
එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපය පැවැත්වෙන දියවන්නාව ආශ්‍රිතව රටවල් 10ක බුද්ධාගම විදහාපාන ප්‍රදර්ශන කුටි ඉදිකෙරේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, රුසියාව, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ජපානය, කාම්බෝජය හා වියට්නාමය එම රටවල් වේ. රුසියාවේ බුද්ධාගම ගැන මේ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාවෙන් රුසියාවට වැඩම කළ භික්ෂුන් වහන්සේ නමක් සමඟ මම උන්වහන්සේගේ අවශ්‍යතාවක් සඳහා කුලී රථයකින් ගමන් කළෙමි. පැය කිහිපයකට පසු රියැදුරා නිදහස් කළ අවස්ථාවේ ඔහු පැමිණ හිමිනමට වැඳ නමස්කාර කළේය. “ඔබට කොපමණ මුදලක් ගෙවිය යුතුදැයි” ඔහුගෙන් මම ප්‍රශ්න කළෙමි. “නැහැ. මම මුදල් ගන්නේ නැහැ. මම වාහනය නැවැතුවේ භික්ෂුන් වහන්සේ දුටු නිසයි. ඒ මුදල මගේ පින් පොතට ගියාවේ” කී රියැදුරා තමාගේ දුරකතන අංකය ද දී අපගෙන් සමුගෙන ගියේය. ඇත්තෙන්ම එය මගේ ජීවිතයේ රුසියාවේදී ලැබු එක් පුදුම අත්දැකීමක් විය.
මෙය කියවන ඔබ එසේනම් රුසියාවේ විශාල බෞද්ධ සමාජයක් ඇතැයි සිතනු ඇත. එහෙත් එය එසේම නොවේ. රුසියාවෙහි වසන මුළු ජනගහනය අවසාන ජනගහන සංඛ්‍යා ලේඛනවලට අනුව මිලියන 145කට ටිකක් වැඩිය. එයින් මිලියන 20කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ මොස්කව් නගරය තුළය. මේ මුළු ජනගහනයෙන් තමන් බෞද්ධ යැයි නිල වශයෙන් පිළිගන්නා පිරිස ලක්ෂ 9ක් පමණ වෙති. මට හමු වූයේ එයින් එක් පුද්ගලයකු පමණි.
රුසියාවෙහි බෞද්ධයන් සිටින්නේ බුරියාති (Buriyathi) තිවා (Thiwa) කල්මිකි (Kalmiki) යන ස්වයං ජනරජවලත් බයිකාල් විල අසල ප්‍රදේශවලත්, මොස්කව්, සාන්ත පීටර්ස්බර්ග් සහ තවත් ප්‍රධාන නගර කිහිපයකත්ය. රුසියානු බෞද්ධයෝ “මහායාන” නැත්නම් වජ්ජ්‍රයානයේ විවිධ නිකායන් අදහති.
“ගෙලුග්පා” (GELUGPA) නැත්නම් “ගෙලුග්” (GELUG) යන “ටිබට්” වචනයේ අර්ථය වන්නේ පන්සල් ආශ්‍රිත අධ්‍යාපනය නැත්නම් පිරිවෙන් අධ්‍යාපනය සහ ඇදැහීම් ක්‍රමය යන්නයි. මේ ක්‍රමය හඳුන්වා දුන්නේ ක්‍රි. ව. 1357 - 1419 කාලය තුළ ජීවත්වූ “ත්ෂේ ත්ෂන්කප්” නමැති ටිබෙට් ජාතික “ලාමා” වරයෙකි.
එහෙත් වර්තමාන රුසියාවට අයත් භූමි ප්‍රදේශය තුළ බෞද්ධාගම ඇතිවන්නේ ඊට ටිකක් කලිනි. එනම් ක්‍රි. ව. අටවැනි සියවසේදීය. වර්තමාන රුසියාවට අයත් “ප්‍රීචෝරේ” යන ප්‍රදේශයේ ක්‍රි. ව. 698 - 926 යන කාලය තුළ “බොහායි” (Balhae) නමැති බෞද්ධ රාජ්‍යය තිබිණ. මේ රාජ්‍යයෙහි සීමාවන්ට මැන්චූරියාව කොරියාවේ උතුර සහ චීනය අයත් වූ අතර ඔවුන්ගේ ප්‍රධාන ආගම මහායාන බෞද්ධාගම විය. එහෙත් මේ රජය සහ “බොහායි” ජාතිකයන්, ජාතියක් ලෙසට නොපැවතුණ අතර, භූමිය රුසියාවට අයත් විය. එහි වැසියෝ රුසියානු ජාතිකත්වය ලබා ගත්හ.
ඊළඟට රුසියාවේ බෞද්ධ කටයුතුවල උද්දීපනයක් ඇතිවන්නේ 17 වැනි සියවසෙහිය. 1712 වසරේදී රුසියාවට අයත් “බුරියාති” ප්‍රදේශයට මොංගෝලියානු “ලාමා” වරු 100ක් ද ටිබෙට් ලාමාවරු 50ක් ද පැමිණියහ. “ලාමා” හෙවත් “මොංගෝලියානු, ටිබෙට් භික්ෂුන් වහන්සේලා” තම රටට පැමිණීම පිළිබඳව ආරම්භයේදී රුසියාව යහපත් ආකල්පයක් නොදැක්වූ බව පෙනේ.
