
හාරකෝටිය වෙනුවෙන් මම හදපු "හීන තිබුණට කෝටියක්, අතේ නැහැ එක රුපියලක්..." කියන සින්දුවට රයිගම් සම්මාන උලෙළේ දී ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා
ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ උදාර සමරවීර එක්ක නිර්දේශ වීම ම සතුටක්
පසුගියදා පැවති රාජ්‍ය සම්මාන උලෙළ 2020 හි වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය සංගීත අධ්යක්ෂණයට හිමි සම්මානය ලැබුවේ චාමර සමරවික්‍රම, සද්ධාමංගල සූරිය බණ්ඩාර හා ජයප්‍රකාශ් සිවගුරුනාදන් යන තිදෙනා විසින් නිර්මාණය කළ ජාතික රූපවාහිනියේ විකාශනය වූ දූවිලි අහස ටෙලි සිත්තමේ සංගීත අධ්‍යක්ෂණය කළ දිනේෂ් දිසානායකට.
මෙවර රාජ්‍ය සම්මාන උලෙළේ දූවිලි අහස ටෙලි නාට්‍යය සම්මාන රැසක් සඳහා නිර්දේශ වුව ද සම්මානයකට හිමිකම් කියන්නට වාසනාව ලැබුවේ දිනේෂ් දිසානායක. මේ සම්මාන ගැන දිනේෂ් සමඟ කළ කතාබහයි.
අපි මතක් කළොත් සංගීතයට යොමුවෙන්නේ කොහොමද කියලා
මම පාසල් ගියේ ගණේමුල්ල ගලහිටියාව මාධ්‍ය මහ විදුහලට. සාමාන්‍ය පෙළ දක්වා සංගීතය කළා.
ඊට පස්සේ උසස් පෙළට කළේ වාණිජ විෂය ධාරාව. ඒ පාසල් කාලේ සිටම බෑන්ඩ් වල ප්ලේ කරා. පාසලෙන් අයින් වෙද්දී මම හිටියේ පොල්ගහවෙල හොරයිසන් බෑන්ඩ් එකේ. එතන අවුරුදු හතක් ඉඳලා ග්ලැක්සීස් බෑන්ඩ් එකේ හිටියා අවුරුදු තුනක්.
එතනදී තමා ස්ටුඩියෝ රේකොඩින් පටන් ගත්තේ. සින්දු හදන ඒවා කරන්න පටන් ගත්තේ ප්‍රියන්ත නාවලගේ යටතේ. එකෙන් පස්සේ මම සන්ෆලවර් සංගීත කණ්ඩායම එක්ක අවුරුදු 5-6ක් වැඩ කළා.
ටෙලි නාට්‍ය පැත්තට යොමුවෙන්නේ කොහොමද?
මට ටෙලි නාට්‍ය සංගීත අධ්යක්ෂණයට හඳුන්වලා දෙන්නේ ප්‍රවීණ නළු උද්දික ප්‍රේමරත්න. මුලින්ම කළේ කළු කුරුල්ලා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය. මේ වෙද්දී නාට්‍ය 12ක් විතර මම නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා.
මීට පෙර සම්මාන ලැබුණු අවස්ථා මොනවද?
හාරකෝටිය කියන නාට්‍ය වෙනුවෙන් මම හදපු "හීන තිබුණට කෝටියක්, අතේ නැහැ එක රුපියලක්..." කියන සින්දුවට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා රයිගම් සම්මාන උළෙලේ දී. රාජ්‍ය සම්මානයක් ලැබුණු පළවෙනි අවස්ථාව. මගේ ජිවිතේ ආසාවක් සහ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි රාජ්‍ය සම්මාන උළෙලකදී හොඳම සංගීත අධ්යක්ෂණයට හිමි සම්මානයක් ලබා ගන්න එක.
රාජ්‍ය සම්මානයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ
මෙවර සම්මානය මටම ලැබුණු එකටත් වඩා ලොකු සතුටක් ඇති වුණා මට වඩා ප්‍රවීණ සංගීත අධ්යක්ෂවරුන් දෙපලක් වන ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ උදාර සමරවීර එක්ක නිර්දේශ වීම ම.
මේ දිනවල මොනවගේ වැඩ කටයුතුද කරන්නේ
නාඩගම්කාරයෝ එක්ක තමා වැඩ කටයුතු වෙන්නේ ටෙලි නිර්මාණ පැත්තෙන්. අලුත් ගීත ටිකක් හදාගෙන යනවා. උද්දික ප්‍රේමරත්නගේ අලුත් ගීතයක් එන්න තියෙනවා. ඒ අතරේ තෝරා ගත් ටෙලි නිර්මාණ වල කටයුතු කරනවා.
දැන් බෑන්ඩ් වලට සම්පුර්ණයෙන්ම සමුදීලාද ?
ඔව්.
ඒ ගැන දුකක් නැද්ද?
මම හිතනවා හරි වෙලාවේදී බෑන්ඩ් සංගීතයෙන් සමුගත්තා කියලා. මොකද මම හිතනවා කලාව වෙනුවෙන් මගෙන් තව දේවල් වෙන්න ඕනේ කියලා. මම ගත්ත තීරණය හරි කියලා අද ඔප්පු වෙලා තියෙනවා.
සංගීත පැත්තෙන් තියෙන ඉලක්ක මොනවද?
මම තවම චිත්‍රපට ක්ෂේත්රයට ඇවිත් නැහැ. සිනමාව ලොකු ආසාවක් බලාපොරොත්තුවක් තියෙනවා.
දැන් වෘත්තීය සංගීත අධ්‍යක්ෂණය ද?
වෘත්තීය කියන්නේ ඉතාලියේ තමා මගේ ස්ටුඩියෝ එක හදලා තියෙන්නේ. එහෙත් ඉන්න ගමන් තමා මෙහෙ වැඩ කරන්නේ. ඒත් පොඩි ගැටලුවක් වෙලා තියෙනවා.
මොකක්ද ඉතාලිය එක්ක තියෙන සම්බන්ධය
මම විවාහ වෙලා ඉන්නේ ඉතාලි පුරවැසිභාවය තියෙන කෙනෙක් එක්ක. ඒ නිසා මේ වෙලාවේ මගේ පදිංචිය තියෙන්නේ ඉතාලියේ. ඒ කොහොම නමුත් තෝරා ගත් හොඳ ගුණාත්මක නිර්මාණ වලට මම වෘත්තීය වශයෙන් දායක වෙනවා. ඒ අතරේ තව අපි හදාගත්ත ආදායම් මාර්ග තියෙනවා. මුල් තැන දෙන්නේ සංගීතයට.