
සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා මා තනි වෙලා... වලාකුළ කුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත අඳුර පමණක් රජවෙලාසැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනිවෙලා මා තනිවෙලා ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා මා තනි වෙලා...
ගී පද - මඩවල එස්. රත්නායක
සංගීතය හා ගායනය - විශාරද නන්දා මාලනී
හදිසියේම මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ ප්‍රවීණ චරිතාංග නළු කුමාර තිරිමාදුරගෙන්. “අමකර කුරවි සරින් කියන්නෙ මොකක්ද අයියේ....” ඒකට උත්තරයක් දෙනව මදිවට රසවින්දනයක් කරන්නත් වුණා. කතාව දුරදිග ගිය නිසාම “රසඳුන”ටත් ඒ ගැන ලියන්න හිතුණා.
ජීවිතය හරිම පුදුමාකාරයි. අපේ ආත්මය දයාව, කරුණාව, වෛරය, ඊර්ෂ්‍යාව වගේම ආදරයෙන් පිරිලා. විටෙකදි අප ගොඩක් සතුටු වෙනවා. තවත් විටෙකදි ගොඩක් දුක් වෙනවා. දෙනෝ දහක් මැද්දෙද්දි වුණත් අපට තනිකම දැනෙනවා. අපට විවිධ අය හමුවෙනවා. ආයෙ වෙන්වෙනවා.
"සුවඳ දිදී මල් පූදින වෙලාවට
කාගේ දෝ තවත් සුවඳක් දැනේ මට
සිනා සපිරි තෙපුලෙන් පිරි සැඳෑවට
දෙනෝදහක් මැද තනිකම දැනෙයි මට"
(මහාචාර්ය සුනිල් ආරියරත්න)
එවැනි සංකීර්ණ මනෝභාවයක් අන්තර්ගත අපූරු නිර්මාණයක් "වත්සලා අක්කා" චිත්රපටියෙ තියෙනවා.
සඳ මෝරා උඩු ගුවනට එන කලට
ඔබෙ රුව පෙනෙනවා කවුළුව තුළින් මට
ඉකිලන හදින් තනි යහනේ ඉන්නවිට
හැමට ම වඩා මා ගැන දුක හිතෙයි මට
විරහව තරම් හදවත පාරවන සිතිවිල්ලක් තවත් කොයින්ද? තමන්ට අවශ්‍යම මොහොතක අවශ්‍යම පුද්ගලයා නොමැති විට ඇතිවන චිත්ත පීඩාව මොන තරම් දරුණු ද?
පහන් දොරින් හිරු එබිකම් කරන සඳ
මා අසලින් නුඹ නැතුවා දුකකි
සීතල නිය තුඩින් මා ගත රිදෙන සඳ
ඔබෙ මුදු පහස මට නැතිවා දුකකි
(තිස්ස අබේසේකර)
ජීවිතය මෙබඳු ශෝචනීය අත්දැකීම්වලින් පිරිලා. මේ ගීතයෙන් අපට හමුවන්නේ එබඳු සිත් රිදීමක්. ඇගේ පෙම්වතාට කුමක් සිදුවී තිබේ ද යන්න මේ ගීතයෙන් පැහැදිලිව කියවෙන්නේ නැහැ. සමාජ විෂමතාවක් නිසා ඇතැම්විට ඒ ආදරයට වැටකඩුළු බැඳෙන්නට ඇත. ඔහු ජීවතුන් අතර නොමැති බවක් මේ ගීතයේ කිසිදු තැනක කියවෙන්නේ නෑ. එහෙත් රාත්‍රිය විසින් ප්‍රථමයෙන් ම ඔවුන්ව දුරස් කරනවා.
කළුවර ඇදී එන්නේ හෙමින්. කුර ගාන්නේ ගවයන්. ඒත් කළුවර හෙමින් හෙමින් ඇදෙන ආකාරය ඒ වචනයෙන් චිත්‍රයට නැඟෙනවා. අහසේ හඳ පායලා නෑ. ඇයට ඔහු සරා සඳක්. ඒත් මේ කළුවර රාත්‍රියේ ඒ සරා සඳ ඇයගෙන් ඈත්වෙලා. ඇගේ හිත වේදනාවෙන් පිරිලා.
"සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා..."
ඒ තනිකම කොහින් ගලා එන්නේදැයි ඇයට හිතාගන්නට බෑ. ඇගේ පාළුව සංකේතවත් වන්නේ වලාකුළු නොමැති අහසින්. ඒ පාළුවෙන් ඇගේ සිතුවිලි එකතැන නතර වෙනවා. ඒ කියන්නෙ ගල් ගැහෙනවා. තවදුරටත් සිතුවිලි ගල් ගැහෙනවා.
වලාකුළ කුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වි ඇත
අඳුර පමණක් රජවෙලා
ඇය මුහුණ දෙන ගැටලුව මෙහි පැහැදිලිව කියවෙන්නේ නෑ. ඒත් ඔවුන් හෙට උදෑසන මුණගැසෙන බවක් හැඟී යනවා.
"ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි"
මේ රාත්‍රිය ගෙවීයාමත් සමඟ ඔහුගේ පැල්පත යළිත් ඇයට දිස් වෙනවා. ඒත් ඔවුන් එක වහලක් යට එකතුවන දිනය බොහෝ ඈත බව ගීතයෙන් කියවෙනවා. ඇයට දැන් ජීවිතය හිසට බරක්. ඇතැම්විට ඇය ධනවත් තැනැත්තියක විය හැකිය. ඒ ධනයම මේ ප්‍රේමය ජය ගැනිමට ඇයට බරක් විය හැකියි.
මේ බර ඔහුට වඩා තමා ම ඉසිලිය යුතු බවක් ඇයට හැඟෙනවා.
ගීතයක් ඇතුළෙ ලොකු කතාන්දරයක් තිබිය යුතුම නෑ. එය මිනිස් හැඟීමක ඡායාවක් පමණයි. තමාට ඇවැසි ආකාරයට එය තමාට සමීප විය හැකියි.
මේ ගීතය රාත්‍රියේ ඇහෙන විට මගේ සිතුවිලි වුණත් විශාල පාළුවකින් වෙළා ගන්නවා. ඒ වචන නිසාද, සංගීතය නිසාද, ගායනය නිසාද ඒ සියල්ලම නිසාද කියලා පැහැදිලි කරන්න අමාරුයි.
පාළු කුටියක නිද්‍රාවෙන් තොරව සිටින යුවතියක මට මැවිලා පේනවා. ඇගේ පෙම්වතාගේ පුංචි පැල ගන කළුවරින් නොපෙනී ගිහින්. අවිනිශ්චිත අනාගතයක් පිළිබඳව ඇය තනි යහනේ කල්පනා කරනවා. ඇගේ සිතුවිලි ගල් ගැහිලා. විසඳුමක් නෑ.