රුසියාව ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නේ 10 වැනි සියවසේදීය. රුසියාවේ ඈත සයිබීරියාවේ එම කාලය වන විට ද බෞද්ධයෝ සිටියහ. ඔවුහු රුසියානු ජාතිකත්වය ලබාගත්ත ද තම ආගම වූ බෞද්ධාගම එසේම ඇදහූ තම පන්සල්වල භික්ෂුන්ට (ලාමාවරුනට) ආවතේව කරමින්, තම පන්සල් ආශ්‍රිත අධ්‍යාපන ලබමින් ක්‍රි. ව. 1741 වන තෙක් බෞද්ධාගම ඇදහූහ. “බෞද්ධ ප්‍රදේශවල පළාත් ආයතනවල පාලනය නායක ලාමා හිමිවරුන්ගේ නායකත්වයෙන් කළ යුතු යැයි” යන පළමුවැනි එලිසවෙටා පෙත්රොව්නා මහ රැජිනගේ නියෝගය නිසා බෞද්ධාගම සහ බෞද්ධ භික්ෂුන්, රුසියාවේ අධිරාජිනිය විසින් යම් ආකාරයකින් පිළිගැනීමක් ලෙසට සැලැකිණි.
එලිසවෙටා මහ රැජනගෙන් පසු රුසියාවේ අධිරාජනිය වන දෙවැනි එකතරිනා බිසව, බෞද්ධයන්ගේ ප්‍රධානියා වූ පණ්ඩිත හම්බෝ ලාමා භික්ෂුව (HAMBO LAMA) නැගෙනහිර සයිබීරියාවේ සහ බයිකාල් ප්‍රදේශයේ ප්‍රධානියා ලෙස පත් කළාය. 1764 වසරේදී එකතරිනා බිසව විසින් කරන ලද මේ නියෝගයත් සමඟ රුසියාවේ බෞද්ධාගම රාජ්‍ය ආගමක් ලෙස පිළිගත්තේයැයි සැලැකෙයි.
“බුරියාතිවල” බෞද්ධයෝ මේ පිළිගැනීම මහත් සතුටින් භාර ගත්හ. දෙවැනි එකතරිනා බිසව පොළොව මත පහළ වී සිටින “තාරා” දේවියගේ (අවතාරයක්) ප්‍රතිරූපයක් ලෙස බුරියාතිගේ ලාමාවරු ප්‍රකාශ කළහ. 1797 මාර්තු 18 දා “පාවෙල් පෙත්රොවිච්” රුසියානු අධිරාජයා පැනවූ පනත මඟින් ද, 1822 ජුනි 22 “ඇලෙක්සන්දර් පව්ලෝවිච්” රුසියානු අධිරාජයා මඟින් පැනවූ නියෝගය මඟින් ද රුසියානු අධිරාජ්‍ය තුළ බෞද්ධයනට තම ආගම නිදහසේ ඇදහීමට, එය නිදහසේ ප්‍රචාරය කිරීමට ඇති අයිතිය යළි වරක් තහවුරු කෙරිණි.
1917 වසරේදී රුසියාවේ ඔක්තෝබර් මහා විප්ලවය සිදු වන අවධියේදී, බයිකාල් ප්‍රදේශයේ සියලු බුරියාති ජනතාව බෞද්ධාගම අදහන්නෝ වූහ. ඒ සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් පමණ විය. “දෂාන්” (DASHAN) නමින් හැඳින්වෙන බෞද්ධ අධ්‍යාපනය ලබා දෙන පිරිවෙන් 44ක්ද, කුඩා ආරාම 144ක් ද බයිකාල් විල අසල ප්‍රදේශයේ විය. මේ ආරාම සහ පන්සල්වල වැඩ සිටි භික්ෂුන් සහ “ලාමා”වරු සංඛ්‍යාව 16 දහසක් පමණ වූහ.
1930 වැනි අවුරුදුවල සෝවියට් දේශය පුරා විශාල ආගමික මර්දනයක් සිදු විය. අධ්‍යාත්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන සහ පුද්ගලයෝ සෝවියට් රජයේ මර්දනයට අසූ වූහ. බයිකාල් ප්‍රදේශයේ පැතිර තිබූ බෞද්ධාගමික කටයුතුවලට ද මේ මර්දනය එල්ල විය. සියලු බෞද්ධ පන්සල්, ආරාම සෝවියට් රජය මඟින් විනාශ කොට දමන ලදී. 1941 පමණ වන විට සෝවියට් දේශය තුළ එකද පිරිවෙනක් හෝ පන්සලක් ක්‍රියාත්මක නොවූ අතර, භික්ෂු සහ ලාමාවරු ද මේ මර්දනයට අසු වූහ. එනිසා ඒ අවධිය සෝවියට් දේශය තුළ බෞද්ධාගමේ පමණක් නොව සියලු ආගම්වල “නිහඬ” අවදියක් විය.
