
- අවසන් තරගයේ වීරයා
- තරගාවලියේ දක්ෂතම පිතිකරු
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා
- ලංකා ප්‍රිමීයර් ලිග් තරගාවලියෙන් එළියට
සධීර සමරවික්‍රම පෙරටුකර ගෙන තරග කළ ද්‍රවිඩ ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ පී. සරා ඕවල් පිටියේ පැවැති අවසන් මහා තරගයේ දී ඉෂාන් ජයරත්නගේ නායකත්වයෙන් තරග කළ රාගම ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. ඒ ලකුණු 36 කිනි.
අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ද්‍රවිඩ ක්‍රීඩා සමාජය කඩුලු 9 ක් දැවී ලකුණු 181 ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය රාගම ක්‍රීඩා සමාජයට පන්දුවාර 32.4 ක දී රැස් කළ හැකි වූයේ ලකුණු 145 ක් පමණි.
සමින්ද ප්‍රනාන්දු ලකුණු 38 ක් රැස් කරමින් රාගම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, නායක ඉෂාන් ජයරත්න ලකුණු 26 ක් සහ නිෂාන් මධුෂ්ක ලකුණු 23 ක් ඉනිමට එක් කළ හ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සේ (පන්දුවාර 7.4 ) ලකුණු 27 ක ට කඩුලු 5 ක් බිඳ දැමූ අතර, දිලුම් සුධීර (28) සහ ප්‍රමෝද් මධුෂාන් (45) කඩුලු 2 බැගින් දවා ලූ හ.
කාසිය වාසිය දිනා ගත් රාගම ක්‍රීඩා සමාජයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ මුල් කඩුලු 2 ලකුණු 22 ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව ආරම්භක පිතිකරු සුපුන් කාවින්ද (42) සහ නායක සධීර සමරවික්‍රම (34) එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 60 දක්වා ඉදිරියට ගෙන ගිය හ. කාවින්ද ලකුණු 42 ක ට දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, අනතුරුව නායකයා සමඟ එක් වූ සන්තුෂ් ගුණතිලක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් හතරේ පහර 5 ක් සමඟින් පන්දු 76 කි න් ලකුණු 47 ක් රැස් කළේ ය. සධීරගේ ඉනිම ලකුණු 43 ක ට සීමාවිණි. සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට රාගම පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිවුණේ නැත.
පන්දු යැවීමේදී කල්හාර සෙනෙවිරත්න(22), ඉෂාන් ජයරත්න(27), ජානක සම්පත්(29), සහ නිපුන් මාලිංග(36) වශයෙන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වූ හ.
තරගාවලියේ මූලික වටයේ දී මේ කණ්ඩායම් දෙකම ‘බී’ කාණ්ඩයෙන් තරග කළ අතර එම වටයේ දෙපිල අතර පැවැත්වීමට නියමිත වූ තරගය පී. සරා ඕවල් පිටියේ පැවැත්විමට නියමිත වූ නමුත් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි.
යුද හමුදා කණ්ඩායම සමඟ පැවැති පළමු අවසන් පූර්ව තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 47 කි න් ජය ගනිමින් ද්‍රවිඩ ක්‍රීඩා සමාජය අවසන් තරගයට එක් විය. රාගම පිල අවසන් තරගයට එක් වූයේ ‘බී’කාණ්ඩයේ පෙරමුණ ගැනීම හේතුවෙනි.
අවසන් තරගයේ වීරයා ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ නම් කළ අතර, තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස චානක රුවන්සිරි (ගාල්ල), දක්ෂතම පන්දු යවන්නා ලෙස චලන ද සිල්වා (ගාල්ල) සහ තරගාවලියේ වීරයා ලෙස අසේල ගුණරත්න (යුද හමුදාව) සම්මාන දිනා ගත්හ.
නමුත් අද ආරම්භ වන දෙවැනි ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියට ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ නායක සධීර සමරවික්‍රම, තරගාවලියේ දක්ෂතම පිතිකරු චානක රුවන්සිරි, දක්ෂතම පන්දු යවන්නා චලන ද සිල්වා, සහ අවසන් තරගයේ වීරයා ජෙෆ්රි වැන්ඩර්සේ ට අවස්ථාව හිමි නොවිම අවාසනාවකි.
ටැමිල් යුනියන් - 181/9 (ඕවර 50) සන්තුෂ් ගුණතිලක 47, සුපුන් කාවින්ද 42 (කල්හාර සෙනෙවිරත්න 22/2, ඉෂාන් ජයරත්න 27/2,)
රාගම - 145 (පන්දුවාර 32.4) සමින්ද ප්‍රනාන්දු 38 (ජෙෆ්රි වැන්ඩසේ 27/5, දිලුම් සුධීර 28/2,)
බන්ධුල ජයමාන්න