා. කතරගම, මිහින්තලේ, දඹකොල පටුන, බලන්ගොඩ, තන්තරිමලේ, වෙස්සගිරිය, ථූපාරාමය ඉදිරිපසින් සහ ථූපාරාමය පිටුපසින් මෙම අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ අදත් වැඩ හිඳිනවා. මෙම චිත්‍රපටයේ මේ සියලු ස්ථාන දැක ගත හැකියි.‘‘ 

 

Comments

පිටු