1945 පමණ වන විට මේ තත්ත්වය තරමක් වෙනස් වූ අතර, බෞද්ධයන්ගේ ඉල්ලීම අනුව “ඉවොල්ගින්ස්කි” බෞද්ධ ආයතනය ක්‍රියාත්මක කිරීමට සෝවියට් රජයෙන් අවසරය ලැබිණි. 1946 වසරේදී සෝවියට් රජය මඟින් “සෝවියට් දේශයේ බෞද්ධයන්ගේ අාධ්‍යාත්මික තත්ත්වය” පිළිබඳව ගන්නා ලද තීරණ අනුව, “ඉවොල්ගින්ස්කි” බෞද්ධ ආයතනය සෝවියට් දේශයේ බෞද්ධ නාහිමියන්ගේ නිල ආරාමය බවට පත් විය.
1986 වසරේදී සෝවියට් දේශයේ නායක මිහයිල් ගොර්බචොව් මහතා විසින් ආරම්භ කරන ලද “පිරිස්ත්‍රොයිකා” (ප්‍රතිසංස්කරණ) වැඩ පිළිවෙළ යටතේ, සෝවියට් දේශය තුළ දේශපාලනය පමණක් නොව අාධ්‍යාත්මික ජීවිතයේ ද විශාල වෙනස්වීම් ඇති වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙසට සෝවියට් දේශය තුළ අනෙකුත් ආගම්වල මෙන්ම බෞද්ධාගමේ ද විශාල පුනර්ජීවනයක් ඇති විය.
රුසියාවේ බුදු දහම සහ බෞද්ධ දර්ශනය පිළිබඳ බොහෝ පොතපත ලියවී ඇත. සාන්ත පීටර්ස්බර්ග් සහ “හර්කොව්” මොස්කව්, කසාන් සහ තවත් ප්‍රධාන නගරවල ප්‍රධාන විශ්වවිද්‍යාලයන්හි සේවය කළ පෙරදිග විද්‍යාවන් පිළිබඳ විශේෂඥයන් වූ වී. පී. වසිලියෙව් (1818 - 1900) එෆ්. අයි. ෂෙර්භාත්කොව් (1866 - 1942), ඊ. ඊ. අබෙර්මිලර් (1901 - 1935) යන දාර්ශනිකයන් මේ කාර්යය ඉටු කොට ඇත.
ධම්ම පදය, විශුද්ධි මාර්ගය, වල්පොළ රාහුල හිමියන් විසින් ලියන ලද “බුදුන් වදාළ ධර්මය” නමැති පොත ද, තවත් බොහෝ බෞද්ධ පොත පත ද, දැන් රුසියානු භාෂාවට පරිවර්තනය කොට තිබේ. රුසියාවේ බොහෝ විශ්වවිද්‍යාලවල විශේෂයෙන් රුසියාවේ පෙරදිග විද්‍යා පිළිබඳ ඇකඩමිය හා එහි අනුබද්ධ විශ්වවිද්‍යාල ටිබෙට් බෞද්ධ දර්ශනය, මොංගෝලියානු බෞද්ධාගම, සංස්කෘත භාෂාව, බුද්ධ ධර්මය යන විෂයයන් ගැඹුරු ලෙස අධ්‍යයනය කරති. ථෙරවාදී බෞද්ධ දර්ශනය මෙන්ම ජපානයේ “සෙන්” බුද්ධාගම, කොරියානු “සොන්” බුද්ධාගම පිළිබඳව ද, මහායාන බුද්ධාගමේ විවිධ කොටස් පිළිබඳව ද රුසියාවේ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයනය කරති.
පන්සල් එන භික්ෂුන් ඇසුරු කරන තරුණයෝ බොහෝ විට “මම ථේරවාදී බෞද්ධයෙක්” යැයි පවසති. ඇත්තෙන්ම එහි ගෞරවය හිමි විය යුත්තේ රුසියාවේ උසස් අධ්‍යාපනය නිම කළ ගරු පල්ලේකන්දේ රතනසාර අනුනාහිමියන්ට සහ උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් වන රක්වානේ ඤානසීහ ස්වාමින් වහන්සේටය.
උන්වහන්සේලා රුසියාවේ මේ බෞද්ධ පළාත්වල සංචාරය කරති. පන්සල්වල නැවතී සිටිමින් “ථේරවාදී බෞද්ධ දර්ශනය”ට භික්ෂුන් නැඹුරු කර ගැනීමේ කාර්යයෙහි යෙදී සිටිති. සාමාන්‍යයෙන් මහායාන බෞද්ධාගම අදහන මිනිසුනට ථේරවාදි බෞද්ධ දර්ශනය, භාවනා ක්‍රම උගන්වති. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යන බුදු වදන සිහිපත් කරමින් උන්වහන්සේලා ථෙරවාදී බුදු දහම රුසියාවේ ප්‍රචලිත කිරීම සඳහා ගන්නා අනූපමේය උත්සාහය ප්‍රශංසනීයය.
ආචාර්ය ධර්මදාස වික්‍රමගේ
මොස්කව් නුවර සිට...