
ගමන් මාර්ගය- ශ්‍රී ජයවර්ධනපුර පාරේ ඇතුල්කෝට්ටේ බස් නැවතුමට මඳක් ඉදිරියෙන් දකුණු පසින් හමුවන පැරකුම්බා මාවතෙන් කෝට්ටේ පාරේ කිලෝමීටරයක් පමණ පිටකෝට්ටේ දෙසට පැමිණෙන විට වම් පසින් හමුවන කොටු බැම්ම මාර්ගයේ කිලෝමීටර බාගයක් පමණ ගිය පසු බැද්දගාන තෙත් බිම් උද්‍යානය හමු වේ. කොළඹ කඩුවෙල ප්‍රධාන මාර්ගයේ කඩුවෙල දෙසට යනවිට පොල්දූව නව පාලම පසුකිරීමට පෙර දකුණු අත පැත්තේ උද්‍යානයට පිවිසුම් මාර්ගය හමුවේ.
විවෘතව තැබෙන වේලාවන්- දිනපතා උදෑසන 6 සිට පස්වරු 6 දක්වා කුරුලු සහ පරිසර අධ්‍යයන සඳහා පැමිණෙන අයට විවෘත අතර උදෑසන 7 සිට සියලු අමුත්තන් සඳහා විවෘතයි. ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ පස්වරු 5 දක්වා පමණි. ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සඳහා පැමිණෙන කණ්ඩායම් කලින් දින වෙන්කර ගත යුතුය.
ප්‍රවේශ පත්‍ර මිල- දේශීය වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක් රුපියල් 100ක් වන අතර ළමා ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 50කි.
විමසීම්- 011 3047974
වෙබ් අඩවිය - http://www.beddaganawetlandpark.com/
කොළඹ කියන්නේ කොන්ක්‍රීට් වනන්තරයක්, දුහුවිල්ල, දුමෙන් වැසුණු කර්කශ පරිසරයක්. බොහෝ දෙනෙකුට හිතෙන්නේ එහෙමයි. ඒත් වාසනාවකට වගේ නෙතටත් හිතටත් සිසිල දෙන ක්ෂේම භූමි කිහිපයක් කොළඹ තවමත් ඉතිරි වී තිබෙනවා. සිළුමිණ රසඳුන තුළින් මෙවර අප ඔබව කැඳවාගෙන යන්නේ එවැනි සොඳුරු ක්ෂේම භූමියකටයි. ඒ බැද්දගාන තෙත්බිම් උද්‍යානයයි. ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි බැද්දගාන තෙත්බිම සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටා තිබෙන අතර එය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුලු අභය භූමිය මායිමට ද ඇතුළත්.
හෙක්ටාර 18ක පමණ විශාල භූමි පෙදෙසක පැතිර ඇති බැද්දගාන තෙත් බිම් උද්‍යානය අපුර්ව සුන්දරත්වයකින් යුත් ගහකොළ, පක්ෂීන්, සමනලුන් පිරි උද්‍යානයක්. ශාඛ විශේෂ 100ක්, ක්ෂීරපායී සත්ව විශේෂ 10ක්, කුරුළු විශේෂ 50ක්, මත්ස්‍ය විශේෂ 20ක් පමණ දැකගත හැකි මෙම උද්‍යානයේ උභය ජීවී විශේෂ ගණන 5ක් පමණ ජීවත් වන බවද පැවසෙනවා. ඒක දේශික ශාඛ සහ වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ සහ සත්ව ප්‍රජාවන් රැසක් මෙහි දකින්නට ලැබීම විශේෂත්වයක්. පහත රට තෙත් කළාපයට ආවේණික වූ ගස්වැල් රැසක් සහිත මේ පරිසරය සංක්‍රමණික කුරුලු විශේෂ රැසකට සොඳුරු නවාතැනක්.
බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ වටිනා තෙත්බිම් පරිසරය සංරක්‍ෂණය කරමින් එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කර උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීම සහ පරිසර අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීමයි.
මෙම උද්‍යානයේ සියලු සැලසුම් නිර්මාණය වී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් භූ දර්ශන ගෘහ නිර්මාණ සහ වරලත් ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලවයි. 2016 වසරේ ජුනි 15 වැනිදා මහජනතාව වෙනුවෙන් විවෘත කර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන බැද්දගාන තෙත්බිම් උද්‍යානය උද්‍යානය පරිසරවේදීන්ගේ හා විශේෂඥයන්ගේ නිරන්තර අධ්‍යයනයට ලක්වන වටිනා පරිසර පද්ධතියක්.
යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව කණු මත ඉදිකළ නිරීක්ෂණ කුලුණු, ගමන් පථ සහ නිරීක්ෂණ ස්ථානවලින් මෙම තෙත්බිම් පරිසරය මනාව සංරක්ෂණය කර ඇති බව උද්‍යානය තුළට පිවිසෙන ඔබට දැකගත හැකියි. නරඹන්නන්ගේ පහසුව සඳහා උද්‍යානය ප්‍රදේශ 12කට පමණ වෙන්කර තිබෙනවා. ඒ, උද්‍යානයේ එළිමහන් පන්ති පැවැත්විය හැකි ප්‍රදේශය, මඩෙහි ඇවිදින පක්ෂීන් දැකගත හැකි ප්‍රදේශය, සැඟවී පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි ස්ථානය, සමනලුන් ගහන ප්‍රදේශය, ගිමන් හල, පක්ෂි නිරීක්ෂණ කුලුණ, තාරා පොකුණ, දියවන්නා ඉවුර අසබඩ සක්මන් මාර්ගය, හඳුන් දිවියා ගැවසෙන අඩවිය, වන සැරි මාවත සහ පාවෙන වේදිකාව ලෙසටයි. එම නිසාම විද්‍යාත්මක ගවේශකයන්ට පමණක් නොව පරිසරයේ සුන්දරත්වය විඳීමට කැමති කා හටත් මේ උද්‍යානය අපූරු ස්ථානයක්. වයස් භේදයකින් තොරව පවුලේ සියලු දෙනා සමඟ පැමිණ නැරඹිය හැකි සොඳුරු ස්ථානයක්. විශේෂයෙන් කුඩා දරුවන්ට සතුන් ඇතුළු පරිසරය ගැන දැනුම, අවබෝධය ලබාගත හැකි ස්ථානයක්.
කුරුල්ලන් නැරඹීමට සුදුසු ස්ථානයක් ලෙස බැද්දගාන තෙත්බිම් උද්‍යාන ප්‍රසිද්ධයි. මේ තෙත්බිම් උද්‍යානයේ එක් එක් ස්ථානවලදී ඔබට දැකගත හැකි කුරුලු වර්ග පිළිබඳ ඒ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරු මඟින් දැනුම්වත් කර තිබෙනවා. කුරුල්ලන් නැරඹීම සඳහා උදෑසන 6-8 කාලය වඩා සුදුසුයි. මේ දිනවල එහි යන ඔබට අලංකාර සංචාරක කුරුල්ලන් රාශියක් දැකගත හැකි වේවි. කුරුල්ලන් නැරඹීමට යන ඔබ හැකි තරම් නිහඬව ගමන් කිරීම උචිත වන්නේ ශබ්ද නිසා කලබලයට පත්වන කුරුල්ලන් ඔබේ දසුනින් සැඟවී සිටීමට උත්සාහ දරන නිසයි. මුවාවී කුරුල්ලන් නිරීක්ෂණය කිරීමට සහ ඡායාරූප ගත හැකි ස්ථානයකුත් මේ උද්‍යානය සතුයි. කුරුලු තොරතුරු පුවරුවලින් ඔබට කුරුල්ලන් ගැන තොරතුරු රැසක් දැනගත හැකියි.
කොවිඩ් වසංගතයේ පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් ඔබට මේ සොඳුරු තෙත්බිම් උද්‍යානයේ සැරිසැරිය හැකියි. සාමාන්‍යෙයන් උද්‍යානය සම්පූර්ණයෙන් නැරඹීමට පැය 1 ½ක පමණ කාලයක් ගතවන අතර අනවශ්‍ය ලෙස උද්‍යානයේ රැඳී සිටීම ඔබට මෙන්ම අන්‍යයන්ට ද හිරිහැරයක් විය හැකියි. උද්‍යානය තුළට ප්ලාස්ටික්, පොලිතින් සහ ආහාර ගෙන ඒම සපුරා තහනම් බවත් උද්‍යානයේ පාලනාධිකාරිය පැවසුවා. සතුන්ට ආහාරපාන දීමද ඔබ විසින් එහිදී නොකළ යුත්තක්.